සංස්කාරයන්ට හේතුවන අවිද්‍යාව ලිහා ගන්න.

භික්ෂුව වැඩ සිටින ගමේ ඇඳිරි වැටෙනකොට හරියට මදුරුවෝ කරදර කරනවා. ලේ සුවඳට වහ වැටිලා, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කොටගෙන, මදුරුවෝ ශීලයක් ආරක්ෂා කොටගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ලේ උරාබොනකොට, මනුෂ්‍ය හිංසනයට අදාළව එම මදුරුවන් සිදුකොට ගන්නා අකුසල් නම් සුළුපටු නැහැ. මදුරුවොත් ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය හේතුවෙන් නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා. භවයේ තිබෙන අනතුරුදායක බව හරිම රුදුරුයි. පුංචි මදුරුවාත් මෙහෙයවන්නේ විඤ්ඤාණය නමැති මැජික්කරුවා විසින්මයි.

භික්ෂුව දැකලා තිබෙනවා සමහර පිංවතුන් මදුරුවන්ට තම රුධිරය දන්දෙනවා. එම පිංවතුන් මදුරුවා තමන්ට දෂ්ඨ කරද්දී, එම මදුරුවා එළවා දමන්නේ නැහැ. මදුරුවන්ට සුවසේ ශරීරයෙන් ලේ බොන්න දෙනවා, දානමය චේතනාවෙන්. මදුරුවන් හේතුවෙන් සකස්වෙන මාරාන්තික රෝග පැතිරයන, ලෝකයක ඉහත ලේ දානය නම්, අයිති වෙන්නේ මෝහයට. ඒ වගේමයි තම ශරීරයට දෂ්ඨ කරන මදුරුවා මරා දැමීම අයිතිවෙන්නේ ප්‍රාණගාත අකුසලයට. සංස්කාර විසින් ලෝකය පටලවලයි තිබෙන්නේ. අපි බොහොම පරිස්සමින්, සංස්කාරයන්ට හේතුව වන අවිද්‍යාව ලිහා ගන්න ඕනේ. පංචනීවරණ ධර්මයන්ගේ තොණ්ඩුවට බැඳී තිබෙන අවිද්‍යාව, අපි ලිහාගන්නා පළමුවැනි ගැටය තමයි සම්මා දිට්ඨිය. දෙවැනි ගැටය තමයි සම්මා සංකප්ප, මේ ගැට දෙක ලිහාගත්ත තැන, මාර්ගය වැඞීමේදී අපේ පූර්වාදර්ශයන් වෙන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේයි. උතුම් ධර්මරත්නයයි. උතුම් සංඝරත්නයයි. අපි විසින් ගොඩනඟා ගන්නා මනෝලෝක වලින් සහ අන්‍ය ශීලවෘත වලින් උතුම් සම්මා දිට්ඨියෙන් අපිව බැහැර කරනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තිරිසන් සතුන්ට දෙන්නා වූ දානයේ ආනිශංස සියයක් තිබෙනවාය කියලා. යම් පිංවතෙක් ප්‍රශ්න කරන්න පුළුවන්, දානමය චේතනාවෙන් මදුරුවන්ට ලේ උරා බොන්න අවස්ථාවදීම, ආනිශංස සියයක් තිබෙන දානයක් නේද කියලා. භික්ෂූවට සටහන් තබන්න වෙන්නේ, ඔව් කියලයි. ඒත් පිංවත් ඔබ මහත්ඵල මහානිශංස නොවන, එම ආනිශංස සියය අයිති කොට ගන්නේ, මිල කළ නොහැකි, මේ ලෝක ධාතුවේ දුර්ලභම ලෞකික ප්‍රඥාවට සහ සම්මා සංකප්පයන්ට අදාළ නෙක්ඛම්ම සංකප්පයේ, අමෝහය බරපතළ ආකාරයට අනතුරට ලක්කර ගනිමින්මයි. උතුම් බුද්ධෝත්පාද කාලයක, මේ අර්ථවත් මනුෂ්‍ය ජීවිතය ඔබ ලැබුවේ, රුධිරය උරා බීමෙන් පමණක් ජීවත්වෙන පවුකාර සතෙකුට, තම රුධිරය දන්දීලා, ඩෙංගු, බරවා වැනි මාරාන්තික රෝග තමනුත් හදාගෙන, අනුන්ටත් බෝ කරලා මියයන්න නොවේ. ශාසනයේ උතුම්ම අර්ථයන් ජීවිතයට ලබන්නයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පෘථග්ජන සිල්වතාට දෙන දානයේ, ඒ කියන්නේ සම්මා දිට්ඨියට අදාළ විශ්වාසයන්ගෙන් තොර ශිල්වත් පිංවතාට දෙන දානයේ, ආනිශංස දසදහසක් තිබෙනවාය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සද්ධානුසාරී හෝ ධම්මානුසාරී පුද්ගලයන් දෙදෙනාට දෙන දානයේ, ආනිශංස ලක්ෂ ගණනක් තිබෙනවාය කියලා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය උපයෝගී කොටගෙන, දානය කියන අර්ථය උදෙසා, මෙතරම් සුන්දර සැප බහුල ආයෝජනයන් සිදු කොට ගැනීමට හැකියාව තිබියදී, මනුෂ්‍ය හිංසනයෙන්ම ජීවත්වෙන පවුකාරි මදුරුවන්ට, රුධිරය දන්දී, මාරාන්තික රෝග වැළඳීමෙන් අසරණභාවයට පත්වී, සමස්ත ශාසනයම අහිමිකොට ගැනීම, මෝහයටම අදාළ ධර්මතාවයක්ම වෙනවා. පිංවත් ඔබ මින් පසු මදුරුවන්ට රුධිරය දන්දෙන්න එපා. දෂ්ඨ කරන මදුරුවා එළවා දමා, අවශ්‍ය ආරක්ෂක පියවර ගනිමින්, මිථ්‍යාදෘෂ්ඨිය දන්දෙන්න.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සම්මා දිට්ඨියේ අර්ථයන් පිළිනොගත්, මිථ්‍යාදෘෂ්ඨිය ජීවිතය කොටගත්, වෘත සමාදන්ව ජීවත්වෙන, ශරීරයට දුක් දෙන, ආජීවකයින් සහ නිගණ්ඨයින් අතර, එකම පුද්ගලයෙක්වත්, තම කය බිඳී මරණින් පසු, දුක් කෙළවර කළ බවක් හෝ සුගතියේ පටිච්චසමුප්පන්නව උපන් බවක්, මම නොදකිමියි කියලා. මිථ්‍යා දෘෂ්ඨියේ අන්‍යශීලවෘත වියරුව, මොනතරම් නම් රුදුරුද. සැඳෑ කළුවර, ඉබිගමනින් පරිසරය වෙලාගන්නවා. ගමේ පන්සලේ සවස හයට දමන පිරිත් හඬපටියේ ප්‍රචාරය වෙන කඳ පිරිත භික්ෂුවට යාන්තමට ඇසෙනවා. සර්ප උවදුරුවලට කඳ පිරිත හොඳ ඖෂධයක් වුණත්, මේ කැලෑ මදුරුවන්ට නම්, කඳ පිරිතේ ශක්තිය අහන්නේ නැහැ. කාලය, දීපය, දේශය, කුලය, මව දශ පාරමී ධර්මයන්ගේ පිනට පහලවෙන ස්වභාවධර්මය, දැන් ඉතින් අවුරුදු දෙදහස් හයසියයක්ම පරණවෙලා. ඒත් අපි හරිම පිංවන්තයි, සංස්කාරයන් හේතුවෙන් මොන දේවල් විකෘතිවී ගියත්, මේ අනිත්‍ය වී යන සංස්කාර ධර්මයන් අපිට අවබෝධකොට දෙන, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් නොකැලැල්ව, නොඉඳුල්ව තාමත් ජීවමානව තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අනාගතයේ කවදාහරි දවසක, මේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් අතුරුදහන් කොට දමන්නේ, පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතරමහාධාතුව නොවේය කියලා. ඒ අඥාණ පුද්ගලයා පහළ වෙන්නේ, භික්ෂු සමාජයේ අපි අතරින්මයි කියලා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා!, උතුම් සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා!!, අප කෙරෙහි, අපිට සතිය සිහිය ඇතිකොට ගැනීමට, මේ උතුම් දේශනාවන් අපේ දැනගැනීම පිණිස අද දක්වාම ආරක්ෂාකොට තැබුවාට.

තෙරුවන් සරණයි…!!!

~අති පුජ්‍ය රාජගිරියේ අරියඤාණ ස්වාමින් වහන්සේ~