ලෝකයේ ඇති බිහිසුණුම වියරුම අඳුර…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ඉර, සඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරේම සැමදා ගිලී පවතින ස්ථානයන් මේ ලෝකයේ තිබෙනවාය කියලා. ඒවායේ ජීවත් වෙන සත්වයන්ට පෙනෙන ඇස් දෙකක් තිබුණත්, එකිනෙකා පෙනෙන්නේ නැහැ. මෙම අඳුරම උරුම කොටගත් දුක්ඛිත සත්වයන්ට, එකිනෙකා පෙනෙන්නේ තමන් වගේම තවත් සත්වයන් මේ අඳුරේ ජීවත් වෙන බව දකින්නේ, කල්ප ගණනාවකට වරක් උදාවෙන ලෙව්තුරා බුදුරජාණන් වහන්සේටත් උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොට ගන්නා නිමේෂයේදී පමණක්මයි. මේ මොහොතේ භික්‍ෂුව දෑස් දෙක පියාගෙන නුවණින් දකිනවා අතීත සංසාරයේ පටිච්චසමුප්පන්නව කල්ප කොච්චර නම් කාලයක් අඳුරේම ගිලී පවතින මේ ලෝකයන් තුළ මම දුක් විඳින්න ඇතිද කියලා.

මම බුද්ධෝත්පාද කාලවල ඉපදිලා, විද්‍යාව කියන අර්ථයට, විමුක්තිය කියන අර්ථයට විහිළු කරලා අවිද්‍යාව ශක්තිමත් කොටගෙන මෙවන් අඳුරු ගුහා තුළ මොන තරම් දුක්විඳින්න ඇතිද?

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ඉර, සඳ, එළිය නොදෙන හැමදාමත් ඝන අඳුරේ ගිලී පවතින, අඳුරු ස්ථානයන්හි සත්ත්වයා විඳින දුකට වඩා වැඩි දුකක් මේ ලෝක ධාතුවේ තිබෙනවාය කියලා. එම අඳුරට වඩා බිහිසුණු වියරු අඳුරක් ලෝකයේ තිබෙනවාය කියලා. එම අඳුර තමයි, යම් භික්‍ෂුවක් යම් ගිහි පිංවතෙක්, ජාති, ජරා, ව්‍යාධි, මරණ මේ දුක යැයි තතුසේ නොදනීද, මෙයයි දුකට හේතුව යැයි, තෘෂ්ණාව ගැන නොදනීද, මෙයයි දුකේ නිරෝධය යැයි තතු සේ නොදනීද, මෙයයි දුක නිරෝධය කරන මාර්ගය යැයි, තතුසේ නොදනීද මේ නොදැනීම නිසාම දුකට හේතුවෙන සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාවන්ම බැඳෙයිද, නැවත නැවත උපතකට අදාළ සංස්කාරයන්ම රැස්කොට ගනීද, සඳු, හිරු එළිය නොදෙන වියරු ඝනාන්ධකාරයට වඩා චතුරාර්ය සත්‍යය ධර්මයක් නොදැනීමේ බිහිසුණු අඳුර බලවත්ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක් උතුම් දස පාරමී ශක්තියෙන් උපන් චතුරාර්ය සත්‍යය ධර්මයන්ට ඒ තුළින් ලබන විද්‍යා විමුක්තියට අපහාස කළොත්, විහිළු කළොත් ඉර, හඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරු ලෝකයන්, පටිච්ච සමුප්පන්නව ඔබ එනතුරු මඟ බලාගෙන සිටිනු ඇත.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි විදර්ශනා නුවණින් අවබෝධ කොටගත යුත්තේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ අනිත්‍ය භාවය යැයි කියලා. අපි රූපය විතරක් අනිත්‍යයයි කියලා දකිමින් සිටියාම අර්ථවත් ඵලයක් ලැබෙන්නේ නැහැ. අපි වේදනාව පමණක් අනිත්‍යයි කියලා දකිමින් සිටියාට අර්ථයේ ඵලයක් ලැබෙන්නේ නැහැ. අපි පංචඋපාදානස්කන්ධ ධර්මයෙන්ගේම වර්තමාන අතීත අනාගත අනිත්‍ය භාව අවබෝධ කොටගන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අප විදර්ශනා නුවණින් ප‍්‍රහාණය කළ යුත්තේ අවිද්‍යාව සහ භාවයට ඇති තෘෂ්ණාවයි කියලා. ඉර, සඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරේ ගිලී පවතින ලෝකයන්ට වඩා අවිද්‍යාවේ අඳුර අති බිහිසුණු නම් කරුණාකර පිංවත් ඔබ, අවිද්‍යාව දුරු කරන්න. අවබෝධයෙන්ම පහකොට දමන්න. භවය, ජාති, ජරා, ව්‍යාධි, මරණවලට තෝතැන්නක් නම් කරුණාකර, භවාත‍්‍රය කෙරෙහි තෘෂ්ණාව අවබෝධයෙන්ම දුරු කරන්න.

පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.