මේ සංසාරය අවබෝධයට හොදම කාලයයි.

වර්තමානයේ අවිද්‍යාව සිත්සේ ලෝකය පරිහරණය කරනවා. තෘෂ්ණාව සිත්සේ ලෝකය දුකෙන් තිරිහන් කරනවා. කාමච්ඡන්ද, බිය, සැකය, විසිරුණු සිත් ජීවිතවල සහකරු හෝ සහකාරිය බවටම පත්වෙලා. මේ සියල්ලේම ජවයෙන් අපේ පංච උපාදානස්කන්ධ ලෝකය හති දමමින් දුවන්නේ, තව තවත් සංස්කාර නමැති දහදියෙන් අපේ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයන් තෙත බරිත කරවමින්, අපි කාටවත්ම මේ දිවීම නවත්වලා, ධර්මානුකූලව සතිය සිහිය පිහිටුවා ගන්න විවේකයක් නැහැ. රූපයන් කෙරෙහි තෘෂ්ණාව, විඳීම්, හඳුනා ගැනීම්, සංස්කාරයන් කෙරෙහි තෘෂ්ණාව සහ ලෝකය කෙරෙහි ඇතිකොටගත් නිත්‍ය, සැප, සුභ, ආත්මීය සංඥාවන් ඵස්සය ඉදිරියේ සුරතල් වෙන්නේ සද්ධර්මයේ හයක්, හතරක් නොතේරෙන දරු පැටවුන් වගේමයි.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසනවා, ස්වාමීන් වහන්ස, සද්ධර්මයේ ශක්තියක් නැහැ නේද කියලා. අවිද්‍යාවෙන් දෑස් අන්ධ ඒ මහත්මයාට නොපෙනුනාට, උතුම් ශ්‍රී සද්ධර්මයේ ඒහිපස්සික ගුණයයි, අපේ දෑස් පනාපිට මේ විවෘතව බබලන්නේ, මීට වඩා සද්ධර්මයේ කුමන නම් ශක්තියක් දකින්න ද..? උතුම් සම්මා දිට්ඨියට අදාළව, කර්මය කර්මඵල විශ්වාසයන්ට අදාළව කොරෝනාව තුළින් මේ විපාක දෙන්නේ, අපිම අවිද්‍යාව හේතුවෙන් සකස් කොටගත් සංස්කාරයන්ගේ සුන්දර ධර්මයේ අර්ථයන්මයි. මේ මොහොතේත් ජීවමානව වැඩ සිටින උතුම් ධර්ම විනය නමැති ගෞරවනීය ශාස්තෘන් වහන්සේ, බුදුරජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල සිදු වූ දඹදිව් තලයේ මේ වෙසක් මාසයේදීම සුන්දර ධර්ම දේශනාවක් පවත්වනවා, සියලු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවට කියා දෙමින්. මහණෙනි, මේ සංස්කාරයෝ වංචාවක්, මේ සංස්කාරයෝ ප්‍රෝඩාවක්, මේ සංස්කාරයෝ ඇස් බැන්දුමක්. ලෝක බලවතුන් පවා තුට්ටු දෙකට ඇද දමන, ලෝක බලවතුන්ගේ පම්පෝරි කථාවත් මොහොතක් ගොළු කරන, සංස්කාරයන්ගේ වියරුව, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණයේම අර්ථය නොවේ ද මේ අපි සරලව දකින්නේ.

පිංවත් නායකයින්, අපේ රටේ පළමුවැනි කොරෝනා රැල්ල ජය ගත්තේ ලෝකයාගේම පැසසුම් ලබමින්, නමුත් ඒ සියලු පැසසුම් තුන්වැනි කොරෝනා රැල්ලේ දී වෙනස්වෙලා ගියේ, සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාගෙත්, තෘෂ්ණාවෙත් සටකපට මැජික් සංදර්ශනයන් නිසාමය.

අපේ සතිය සිහිය දුර්වල වුණ තැන දි, අපි ධර්මයට අදාළව සිතන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව යැයි සිතන්නේ නැහැ. දුකේ නැති කිරීම තමා තුළින්මයි සිදුකොටගත යුත්තේ කියලා සිතන්නේ නැහැ. තෘෂ්ණාව, නිවන් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය හඳුනන්නේ නැහැ. ජරා, ව්‍යාධි, මරණ දුක මතම තව තවත් ඇලීම් සහ ගැටීම් තුළින් තෘෂ්ණාවෙම බර වැඩිකොට ගන්නවා. කොරෝනා අකුසලය සමස්ත මනුෂ්‍ය ප්‍රජාවටම මදි නොකියන්න අකුසල් විපාකයන් ජීවිතගත කරන මේ අවස්ථාවෙදිම ඇමෙරිකාව, චීනය, රුසියාව, ඉන්දියාව තුළින්ම කොරෝනාව මර්ධනයට එන්නත් සොයා ගැනෙන්නේ ද, ලෝක ජනතාවගේ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනේ ශක්තිය නිසාමය. පිංවත් ඔබට පෙනෙනවා නේද, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ප්‍රෝඩාවක, ඇස් බැන්දුමක තිබෙන වංචාකාරී ස්වභාවය. අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයෝ විනාශයේත්, නැවත ගොඩ නැගීමෙත් යන අර්ථයන් දෙකේම පරම හිමිකරුවා වෙනවා. සත්ත්ව ප්‍රජාව අත්විඳින දුක සහ සැප යන අර්ථයන් දෙකේම පරම හිමිකරුවා වෙනවා.

අකුසලය විසින්ම කොරෝනා රෝගය වියරුවෙන් සමාජගත කරද්දී, ජනතාවගේම පින හේතුවෙන් කොරෝනා මර්ධනයට අවශ්‍ය එන්නත් ද නිපදවා ගැනීමට අවශ්‍ය දැනීම් සකස්කොට දෙනවා. අපිම රැස්කොට ගන්නා කුසල් සහ අකුසල් සංස්කාරයෝ, අපිම රැස්කොට ගන්නා පින සහ පව පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ දැනීම් ඔස්සේ අපිව ලෝකය තුළම කරකවා අතහැර දමා තිබෙනවා. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් අහනවා, ස්වාමීන් වහන්ස, එකම මොහොතේ රෝගීභාවයේ වර්ධනයත්, එන්නතත් දෙකම සමාජගත වුණේ කොහොම ද කියලා. පිංවත් ඔබ ඊයේ දවස ගන්නකෝ, ඊයේ දවසේ ඔබ මොනතරම් කුසල් සිත් ඇතිකොට ගත්තා ද, ඊයේ දවසේ ඔබ මොනතරම් නම් අකුසල් සිත් ඇතිකොට ගත්තා ද.? එකම දවසේ අපි කුසල්, අකුසල් යන දෙයාකාරයේම කර්මයන් සිදුකොට ගන්නවා වගේම, එම අතීත කර්මයන් විපාකයට එනකොට, කොරෝනාව වියරුවෙන් සමාජගත වෙත් දි, ජනතාව කොරෝනාවෙන් මාරාන්තික පීඩාවන් අත්විඳිද්දී, විපාකයට පැමිණෙන කුසල් සංස්කාරයෝ නිරෝගීභාවයට අදාළ එන්නත ද නිපදවා ගැනීමට අදාළව දැනීම් සකස්කොට දෙනවා.

මේ ලිපිය සටහන් තබන මොහොතේ රටේ පිංවත් ජනතාව කොරෝනා මර්ධන එන්නත ලබා ගන්න පෝලිම්වල නොඉවසිල්ලෙන් පසු වෙනවා. ගෞරවනීය පිංවත, මොහොතක් ඔබ සතිය සිහිය ඇතිකොට ගන්න. ඔබ මේ ලබා ගන්නා කොරෝනා එන්නත යනු, පිංවත් ඔබේම පිනේ, සහ කුසල් ධර්මයන්ගේ ඵලයක්. කරුණාකර ධර්මයට ගරු කරන්න. පිංවත් ඔබ කොරෝනා එන්නත විද ගනිද්දී උතුම් කුසල් ධර්මයන්ගෙන් උපන් පිනේ ශක්තියට, කර්මය කර්මඵල විශ්වාසයන්ට අදාළව ඒ උතුම් ධර්මයන් දේශනාකොට වදාළ උතුම් තෙරුවන්ට සහ අන්‍යාගමික පිංවතුන්ලා තම තමන්ගේ ආගමික ගුරුවරුන්ට හදවතින්ම වන්දනා කරන්න. ඔබේම පිනේ ශක්තියමයි එන්නතේ ප්‍රතිශක්තිය හැටියට ඔබේ ශරීරගත වෙන්නේ. පිංවත් ඔබේ පිනේ ශක්තිය චීනයේ, ඉන්දියාවේ, රුසියාවේ එන්නත් නිපදවන සමාගමකට පවරා දෙන්න එපා. අපේ දුකේත්, අපේ සැපයේත් එකම වගකිවයුත්තා අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන සංස්කාරයන් බවම නුවණින් දකින්න. කොරෝනා එන්නත තුළිනුත් ධර්මයක් ජීවිතයට එකතුකොට ගන්න.

කොරෝනා එන්නතේ නාමයෙන්, ඔබේම අතීත පිනේ ඵලයක් ලබා ගන්නා පිංවත් ඔබ, එන්නත් විදින සෞඛ්‍ය කාර්යාලවලට ගිහින් ඇතිවෙන ප්‍රමාදයන්හි දී, අපහසුතාවයන් ඉදිරියේ දී, එන්නත නොලැබීම ඉදිරියේ කරුණාකර අසංවරව, විනය විරෝධීව, කේන්තියෙන් හැසිරෙන්න එපා. සංස්කාරයන්ගේ ඉහත වියරුව නුවණින් දැකලා විනයගරුක වෙන්න. ඉවසීම පුහුණු කරන්න. ලද දෙයින් සතුටු වෙන්න. ඔබේම පිනක් විපාක දෙද්දී ආයෙමත් අකුසල් වලින් ජීවිත පුරවා ගන්න එපා. කොරෝනා අකුසලය මැඩගෙන මේ විපාක දෙන ඔබේම “කුසල් විපාකයට” අසත්පුරුෂ වෙන්න එපා. මෙය සටහන් තබන භික්ෂුව, මේ දක්වා කොරෝනාව සඳහා කිසිම එන්නතක් විදගෙන නැහැ. භික්ෂුව කවදාහරි කොරෝනා එන්නත විද ගන්නේ රටේ සියලුම ජනතාවට කොරෝනා එන්නත විද්දාට පසුවයි. එතෙක් භික්ෂුවගේ ජීවිතයට තිබෙන කොරෝනා මර්ධන ප්‍රතිශක්තිය තමයි, පිංවත් කොරෝනා එන්නත් ලබා ගන්නා සියලුම පිංවතුන්ලාටත්, කොරෝනා මර්ධනය උදෙසා අවංකභාවයෙන්, ජීවිත පරිත්‍යාගයෙන් කැපවෙන සියලුම පිංවතුන්ලාටත් සුවපත් වේවා, කයේ දුක් දුරුවී, සිතේ දුක් දුරුවී, නිරෝගීවේවා යැයි මෙත් වැඩීමෙන් ඇතිකොට ගන්නා වූ කුසල් ශක්තිය. මෙවැනි ධර්මානුකූල ප්‍රතිශක්තියකුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ තිබෙනවා. නමුත් පිංවත් ඔබ, ඔබට ලැබෙන මුල් අවස්ථාවේදීම එම එන්නත විනයගරුකව ලබා ගන්න දක්ෂ වෙන්න.

පිංවත් ඔබ කොරෝනා එන්නත ලබා ගැනීමේ දී ඇතිවන ප්‍රමාදය හේතුවෙන් සිතෙන්, කයෙන්, වචනයෙන් අකුසල් සිදුකොට ගනිමින් නම් එම එන්නත ලබා ගන්නේ, නියමිත නීතිරීති වලින් බැහැරව, වංචාකාරීව සහ හිතවත්කම්වලට නම් එම එන්නත ලබා ගන්නේ එන්නතෙන් ඔබ ලබනා ප්‍රතිශක්තිය ඔබට නැවත අකුසලයේ පාරාවළල්ලක් විය හැකි යැයි ධර්මානුකුලව සටහන් තබනවා. මේ ගැන සිහි නුවණින් සිතන්න.

මනුෂ්‍ය සමාජයට වෛරස් සහ මාරාන්තික විෂබීජ සමාජගත වෙන්නේ, මනුෂ්‍යයාගේම දුශ්ශීලභාවය සහ අකුසල් මූලයන්ගේ ශක්තිය නිසාමයි. ලෝභකම සහ ද්වේශය වෛරසයට හොඳ පෝෂණීය ආහාරයක්. වෛද්‍ය විද්‍යාව මොනතරම් උසස් ඖෂධ, එන්නත් නිපදවුවත්, ජනතාවගේ අකුසල් මූලයන් වැඩි වෙනවා නම්, එම එන්නත් වලට ඔරොත්තු නොදෙන බලවත් වෛරස් ප්‍රභේදයන් වර්ධනය වෙනවා. එම නිසා විසඳුම කොරෝනා එන්නත පමණක් නොවේ. මේ මොහොතේ කොරෝනා එන්නතෙන් ඔබ ලබනා නිරෝගීභාවය ඔබ තුළින් කුසල් මූලයන් වැඩීම උදෙසා සහ ශීලයේ ශක්තිය උදෙසා යොදා ගැනීමයි. එය එසේ නොවී පිංවත් ඔබ සුපුරුදු දශ අකුසල් දෙසටම ගියොත් මීට වඩා මාරාන්තික වෛරසයක් සමාජගත වේවි.

අපි නිරතුරුවම අකුසල් සහ කුසල් දෙයාකාරයේම සංස්කාරයෝ ජීවිතයෙන් රැස්කොට ගන්නවා. ඒ නිසාම අකුසලය කොරෝනා වෛරසයට හේතු සකස්කොට දෙද්දී ඔබේම කුසලය නිරෝගීභාවය උදෙසා එන්නත් බිහිවීමට දැනීම් සකස්කොට දෙනවා. මෙන්න මේ සංස්කාරයන්ගේ දෙබිඩි හැසිරීමටයි, සංස්කාරයන්ගේ ඇස් බැන්දුමටයි අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ යැයි ධර්මයේ සඳහන් වෙන්නේ. මෙවැනි බලවත් අකුසල් සංස්කාරයන් විපාක දෙනකොට, අපේ වෘත්තීය මමත්වයේ දැඩිභාවය ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ. සමගියෙන්, සාකච්ඡාවෙන්, සාමූහිකව තීන්දු, තීරණ ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. කොරෝනා වසංගතය හේතුවෙන් සකස්වෙන කිසිදු පීඩාවක දී, අපි කාටවත්ම චෝදනා කළයුතු නැහැ. සත්ත්වයා කර්මය දායාදකොට උපදියි, සත්ත්වයා කර්මය කැඩපත කොටගෙන උපදියි යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසා චෝදනා, විවේචන, මගහැරයෑම් නොවේ අපේ යුතුකම විය යුත්තේ. සමගියෙන්, අවංකභාවයෙන්, අකුසලයේ හැඩරුව දකිමින් මාර ධර්මයන්ට යට නොවී අපේ වගකීම මෙත් සිතින් ඉටුකොට අපි කුසලයෙන් ශක්තිමත්වීමයි. අපි අකුසලයට කොටු නොවීමයි.

පිංවත, මමත්වයේ දැඩිභාවය විවරකොට ජීවිතයට ඉඩ දෙන්න, ලෝකය නිවැරදිව විනිවිද දකින්න. ලෝකය මතුපිටින් නිත්‍යයි, සැපයි, සුභයි, මම යැයි දැක්කා දැන් හොඳටෝම ඇති. කොරෝනා අකුසලයෙන් සලිත වූ මනුෂ්‍යයන් අතරින්, කොරෝනා අකුසලය මුල් කරගෙන තව තවත් අකුසල්ම ජීවිතයට එකතුකොට ගන්නා පිංවත් මනුෂ්‍යයන් අතරින්, ඔබ අදම මිදෙන්න. මිරිඟුවක්ම වූ අකුසලයත්, මායාවක්ම වූ කුසලයත් භව බන්ධනාගාරයේ ඔබව සිරගත කරන අධිකරණ තීන්දුවක් බවම නුවණින් දකින්න. පිංවත, ඔබ මේ කොරෝනාවේ නාමයෙන් කළමනාකරණය කරන්නෙ අකුසලයයි. කරුණාකර අවංක වෙන්න. වංක වුණොත් අකුසලය ඔබව වෙලා ගනීවි…!!!

තෙරුවන් සරණයි…!!!

– පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ.

පළකරන ලද්දේ :- දිවයින ඉරිදා සංග්‍රහය (23/05/2021)

ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…