මේ ලෝකයේ සැබෑම නිහඬතාවය තියෙන්නේ ඝෝෂාව තුළයි.

ප්‍රශ්නය :-

ස්වාමීන් වහන්ස මම මේ පෞද්ගලිකව දකින දෙයක්. හුදෙකලාවේ භාවනා කරන කොට ස්වාමීන් වහන්ස ටිකක් කල් ඉන්න කොට ඒ කුටියට, පරිසරයට ඒවට තදින් ඇල්මක් ඇති වෙනවා. ඊට පස්සේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ආවොත්, ඊට පස්සෙ ගිහි කෙනෙක් උදව් කරන්න ආවත් ඒකත් එක්ක සියුම් ගැටීමක් ඇති වෙනවා. ඒක ඒ පුද්ගලයාට දැනෙනවා. දැන් මේක ස්වාමීන් වහන්ස කොහොමද දකින්නේ..? අපි කුටියක ඉන්න ඕන කොච්චර කාලයක්ද..? කාලය ස්වාමීන් වහන්සේ තීරණය කළේ කොහොමද..?

(සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.)

පිළිතුර:

ස්වාමීන් වහන්ස. එහෙම තීරණය කළා කියන්නේ මං ඔය කොයි කුටියකත් මාස තුනකට වැඩිය ඉඳලා නැහැ. වස් කාලේ විතරයි මම මාස තුනක් එක දිගට ඉඳලා තියෙන්නේ. දැන් මං මේ වෙන කොට කොහොමත් තිස්පස් තැනක විතර ඉඳලා තියෙනවා. මේ අවුරුදු හය තුළ.

අතුරු ප්‍රශ්නය:

ස්වාමීන් වහන්ස එහෙම ගොඩක් චාරිකා කරන කොට මේ සමාධියක් උපදවන්න අපහසු තාවයකට පත් වෙන්නේ නැද්ද..?

පිළිතුර:

මෙහෙමයි ස්වාමීන් වහන්ස. මේ ධර්ම මාර්ගය තුළ මේ ලෝකයේ තියෙන සැබෑම නිහඬ තාවය තියෙන්නේ ඝෝෂාව තුළයි ස්වාමීන් වහන්ස. එතනට තමයි අපි කවදා හරි එන්න ඕන. මේ ලෝකයේ තියෙන සැබෑම නිහඬ තාවය තියෙන්නේ ඝෝෂාව තුළයි. මොකද ඝෝෂාව තුළදියි ස්වාමින් වහන්ස අපේ හිත කොච්චර නිහඬයි ද කියන කාරණය අපට දැනගන්න පුළුවන්. එතනට තමයි අපි කවදාහරි එන්න ඕන ස්වාමීන් වහන්ස. ඒ නිසා, අපි හුදෙකලාවට ගැටිලත් ස්වාමීන් වහන්ස, ඝෝෂාවට ඇලුණත්, හුදෙකලාවට ඇලිලා අපි ඝෝෂාවට ගැටුණොත් ඒ දෙකේම අපි තුළ තියෙන්නේ දුර්වල තාවයක්මයි ස්වාමීන් වහන්ස. නමුත් හුදෙකලාව අත්‍යවශ්‍යයි නිවන් මාර්ගයට. ඒ පිළිබඳ සැකයක් නෑ. නමුත් එතන හුදෙකලාවට ඇලීම කියන කාරණය තුළ අපි නිවන් මඟ බාධා කරගන්නවා ස්වාමීන් වහන්ස. හුදෙකලාව කියන්නෙත් මොහොතින් වෙනස් වන දෙයක්ය කියන කාරණය අපි දකින්න ඕන. එතනදී හැම වෙලාවෙම අපි මේ ධර්ම මාර්ගයේ යනකොට අපි විශේෂයෙන් ම කැපකරු එක්ක නොගැටී ඉන්න දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්ස. කැපකරුත් එක්ක ගැටෙන තරමට අපි ඉන්නවා නම් අපේ විදර්ශනාව ගැන කතා කරන එකේ තේරුමක් නැහැ. මොකද ඒ කැපකරුගේ ස්වභාවය ඒක. ඒ කැපකරුගේ ස්වභාවය තියෙන්නේ එයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන්නාවූ ස්වභාවය මත ස්වාමීන් වහන්ස.

එතකොට ධර්මය කෙරෙහි අපි අචල ශ්‍රද්ධාව වෙනකොට මේ ලෝකයා කෙරෙහි අපි අනුකම්පාව සකස්කර ගන්නෙ කුමක් නිසාද..? අපි දකිනවා එයාගේ ඉන්ද්‍රියන් වැඩිලා තියෙන්නේ එච්චරයි ස්වාමීන් වහන්ස. ඊට වඩා දෙයක් අපට එයාගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතින් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි නම් අපිට එයාගෙන් ඊට වැඩි දෙයක් බලාපොරොත්තු වන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අපි හැම වෙලාවෙම අපේ කැපකරුවාත් එක්ක අපි ගැටෙන ස්වභාවයට යනවා නම් කොතනකදී හරි අපට කවදාක් වත් මේ ධර්ම මාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ ස්වාමීන් වහන්ස. ඒ නිසා හැම වෙලාවෙම අපි දක්ෂ වෙන්න ඕන කැපකරු සමග නොගැටී ඉන්න ස්වාමීන් වහන්ස. මොන ප්‍රශ්නයක් ආවත් කරන්න දෙයක් නෑ. ඒක අපේ සංස්කාරයක්. අපි සංසාරේ එක එක්කෙනාට බාධා කරලා ඇති, පීඩා කරලා ඇති. ධර්මය කෙරෙහි අපි ඒක ගලප ගන්න ඕන. ඒ නිසා හුදෙකලාව කියන කාරණය අත්‍යවශ්‍යයි නිවන් මාර්ගයට. ඒ වගේම සැබෑම හුදෙකලාව තියෙන්නේ ඝෝෂාව තුළයි කියන කාරණය අපි දකින්න ඕන. අපි එතනට තමයි කවදාහරි යන්න ඕන. මොකද ඝෝෂාව තුළයි තමා තමා තුළින් දකින්නේ, තමාගේ හිත කොච්චර නම් නිහඬ ද කියන කාරණය.

අතුරු ප්‍රශ්නය:

ඒ කියන්නේ ස්වාමීන් වහන්ස පිරිසක් අතරෙත් මේ හුදෙකලාවෙත් එකම ආකාරයේ හිත පවතිනවද..?

පිළිතුර:

එහෙම වෙන්න වෙනවා. අපට එතනට එන්න වෙනවා ස්වාමීන් වහන්ස. එතනට එන්න වෙනවා. එතනදී එයාට පිරිස කියන කාරණයත් අදාල නෑ. හුදෙකලාව කියන කාරණයත් අදාළ නෑ. එයා හුදෙකලාවට ඇලෙන්නෙත් නෑ. පිරිසට ගැටෙන්නෙත් නෑ. මොකද ඇලීමයි ගැටීමයි දෙකම තියෙන්නේ තෘෂ්ණාව මත. අපි මෙතන පිරිසට ඇලෙනවා කියලා, ගැටෙනවා කියලා අපි කැලේට ගිහිල්ල කැලේට ඇලුණොත් එතනත් තියෙන්නේ තෘෂ්ණාව මයි. අපි දෙතැනම එකදේයි කරලා තියෙන්නේ. දෙතැනින්ම අයින් වෙන්න ඕන මේ කාරණයේදී. කැලේ උපාදානය කියන එක හරි භයානකයි ස්වාමීන් වහන්ස. මොකද කැලේ කියන දේ අපට උපාදානයට ලක් වෙනවා, හුදෙකලාවත් එක්ක. වන සත්තු ඉන්නවා. සිවුපාවෝ ඉන්නවා. පරිසරය සුන්දරයි. මේවත් එක්ක කැලේ උපාදානය හුඟක් බලවත්. සමාධියත් මේකට එක්කහු වුණාම ආයිමත් විදර්ශනාව පැත්තට යන්නම බෑ. මේ දෙක එකතු වුණාට පස්සේ විදර්ශනාව පැත්තට වැඩෙන්න බැහැ. මොකද සමාධිය තුළ කැලේට තියෙන්නා වූ ප්‍රකට භාවය, ආශා භාවය වැඩි වෙනවා. හුදෙකලාවට කැමති නිසා. අවසානෙදි ඒ දෙක තුළ එයා හිර වෙනවා. ඒ නිසා හැම වෙලාවෙම කැලේ තුළත් තියන ස්වභාවයෙන් කුසල් තුළත් ඉන්න අපි දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්ස. නමුත් හුදෙකලාව නිවන් මාර්ගයට අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හුදෙකලාව අත්‍යවශ්‍යයි. නමුත් අපි යම් මොහොතක ඝෝෂාවට ගියොත් එතන ගැටෙන ස්වභාවය අපට ඇතිවෙන්න බෑ. අපි ගැටෙනවා නම් අපි තවම ධර්මය තුළ නැහැ ස්වාමීන් වහන්ස. ධර්මය තුළ නැහැ. අපි හුදකලාවෙන් ධර්මානුකූල ප්‍රයෝජනය අරගෙන නැහැ.

අතුරු ප්‍රශ්නය:

ස්වාමීන් වහන්ස කුටියක් අතහැරලා යන්නේ මොන වගේ හේතු මතද..?

පිළිතුර:

කොහොමත් ස්වාමීන් වහන්ස මම මාස දෙකකට විතර සැරයක් කුටියක් අතහැරලා යනවා. මොකක් හෝ සිද්ධියක් මතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙන ස්වාමීන් වහන්සේ නමක් වඩින්න පුළුවන්. දැන් ඇතියි කියලා හිතෙන්න පුළුවන්. යන්න හිත සකස් වෙන කොට යනවා එතනින්.

අතුරු ප්‍රශ්නය:

එතකොට ස්වාමීන් වහන්ස දැන් එක ස්ථානයක, එහෙම ස්වාමීන් වහන්සේට හොඳටම හිත වැඩිච්ච තැන් තියෙනවානේ.

පිළිතුර: එහෙයි.

අතුරු ප්‍රශ්නය:

එතන අත හැරලා තව තැනකට යනකොට ඒ විදිහටම හිත වැඩෙනවද..?

පිළිතුර:

සමහර තැන් තියෙනවා හිත වැඩීමේ ස්වභාවයන් වැඩියි. ඔය අතීත රහතන් වහන්සේලා වැඩ හිටපු පෞරාණික තැන් තියෙනවනේ. ගල්කුටි ආශ්‍රිත. එවැනි තැන්වල හිත වැඩිමේ ස්වභාවය වැඩියි. එවැනි තැනක් නැහැයි කියන්න අපට බැහැ. ඒවගේ ස්වභාවයක් වැඩියි. නමුත් බොහොමයක් එබඳු තැන් දැන් දූෂිත වෙලා තියෙන්නේ. නමුත් එවැනි තැන්වල හිත වැඩෙනවා වැඩියි. එහෙම නැතුව හුදෙකලා කුටිවල හිත වැඩෙන්නේ නෑ කියන කාරණය නෙවෙයි මේ කියන්නේ. අර වගේ තැන්වල වෙන තැන් වලට වඩා ශක්තියක් අපේ ජීවිත තුළට එනවා.

අතුරු ප්‍රශ්නය:

ස්වාමීන් වහන්ස, හිත වැඩෙන තැන දිගටම ඉන්න උත්සාහයක් ගන්නේ නැද්ද..?

පිළිතුර:

නැහැ. හිත වැඩෙන තැන්වල දිගටම ඉන්න අවශ්‍ය නැහැ. එතන දිත් අපි එතන දුර්වල තාවයක් අපි අතින් වෙන්නේ එහෙම කළොත්. ඒ කියන්නේ හැම තැනකදීම අපි හිත වැඩෙන ස්වභාවයේ හිතකින් ඉන්න දක්ෂ වෙන්න ඕන ස්වාමීන් වහන්ස. හැම තැනකම වැඩෙන ස්වභාවයේ හිතකින් ඉන්න ඕන. ඒ කියන්නේ මෙතන හිත ගැටෙන්නේ නෑ, අතන හිත ගැටෙනවාය කියන්නේ අපි අවබෝධයට ඇවිල්ලා නැහැ. අපි අවබෝධයට ඇවිල්ලා නැහැ. හිත නොගැටෙන තැන රැඳිලා ඉන්නවාය කියන කාරණය තුළ අපි එතන ආශ්වාදය තුළ නැවතිලා ඉන්නවා. ආශ්වාදය තුළ නැවතිලා ඉන්නවා. ඒ නිසා මේක හැම වෙලාවෙම පරීක්ෂා කරන්න ඕනේ. එළියට දදා, එළියට දදා පරීක්ෂා කරන්න ඕන. එළියට දදා, එළියට දදා කොහොමද දැන් මේක කිය කිය, වරින් වර පරීක්ෂා කරන්න ඕන. අපි උපක්‍රමශීලී වෙන්න ඕන මෙතන. එහෙම නැතුව අපි හංගගෙන ඉඳලා මේක කරන්න අපිට බැහැ. මොකද තමාත් එක්කයි මේ සටන කරන්නේ. මාරයා කියන්නේ හිත කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. තමා තුළ සකස් වෙන පංචුපාදානස්කන්ධයයි මාරයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් මේ මාරයාත් එක්කයි අපි මෙතන තරඟ කරන්නේ. මාරයාත් එක්ක තරඟ කරද්දී අපට එකම එක ඉරියව්වක් එකම එක මාර්ගයක් කියලා කෙනෙකුට කියන්න බැහැ. මොකද මාරයාත් ඒ ඒ වෙලාවට ස්වභාවයන් වෙනස් වන ආකාරයට අපි දක්ෂ වෙන්න ඕන වෙනස් වෙන්න, ස්වාමීන් වහන්ස.

මේ භාවනාව කියන්න තරඟයක් නම් මාරයා පන්දුව එවද්දී අපි දක්ෂ වෙන්න ඕන හැම වෙලාවෙම පන්දුව නිදැල්ලේ යන්න දෙන්න. මාරයා පන්දුව එවනවා. අපි පන්දුව නිදැල්ලේ යන්න දෙනවා ස්වාමීන් වහන්ස. මාරයා පන්දුව එවන කොට අපි කවදාක්වත් පන්දුවට පහර දෙන්න යන්නේ නැහැ. මොකද පන්දුවට පහර දුන්නොත් අපිත් වෙහෙසට පත් වෙනවා. අපට ඕන මාරයාව වෙහෙසට පත් කරවන්නයි ස්වාමීන් වහන්ස. මාරයා වෙහෙසට පත් කරන්න. මාරයා වෙහෙසට පත් කරන්න නම් මාරයාට පන්දුව එවන්න දීලා පන්දුව නිදැල්ලේ අරින්න අපි දක්ෂ වෙන්න ඕන. මොකද මෙතනදී ලකුණු හඹාගෙන නෙවෙයි යන්නේ අපි. ජයග්‍රහණය, පරාජය හඹාගෙන නෙවෙයි. අපි දන්නවා ලකුණු කියන්නෙත් ජයග්‍රහණය කියන්නෙත් අනිත්‍ය වන දෙයක් කියල. මෙතනින් යන්නේ මේ ලකුණුත් ජයග්‍රහණයත් සියල්ලෙන්ම මිදෙන්න යන ගමනක්ය කියන කාරණය අපි තුළ තියෙන්න ඕන. ඒ නිසා හැම වෙලාවෙම මාරයා පන්දුව එවන කොට ස්වාමීන් වහන්ස පන්දුව නිදැල්ලේ යන්න දෙනවා කියන්නේ සකස් වෙන්නා වූ සිතිවිලි වල අනිත්‍ය භාවය දකිනවා. ක්‍රියාත්මක භාවයට පත් වෙන්න දෙන්නේ නැහැ. සිතුවිල්ල සකස් වෙන කොට මාරයා පන්දුවක් එවනවා. ඒ පන්දුව අනිත්‍යයි කියලා දකිනවා කියන්නේ අපි සිතුවිල්ල සකස් වෙන්න දෙන්නේ නැහැ. සිතුවිල්ල සකස් වෙන මොහොතේම ඒක අනිත්‍යයි කියලා දකිනවා. එතනදී අපට ඇලීමකට ගැටීමකට යන්න අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස.

අතුරු ප්‍රශ්නය:

ස්වාමීන් වහන්ස. දැන් ස්වාමීන් වහ්නසේ මතක් කළේ ඝෝෂාකාරී බව තුළ නිහඬ බව කියන එක අපි පවත්වෙන්නේ ඔබ වහන්සේ කියන විදිහට සිතුවිලිවල උපදීම දැක දැක ද..? එහෙම නැත්නම් සමථ සමාධියක් ඇසුරු කරගෙනම ද..?

පිළිතුර:

නෑ, ස්වාමීන් වහන්ස. එතන ඒ මොකක්වත් ඇසුරු නොකර බලන්න තැනකට අපට එන්න වෙනවා. ඒ මොකක් වත් නැතුව එයාගේ හිතේ ස්වභාවය අනුවම එන්න වෙනවා ස්වාමීන් වහන්ස. ඒක එයා එතන විදර්ශනාවකින් ඉන්නවා වත් අනිත්‍ය සංඥා වඩමින්, දකිමින් ඉන්නවා වත් නෙවෙයි.

හරස් ප්‍රශ්නයක්:

කමටහනක ඉන්නවා වත් නෙවෙයි..?

පිළිතුර:

කමටහනක ඉන්නවා වත් නෙවෙයි. අවබෝධය තුළින්ම සකස් වෙන තැනක් තියෙනවා ස්වාමීන් වහන්ස. අවබෝධය තුළින් ම සකස් වෙන තැනක් තියෙනවා. එයාට ඒ ඝෝෂාව ප්‍රශ්නයක් ලෙස මතුවෙන්නේ නැහැ. නමුත් එයා ඝෝෂාව තුළ රැඳිලා ඉන්නේ නැහැ. දීර්ඝ කාලයම ඝෝෂාව තුළ රැඳිලා ඉන්න තිබුණත් එයා ඝෝෂාව තුළ කවදාක්වත් ගැටෙන්නේ නැහැ ස්වාමීන් වහන්ස. ඝෝෂාව තුළ එයා දකිනවා ලෝකය කොයි තරම් වේගවත් ද කියන කාරණය. ඒ වේගයයි එයා දකින්නේ. එයා කොච්චර නිහඬ ද කියන කාරණය එයා එතනදී දකිනවා. ඒ දැකීම තුළ එයාට ඇලීම්, ගැටීම්, උපේක්ෂා කියන කාරණය එයා තුළ සකස් වෙන්නේ නැහැ.

අතුරු ප්‍රශ්නය:

ඒක නිතර නිතර ඇහුනාම සාමාන්‍ය වෙනවනේ. දැන් ඔය මුහුදක් අයිනේ ඉන්න කෙනෙකුට එයා මුහුද ළඟ ඉන්න හින්දා ඒක එයාට සාමාන්‍ය වෙලා. ඒ වුණාට පිට ඉඳලා කෙනෙක් ආවහම එයාට ඒක ඇහෙනවා. එයාට විශේෂ අවබෝධයක් නෑ. එයාට නින්ද යන්නෙත් නෑ මූදු රැල්ලේ ඝෝෂාවට. නමුත් මුහුද ළඟ ඉන්න කෙනාට ගාණක්වත් නෑ. අරයට එහෙම නෑ. නේද ස්වාමීන් වහන්ස..?

පිළිතුර:

නෑ. එහෙම එකක් නෑ ස්වාමීන් වහන්ස. ඒක දැනුණා නොදැනුණා පුරුදුයි නුපුරුදුයි කියලා කාරණයක් නැහැ. එතන හිතේ ස්වභාවයක් එනවා. කවදාහරි අපි එතනට යන්න ඕන. ඒ ස්වභාවය තුළ එයා ඝෝෂාව තුළ එයාගේ නිහඬ භාවයයි එයා දකින්නේ ස්වාමීන් වහන්ස. එයාට මුහුදේ ඝෝෂාව ද, මනුස්සයාගේ ඝෝෂාව ද, මොන ඝෝෂාව ද කියන කාරණය එයාට අදාල නැහැ. මහා මේඝයක් බැහැගෙන යන්න පුළුවන්. නමුත් ඒ වේගය තුළ එයා තමාගේ හිතේ නිහඬ භාවය දකිමින් ඉන්නවා. එයාට වේගය අවශ්‍ය නැහැ. එයා වේගය දකින්න යන්නේ නැහැ. එයා තමාගේ නිහඬ භාවය දකිමින් ඉන්නේ ස්වාමීන් වහන්ස.

හරස් ප්‍රශ්නයක්:

ඒ කියන්නේ බාහිර තත්ත්වයන් එක්ක ගැටීමක්, උපේක්ෂාවක් …?

පිළිතුර:

උපේක්ෂාවක් නෑ. තමා තුළ නිහඬ භාවය දකිනවා. කොයි සා බරපතල ශබ්දයක්, බරපතල ප්‍රශ්නයක් වුණත් ප්‍රශ්නයක් නෑ. එතන තැනක් තියෙනවා. ඒ තැනට තමයි අපි එන්න ඕනෑ ස්වාමීන් වහන්ස.

අතුරු ප්‍රශ්නය:

අවසරයි ස්වාමීන් වහන්ස, ඕනෑම තැනක හිත වැඩෙන කෙනෙක් බවට පත් වෙනවයි කියන්නේ එතකොට එයාගේ වැඩෙන්නේ උපේක්ෂාවද..?

පිළිතුර:

උපේක්ෂාව නෑ. උපේක්ෂාව තියෙන්න බෑ. උපේක්ෂාව කියන කාරණය වෙනයි. ඒ උපේක්ෂාව තුළ තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාව තියෙනවා ස්වාමීන් වහන්ස. බුදුරජාණන් වහන්සේ විඳීම කියන කාරණය පැහැදිලි කරන්නේ, ඇලීම්, ගැටීම්, උපේක්ෂාව කියන කාරණා. එහෙනම් විඳීම බුදුරජාණන් වහන්සේ වේදනාව පැහැදිලි කරන්නේ ඇලීම, ගැටීම, උපේක්ෂාව. එහෙනම් ඇලීම, ගැටීම, උපේක්ෂාව කියන මේ කාරණා තුනම තුළ තෘෂ්ණාව බැසගෙන තියෙනවා ස්වාමීන් වහන්ස. එහෙනම් ඔය කියන තැන උපේක්ෂාවක් නෑ ස්වාමීන් වහන්ස.

අතුරු ප්‍රශ්නය:

දැන් එතකොට ඇලීමක් නැති, ගැටීමක් නැති මේ දේ මැද තැන නේද උපේක්ෂාව කියලා කියන්නේ..?

පිළිතුර:

උපේක්ෂාව තියෙනවා නම් එතන තෘෂ්ණාව තියෙනවා ස්වාමීන් වහන්ස. මොකද බුදුරජාණන් වහන්සේ වේදනාව කියල කියන්නේ විඳීම කියලා කියන්නේ ඇලීම, ගැටීම, උපේක්ෂාව තුනටම. ඇලීමෙයි, ගැටීමෙයි මඳ භාවය තමයි උපේක්ෂාව කියන්නේ, ස්වාමීන් වහන්ස. එහෙනම් මේ තුන තුළම තෘෂ්ණාව තියෙනවා. මෙතන තිබෙන්නේ ධර්මයේ උපේක්ෂාවයි. එහෙම නැතිව වේදනාවේ උපේක්ෂාව නොවේ…!!!

(මෙම සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලා විසිනි.)

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!