මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව.

පිංවත් ඔබට සැබෑ සැපය ගැන අවබෝධයක්‌ ලැබීම පිණිස, එය ධර්ම මාර්ගය පටන් ගැනීමේ ගමනට අයෝමය ශක්‌තියක්‌වීම පිණිස, මේ ලෝක ධාතුව තුළ වෙසෙන වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, රූපයෙන් ආඪ්‍ය කාන්තාව ගැන සඳහනක්‌ තබනවා. මේ රූපශ්‍රීයෙන් බබලන නන් විසිතුරු මුතු, මැණික්‌, රන් ආභරණවල වටිනාකම දකිනවිට පිංවත් ඔබට සිතේවි ඔබේ ඔය ඩෙනිම් කලිසම, කොන්ඩ මෝස්‌තරය, ඉමිටේෂන් කරාබු, මාල වළලු, රනින් සෑදූ ආභරණ මොනතරම් අඩු ලංසුවේ නොවටිනා දේවල් ද කියලා. ඔබ සැපයි කියලා විශ්වාස කරන සැපයත්, ලස්‌සනත්, ලොව්තුරා ධර්මය තුළින් ගිහිපිංවතුන්ලා ඔසවා තබන සැබෑ සැපයත් අතර පරතරය ඔබ හොඳින් අත්දකින්න. ඔබ ඉහත ඇඳුම් ආභරණ අයිතිකරගන්න මොනතරම් රැකීරක්‌ෂා ව්‍යාපාර කරලා මුදල් හම්බකරගන්න දුක්‌විඳින්න ඕනද? පවුමක රන්මාලයක්‌ ගන්න වර්තමානයේ තරුණයකුට, තරුණියෙකුට මොනතරම් ශ්‍රමය වගුරවන්න ඕනෙද? ඊට අවශ්‍ය මුදල් හම්බකරගන්න, වර්තමාන සමාජයේ ඒවා ආරක්‍ෂා කරගන්න මොනතරම් වෙහෙසක්‌ ගන්න ඕනෙද? රන් මාලයක්‌ දමාගෙන අද බියකින් තොරව මහපාරක යන්න පුළුවන්ද? ඔබ සැපය කියලා කියන්නේ ඔය කරදර පීඩා රැසක්‌ රැඳුණු දුකට නේද?

නමුත් ධර්මයේ ගිහි පිංවතුන්ලාට දේශනා කරන සැපය තුළ ඇති ශ්‍රේෂ්ඨම ලෞකික සැපය ලබන කාන්තාව මනුෂ්‍ය කාන්තාවක්‌ නොව දිව්‍ය කාන්තාවකි. ඇය අන් කවුරුත් නොව මුළු දිව්‍යතලයන්ටම අධිපති ශක්‍ර දෙවියන්ගේ අගබිසව සුජම්පතී දිව්‍යාංගනාවයි. ඇය වැනි අසිරිමත් සැපයෙන් ආඪ්‍ය දිව්‍යාංගනාවක්‌ දිව්‍යතලයක තවත් සිටිය නොහැකිය. මේ සුජම්පතී දිව්‍යාංගනාව සමාධියේ ඇසින් දුටු භික්‍ෂුවක්‌ ඇයගේ රූපශ්‍රීය පහත ආකාරයට දක්‌වන ලදි.

භික්‍ෂුවට සමාධියෙන් ඇය දර්ශනය වෙද්දී ඇය අඩි 6ක්‌ පමණ උස දිව්‍යාංගනාවකි. ඉන්දියානු නාට්‍යංගනාවක්‌ සාරිය අඳින ආකාරයේ මෝස්‌තරයට සාරියක්‌ ඇය පැළ දගෙන සිටියාය. එම සාරිය නිල්, කොළ, දම්, අළු පැහැයෙන් යුත් වර්ණවලින් මිශ්‍රව දිලිසෙන ස්‌වභායේ සාරියකි. වැලමිට අසලට අත දිග ඉහත වර්ණවලින් සමන්විත හැට්‌ටයක්‌ ඇය ඇඳ සිටියාය. මෙම සාරියේ සහ හැට්‌ටයේ එකම තැන ඉහත වර්ණ මිශ්‍රවීමකින් දැකිය හැකිය. සාරියත් හැට්‌ටයත් අතරින් ශරීරය බාහිරට කොතැනකවත් නිරාවරණය වී නොමැත. ඇය සාරියට උඩින් අඟල් හතරක්‌ පමණ පළල බඳපටියක්‌ පැළඳගෙන ඇත. බඳපටියේ ඉදිරිපස දිදුලන මැණිකකින් සාදන ලද රවුම් හැඩයේ ආභරණයකි. බඳ පටිය වටේටද මුතුමැණික්‌ ඔබ්බවා ඇත. ඇයගේ හිසකෙස්‌ වැටිය දණහිස දක්‌වා දිගය. එය හොඳින් ගොතා පහළට දමා තිබිණ. හිසේ, උසින් අඩු ඔටුන්නකි. එය අතේ පළඳින පේරස්‌ මුද්දේ හැඩයට තැනූ සුදු මැණික්‌ එබ්බවූ ඔටුන්නකි.
ඇගේ ගෙල මාල හතක්‌, දහයක්‌ අතර ගණනක්‌ ඇත. මේ සෑම මාලයක්‌ම ඇයගේ කලවා ප්‍රදේශයට දිගය. මේ සෑම මාලයක්‌ම ඉහත සියුම් මුතුමැණික්‌ සහ රනින් ගෙත්තම් කර ඇත. මේ මාල සියල්ල අතර එක සුවිශේෂ වූ මාලයක්‌ ඇත. එය එතුමියගේ නාබිය ප්‍රදේශයට දිගැති මාලයකි. එහි අග සුදු පැහැති දොඩම් ගෙඩියක ප්‍රමාණයේ මැණිකකි. එම මැණිකෙන් වොට්‌ 100 ක ප්‍රමාණයේ බල්බයකින් නිකුත් වන ආලෝකධාරාවක්‌ නිකුත් වේ. කොටින්ම ඇය දීප්තිමත් දැල්වෙන බල්බයක්‌ ගෙල එල්ලාගත් දිව්‍යාංගනාවක්‌ සේය. නමුත් එම ආලෝකය විහිදෙන්නේ ඇගේ ගෙල බැඳි මාලයක ඇති සුදු පැහැති මැණිකකිනි. ඇය මේසා ආභරණින් රූපශ්‍රීයෙන් අග රැජිනක්‌ වුවද ඇය නිරහංකාර තැන්පත් ගති ඇති පෞරුෂයෙන් පිරීගිය දිව්‍යාංගනාවකි. සමහර දිව්‍යාංගනාවන්ගේ ඇති කෙළිලොල් බව, රූපශ්‍රීයේ ඇති රිද්මය, ලාලිත්‍යය වැනි දඟකාර චරිත ලක්‍ෂණ ඇයට නැත. ඇය තැන්පත් මහේශාඛ්‍ය දෙව් දුවකි.

පිංවත් ඔබ ඉහත සටහන පිළිගත්තද නොපිළිගත්තද එය මේ ලෝකයේ ධර්මය තුළින් ගිහිපිංවතුන්ලාට ලැබිය හැකි සැබෑම සැපය පිළිබඳව මනස අවදිකරවන අත්දැකීමකි. භික්‍ෂුව පිංවත් ඔබට එසේ සඳහන් කළද මේ නිමේෂයේත් ඒ සුන්දර සුජම්පති දෙව් දුවගේ රූපය භික්‍ෂුව දකින්නේ ඇට සැකිල්ලක්‌ කොටය. ධර්මයේ සැබෑ අර්ථය එතැනය. එහෙත් පිංවත් ඔබ කලබල විය යුතු නැත. මේ අතිසුන්දර දිව්‍යාංගනාවට ඉහත සශ්‍රිකභාවය ලැබුණේ මහන්සිවෙලා රැකීරක්‍ෂා, ව්‍යාපාර කරලා නොවේ. අම්මා, තාත්තා, ස්‌වාමිපුරුෂයාගේ දෑවැද්දට නොවේ. මේ සියලු සම්පත් ඇයට ලැබුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ ගිහි පිංවතුන්ලාට ඇඟිල්ල දිගුකර පෙන්වන ධර්ම මාර්ගයේ ගමන් කිරීම තුළින්ය. ශ්‍රද්ධාව, ශීලය, දානය, දේවතානුස්‌සතිය ඉහත සැපය ඔබට පෙන්වන මාර්ගයයි. පිංවත් ඔබ ඉන් බැහැරව බොරුවට මොනතරම් දඟලනවාද තුට්‌ටුදෙකේ සැපයක්‌ සොයන්න.

බලන්නකෝ මොනතරම් අසිරිමත් සැපයකටද බුදුරජාණන් වහන්සේ ඔබලාට පාර පෙන්වන්නේ. ඇයි අපි ‘ධර්මය දුක ගැන, මරණය ගැන, අනිත්‍ය ගැන පමණක්‌මයි කියන්නේ’ කියලා ධර්මයෙන් ඈතට යන්නේ. ධර්මය කෙරෙහි කලකිරෙන්නේ. පිංවත් ඔබ සැපය හැටියට දකින අවුරුදු 10 ක පමණ නවයොවුන් තරුණ කාලයක්‌ තිබී ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වන ඔය “දුක” ලස්‌සන රූපය කෙරෙහි ඇති කැමැත්තෙන් මිදී “සැප” ලස්‌සන රූපයක හිමිකාරිත්වය ලබාගැනීමට ඔබත් කැමතිවෙන්න මුලින්ම.