නිහඬ නවාතැන්පල.

දීර්ඝ අවිවේකී ධර්මදේශනා මාලාවක් නිමාකොට, විවේකී වස් සමයක නිහඬ නවාතැන්පල. මේ නවාතැන්පල මාගේ සුන්දර කුටිය නොව, අතීතයේ දස දහස් වාරයක්, මා වල දැමූ සුසාන භූමියයි. නෙත ගැටන දසුනින්, ආශ්වාදයද නොව, ආදීනවයද නොව, නිස්සරනයේම අර්ථය මතුකොට ගන්න දක්ෂ වෙන්න.

දුප්පත් කටුමැටි කුටියක, පිරී ඉතිර යන ධර්මයේ පොහොසත් බව, අඳුරු රැයක වුවද, ප්‍රභාශ්වර සිතක උරුමය ඔබට ලබාදෙනු ඇත. මේ සුවිසල් නිවාස අතහැර, වගකීම් යුතුකම් වලින් මිදී, කවදාකනම්, මෙවැනි කටුමැටි කුටියක ධර්මයක් සමග තනිවෙන්නද…?

රාත්‍රියට, තුති ගී ගයන, රැහැයියන්ගේ හඬ පරදා, නිහඬ සිතුවිලි අනිත්‍ය සංඥා මතුකොට දෙනු ඇත. ධර්මය විවෘතව ඇත, ධර්මය බබලමින් ඇත, පංච නීවරණ යටපත් වූ සිත, දිව්‍ය විමානයක නැති අසිරියක් කටු මැටි කුටියක, ඔබට නොපෙනෙන ලෙස සඟවා ඇත.

පුංචි කුටියේ බිත්ති හතර තුල, මගේ සිත නැවතිලාය, ලෝකයා සතුටුවෙනු ඇත, විනෝද වෙනු ඇත, කාමච්ඡ​න්දයන් විඳිනු ඇත, මගේ සිත, පුංචි කුටියේ බිත්ති හතර තුල නැවතිලාය.

මඟ හොදට පැහැදිලිය, එකම මග ආර්ය අෂ්ටාංගික මාර්ගයයි, එම මාර්ගයට පිවිසෙන දොරටුව, සම්මා දිට්ඨියි, සම්මා දිට්ඨියට, ප්‍රවිෂ්ඨ වන දොරටුව, කල්‍යාණ මිත්‍ර ආශ්‍රයත්, සද්ධර්ම ශ්‍රවණයත්, ශ්‍රවණය කලාවූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමත්ය. සම්මා සම්බුද්ධ ශාසනයක කල්‍යාණ මිත්‍රයා යනු, පින්වත් ඔබව උතුම් සම්මා දිට්ඨියට යොමු කරවන පින්වතාය..!!!

තෙරුවන් සරණයි…!!!

අති පුජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේගේ සටහනකි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…