ප්‍රශ්නය :-
ස්වාමීන් වහන්ස තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් පටිච්ච සමුප්පාදය ගත්තට පස්සේ අපට ස්වාමීන් වහන්සේලා වගේ අපේ පුද්ගලික දැනීමේ හැටියට අපි අහල තියෙන විදිහට පටිච්ච සමුප්පාදයේ දකින විදිහට අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා සමහරක් භාවනා ක්‍රමවල උගන්වන්නේ අපි දැකලා තියෙනවා ඕකේ ජීවිත තුනකට සම්බන්ධ කරනවා. පළමුවන ජීවිතය අවිජ්ජා පච්චයා සංඛාරා නිසා ඊට පස්සේ මේ ජීවිතයේ සංඛාර පච්චයා විඤ්ඤාණං කියලා මේ ජීවිතය පහළ වීම.
එහෙම ජීවිත තුනකට ගලපල ඉවරවෙලා ඊටපස්සේ දැන් අර සමහර භාවනා ක්‍රමවලදී කියනවනේ ක්ෂණ පටිච්ච සමුප්පාදයක්. මේ ජීවිත තුනකට දාලා ජාති, ජරා, මරණ බලන්න නම් අපි මැරෙනකම් ඉන්න ඕන. ක්ෂණ පටිච්ච සමුප්පාදය හැටියට දකින්න පුළුවන් වෙන්න ඕනේ මේ මග්ගනුලෝමික සම්මා දිට්ඨියට මාර්ග සම්මා දිට්ඨියට යනකොට කියලා කතා දෙකක් තියෙනවා. එතකොට ස්වාමීන් වහන්ස කොහොමද ජීවිතයේදී මේ කාරණා අපට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න මෙතන තියෙන සත්‍යතාවය මොකක්ද කියලා.
(සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා විසින් පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන සිදුකල ධර්ම සාකච්ඡාක් ඇසුරෙනි.)
පිළිතුර:
මෙතන ස්වාමීන් වහන්ස ‘අවිජ්ජා පච්චයා සංඛාරා’. දැන් අපි කියමු දැන් ඔබ වහන්සේ ගිය ජීවිතයේ මනුස්ස ජීවිතයක් ලබපු කෙනෙක්. ඔබ වහන්සේ ගිය ජීවිතයේ දී අවුරුදු අනූවක් වගේ කාලයක් ආයු වළඳලා ගිහි කෙනෙක් හැටියට මැරෙන වෙලාව එනවා. ඒ මැරෙන වෙලාවේ අවසාන චුති චිත්තය සකස් කර ගන්නවා. එතකොට ඒ චුති චිත්තය සකස් කර ගන්නේ කුමක් නිසාද..? තමා තුළ සංස්කාරයන් සකස් වුණ නිසා. කුසල් සංස්කාර හෝ අකුසල් සංස්කාරයන්ට අදාලව තමයි චුති චිත්තය සකස් වෙන්නේ. එතකොට සංස්කාරයන් සකස් වුණේ කුමක් නිසාද….? අවිද්‍යාව තුළ හිටපු නිසා. ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ චතුරාර්ය සත්‍යය දැනගෙන හිටියේ නැහැ. චතුරාර්ය සත්‍යය දැනගෙන හිටියේ නැති නිසා කුසල් සහ අකුසල් සංස්කාරයන් එයා සකස් කර ගත්තා. ‘සංඛාර පච්චයා විඤ්ඤාණං’ ඒ සකස් වුණා වූ කුසල් සහ අකුසල්වලට අදාලව විඤ්ඤාණය, කර්ම ශක්තිය සකස් වුණා. එතකොට ‘විඤ්ඤාණ පච්චය නාමරූපං’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
එතකොට මේ සකස් වුණා වූ විඤ්ඤාණය, මේ අවසාන චුති සිත ඔබ වහන්සේගේ මේ ජීවිතයේ මෑණියන්ගේ මව් කුසේ ඒ වෙලාවේ කළල රූපයක් තියෙනවා ස්වාමීන් වහන්ස. ඒක රූපයක් විතරයි. ජීව විද්‍යාත්මක දෙයක්. මෙන්න මේ තියෙන්නා වූ කළල රූපයට තමයි මේ විඤ්ඤාණය බැස ගන්නේ ස්වාමීන් වහන්ස. ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ දැන් මෙච්චර වෙලා තිබ්බ මේ කළල රූපයට විඤ්ඤාණය බැස ගත්තට පස්සේ දැන් මේ කළල රූපය ගැහෙන්න පටන් ගන්නවා. කාය සංස්කාර. අපේ පපුව ගැහෙන්නේ යම් සේද….? මේක ගැහෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ නාම ධර්මයන් සකස් වෙනවා. ‘විඤ්ඤාණ පච්චයා නාමරූපං’ ‘විඤ්ඤාණ නිරෝධා නාමරූප නිරෝධෝ’ එතකොට ‘නාමරූප පච්චයා සලායතනං’ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් නාමරූප සකස් වුණ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සති හයක් හතක් යනකොට මේක තම්බපු බිත්තරයක් ප්‍රමාණයට ලොකු වෙලා, අත පය වෙන් වෙලා, මේ ආයතන හය පිහිටනවා කියලා.
එහෙම නම් ‘නාමරූප පච්චයා සලායතනං’ නාමරූප සකස් වුණ නිසයි සලායතන සකස් වුණේ. ‘නාමරූප නිරෝධා සලායතන නිරෝධෝ.’ නමුත් නාමරූප නිරුද්ධ වුණේ නෑ. නාමරූප සකස් වුණා. ඒ නිසා සලායතන, ආයතන හය පිහිටියා. ඊට පස්සෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සලායතන පච්චයා ඵස්සෝ’. සලායතන නිසා ඵස්සය සිද්ධ වෙනවා. දැන් ඔබ වහන්සේ මේ ලෝකයට බිහි වෙනවා. බිහි වෙලා ඔබ වහන්සේ ඇහෙන් රූප දකිනවා. ඇහෙන් රූප දැක්කා කියන්නේ චක්ඛු විඤ්ඤාණය සකස් වුණා. චක්ඛු විඤ්ඤාණය සකස් වෙන කොට ස්වාමීන් වහන්ස ඔබ චක්ඛු විඤ්ඤාණය සකස් වන මොහොතේ ම ඒ ගැන හිතනවා. චක්ඛු විඤ්ඤාණය මැරිලා මනෝ විඤ්ඤාණය සකස් වෙනවා. එතකොට අපට ශබ්දයක් ඇහෙනවා. මනෝ විඤ්ඤාණය මැරිලා ශෝත විඤ්ඤාණය පහළ වෙනවා. මේක අපි කියන තරම් ලේසියෙන් නෙවෙයි මේව වේගයෙන් සිද්ධ වෙන දේවල් ස්වාමීන් වහන්ස. ඒක අපිට මෙහෙම දකින්න බෑ, කවදාහරි ප්‍රඥාවෙන් මයි අපි මේක දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා ඇසෙන් රූපයක් දකිද්දී චක්ඛු විඤ්ඤාණය සකස් වුණා. දැක්කා වූ රූපය ගැන හිතන කොට ඇස මැරිලා මන ඉපදෙනවා. එතකොට ශබ්දයක් ඇහෙනවා මන මැරිලා කණ ඉපදෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්ස.
මේ ලෝකයේ ඉන්න හැම සත්ත්වයෙක්ම හැම නිමේෂයකදීම මැරෙමින් උපදිනවා. මැරෙමින් උපදිනවා කියලා. නමුත් අපි දන්නේ නැහැ, මේ සත්ත්වයා හැම නිමේෂයකදී ම මැරෙමින් උපදිනවාය කියන කාරණය. අපි දන්නේ එයා ස්වභාවිකව වයසට ගිහිල්ලා මැරෙනවාය කියන කාරණය විතරයි. නමුත් මෙතනදී බුදුරජාණන් වහන්සේ මේ හැම නිමේෂයකදී ම සත්ත්වයා මැරෙමින් උපදිනවා, මැරෙමින් උපදිනවා කියලා දේශනා කරන්නේ මොකක්ද..? ඇසෙන් රූපයක් දකිද්දී ඇස ඉපදෙනවා. ඇස මැරිලයි මන ඉපදෙන්නේ. මන මැරිලයි කණ ඉපදෙන්නේ.කණ මැරිලයි කාය විඤ්ඤාණය ඉපදෙන්නේ. එහෙනම් චක්ඛු විඤ්ඤාණය ද ශෝත විඤ්ඤාණය කියන්නේ..? නැහැ. ශෝත විඤ්ඤාණය ද මනෝ විඤ්ඤාණය කියන්නේ..? නැහැ. මනෝ විඤ්ඤාණය ද කාය විඤ්ඤාණය කියන්නේ..? නැහැ. එකක් ඉපදිලයි, අනික් එක මැරිලයි ඊළඟ එක උපදින්නේ. ඒක ඒ සා වේගවත් ස්වාමීන් වහන්ස. එහෙම නම් ඒ වේගය තුළ අපි දකින්නේ මොකක්ද..? මේ ආයතන තුළින් හැම වෙලාවෙම ඉපදිලා තියෙන්නේ එක ආයතනයක් විතරයි ස්වාමීන් වහන්ස. ඒ ඉපදිලා තියෙන ආයතනය තුළ විඤ්ඤාණය බැසගෙන තියෙනවා.
එහෙනම් එකම විඤ්ඤාණයක්ද..? නැහැ. මැරෙමින්, ඉපදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින්, ගලා යන්නා වූ විඤ්ඤාණයයි. මොකද එක ආයතනයක් තුළ විතරයි විඤ්ඤාණය බැසගෙන තියෙන්නේ හැම වෙලාවෙම. ඇහැ මැරිලයි කණ ඉපදෙන්නේ. කණ මැරිලයි මන ඉපදෙන්නේ. මන මැරිලයි නාසය ඉපදෙන්නේ. එහෙම නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි හැම නිමේෂයකදීම මැරෙමින් ඉපදෙනවා, මැරෙමින් ඉපදෙනවා කියලා. මේ විදිහට විඤ්ඤාණය ඇතිවෙමින් නැති වෙමින්, ඇතිවෙමින් නැතිවෙමින් මේ ආයතන හය තුළ පැවතිලා ඔබ වහන්සේ මේ ජීවිතයේ චිරාත් කාලයක් ජීවත් වෙලා කවදාහරි අපවත් වෙන වෙලාවට ඔබ වහන්සේ රහත් භාවයට පත්වෙලා නොහිටියොත් අවසාන චුති සිත මනෝ විඤ්ඤාණය තුළ සකස් වෙලා ඊළඟ ප්‍රතිසන්ධියට යනවා ස්වාමීන් වහන්ස.
ඕක තමයි ස්වාමීන් වහන්ස, මම පටිච්ච සමුප්පාදයේ දකින්නේ. ඔතන තමයි ක්‍රියාකාරීත්වය දකින්නේ. ඔය පටිච්ච සමුප්පන්න ක්‍රියාවලියයි අප තුළින් සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ක්ෂය කරලා දාන්නේ. මෙතන මමය මාගේය කියලා සත්ත්වයෙක් පුද්ගලයෙක් නෑ. හේතූන් නිසා සකස් වුණ දෙයක්ය කියන කාරණයයි දකින්නේ. ‘සංඛාර නිරෝධා විඤ්ඤාණ නිරෝධෝ.’
අතුරු ප්‍රශ්නය:
ස්වාමීන් වහන්සේගේ අත්දැකීම් වල හැටියට ඒ කියන්නේ කලින් ජීවිතත් එක්ක සම්බන්ධ කරලා අවිජ්ජා පච්චයා සංඛාරා….
පිළිතුර:
කලින් ජීවිතයන් එක්ක තමයි මම සම්බන්ධ කළේ ස්වාමින් වහන්ස.
අතුරු ප්‍රශ්නය:
එහෙම ගත්තහම ඇති කියලා ද ඔබ වහන්සේගේ අදහස..?
පිළිතුර:
මගේ අදහස ඒකයි. මොකද මට වැටහෙන්නේ ඒ ආකාරයටයි.
අතුරු ප්‍රශ්නය:
ඒක චිත්ත රීතියක තියෙන ‘අවිජ්ජා පච්චයා සංඛාරා’ ඒ මට්ටමට එන්න අවශ්‍ය නැහැ කියන එකද..?
පිළිතුර:
මට නම් අත්දැකීම අතනයි ස්වාමීන් වහන්ස. මම ඒක ගත්තේ එහෙමයි.
අතුරු ප්‍රශ්නය:
ස්වාමීන් වහන්ස අභිධර්ම විභංගප්‍රකරණයෙත් තියෙනවා කුසල හේතු පච්චයා සංඛාරෝ කියලා. චිත්ත ක්ෂණයක් තුළ දකින්න ඕන කියලා. අපිට ඕක පිළිබඳව ගැටලුවක් තිබුණා. අපි එතනට එන්න ඕන ද එහෙම නැතිනම් ඔය ප්‍රමාණයම ඇත්ද කියලා.
පිළිතුර:
මට නම් ස්වාමීන් වහන්ස ඔච්චරයි අවශ්‍ය වුණේ. ඔය ප්‍රමාණය තමයි මගේ ප්‍රමාණය. මට දකින්න තියෙන, මට තව කෙනෙකුට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ප්‍රමාණය.
අතුරු ප්‍රශ්නය:
ස්වාමීන් වහන්ස අර මත දෙකක් තියෙනවනේ කම්මස්සක සම්මා දිට්ඨියමනේ අර ටික එන්නේ, මාර්ග සම්මා දිට්ඨියට එනකොට එක මොහොතක් තුළ අවිජ්ජා පච්චයා සංඛාරා ක්‍රියාවලිය දකින්න ඕනෑ කියන තැන අපට ප්‍රශ්නයක් තිබුණා ස්වාමීන් වහන්ස.
පිළිතුර:
එහෙයි. මට තියෙන අත්දැකීම නම් ඕකයි ස්වාමීන් වහන්ස…!!!
(මෙම සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ පින්වත් ස්වාමීන් වහන්සේලා විසිනි.)
තෙරුවන් සරණයි…!!!
උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!