ගිහී යෝගියෙක්ට සිය නිවසේ දී භාවනා කළ හැකිද කියලා කියනවා. ඇත්ත වශයෙන්ම පුළුවනි. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලයෙත්, ඊට පසු කාලවලත්, ලංකාවෙත් බොහෝ ගිහි බෞද්ධයෝ සිය නිවෙස්වල භාවනාව කරලා තියෙනවා. පිනුත් කරනවා.
මේ භාවනාව කිරීමට වාඩි වෙලාම කියලා නියමයක් නෑ. තමාට පහසු ඉරියව්වක… පුටුවකින් වාඩි වෙලා හරි හිටගෙන හරි කැමති කැමති ඉරියව්වක භාවනා කරන්නට නිවසේදිත් පුළුවනි.
ඒ සම්බන්ධව මොනව හරි ගැටළුවක් ආවා නම් බුදුගුණ සිහි කරන එකයි… කවදාක්වත් බුදු ගුණ සිහි කරන අයට බාධා එන්නෙත් නෑ. එන බාධාවල් සංසිඳිලා නිරුපද්‍රිතව භාවනා කරන්නට ශක්තිය ලැබෙනවා. භාවනාව වඩන ගිහි පැවිදි කාට උනත් සිල් මෑණිවරු, මව්වරු , උපාසක මහත්තුරු තමන්ගේ භාවනාව ගැන යම්කිසි අධිෂ්ඨානයක් තියෙන්නට ඕනේ. කාල නියමයක් හරි, එහෙම නැත් නම් මේ කාර්යය මං ඉෂ්ට කරන්නෙමී කියන බලවත් කුසලච්ඡන්දය තමයි මෙතන අධිෂ්ඨානය කියලා කියන්නේ.
ඒ වගේම භාවනා වැඩීමේදී ඒ කියන්නේ භාවනාව වැඩීමත් මජ්ඣිමා පටිපදාවට කරන්නට ඕනේ. අධික වීර්‍යය සුදුසු නැහැ. ලිහිල් වීර්‍යයත් සුදුසු නැහැ. හැම තැනකදීම හැම දේකදීම බුදුරජාණන් වහන්සේ අපිට දීලා තියෙන්නේ උපදේශය මැදුම් පිළිවෙතට අනුව අධික වීර්‍යයක් නැතුව මධ්‍යම වීර්‍යයෙන් වැඩ කරන්න කියලා. අධික වීර්‍යයෙන් කරනකොට එපා වෙනවා. මහන්සි වැඩි වෙනවා. හිත වික්ෂිප්ත වෙනවා.
ලිහිල් විර්‍යයෙන් කරන කොට නිදිමත එනවා. අලස වෙනවා. එ නිසා මධ්‍යම වීර්යයෙන් උත්සාහ කරලා මේ භාවනාව වැඩීමේදී තමයි ප්‍රතිඵල සාර්ථක වෙන්නේ.
සැබැවින්ම සිල් මෑණිවරු එතකොට අනෙකුත් මව්වරු කාට උනත් භාවනා වැඩීමේදී බාධක වශයෙන් එනවා තමන්ගේ සිතෙහි පසුතැවිලි. පසුතැවිලි කියන්නේ දැන් තමා රක්නා සීලය ගැන සැකයක් තියෙනවා. ඒක බාධාවක්. ඒ වගේම මේ බොහෝ ජනසම්බාධ ඇති වෙලාව… ඒ කියන්නේ බොහෝ ඝෝෂාව ඇති වෙලාව. සමහරවිට tv දාගෙන… එහෙම නැත් නම් මේ තවත් තියෙනවා ශබ්ද නැගෙන රේඩියෝ දාගෙන… ඒ වගේ ශබ්දබද්ධ තියෙන කොටත් ඒක බාධාවක්…
ඒවා නිශ්ශබ්දතාවයට පත්කර ගැනීමට කටයුතු කරනවා නම් තමයි හිතේ සැනසිල්ලේ භාවනාවක් දියුණු වෙන්න. ඉතින් ඒ නිසා ඒ විදිහේ බාහිර වශයෙන් සීලය පිරිසිදුව තබා ගන්නට ඕනේ. සීලය පිරිසිදු බව තමන්ගේ සිතේ විශ්වාසය ඇති බවත් තබා ගන්නට ඕනේ. නිසැකවම සීලය ශීලය පිරිසුදුව තියාගන්නට ඕනෑ. ඒ වගේම අනිකුත් සද්දබද්ද ආදියෙන් වැළකිලා පුළුවන් තරම් නිහඬතාවය ආරක්ෂා කරගන්නට ඕනේ. ඒ වගේම තවත් කාරණයක් තමයි තමන්ගෙ ශාරීරික පිරිසිදු බව, තමන් පරිහරණය කරන දේවල්වල පිරිසුදු බව, තමන් ඉන්න ස්ථානයේ වටපිටාවේ පිරිසිදු බව, මේක ඉතාම අත්‍යාවශ්‍ය දෙයක් තමයි භාවනාව සාර්ථක වෙන්න.
ඉතින් මෙන්න මේ වගේ සුළු දේවල් තමයි බාධාවල් තියෙන්නෙ. අනිත් කාරණය තමයි හිත ඇතුලේ ඉතින් මං භාවනා කරනවා, අනිත් ඇත්තෝ භාවනා කරන්නේ නෑ, මම තමයි මේක භාවනාවෙන් දියුණු වෙන්නේ… ඔහොම කියලා හිතුවත් ඒක බාධාවක්… ඒකට කියන්නේ මාන්නය කියලා.බොහෝ දෙනාට ඔය මාන්නය බලපානවා.
එනිසාම මේ භාවනා කිරීමේදී කාටත් යහපත් ව සිදු කරගන්නට ලැබේවායි කියලා හැම දෙනා කෙරෙහි මෛත්‍රී සහගතව මේ භාවනා වැඩීම අත්‍යවශ්‍යයි. නිහතමානීව..
අනිත් කාරණය තමයි වැදගත්ම කාරණය තමන් භාවනා කරන බව අයට කියාපෑම…තමන් භාවනා කරනවා. මං මේ විදිහේ භාවනාව දියුණුයි.. මගේ භාවනාවෙ මේ තත්ත්වටයි තියෙන්නෙ… ඕව කියන්න ගියොත් අනිවාර්යයෙන්ම ඒක භාවනාවට ලොකුම බාධාවක්. ඒ නිසා තමන් කරන භාවනාව නිධානයක් රකින කෙනෙක් නිධානය රැකගන්නවා වගේ අනුන්ට නොකියා තමන්ගේ ගුරුවරයාට පමණක් කිය යුතු අවස්ථාවල කියමින් භාවනාව දියුණු කර ගැනීමට අපි මෛත්‍රියෙන් ආරාධනා කරනවා
සාදු සාදු සාදු
අති පූජනීය නා උයනේ අරියධම්ම නායක හිම්පාණන්ගේ දේශනාවකි.