ධර්ම දාන වශයෙන් හඳුන්වනවා අට්ඨකතාවල මේ ලෝකයේ මහා පොළෝතලය සමතලා කරලා, ආසනයෙන් ආසනය අසුන් පනවලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, ආර්‍යයන් වහන්සේලා පේළි පේළි පේළි වඩා හිදුවලා මුළු සක්වල පුරාම වඩා හිදුවලා දිව්‍යමය ආහාරපාන, ඒ වගේම දෙවතල වලින් කළ තුන් සිවුරු අට පිරිකර, අනිකුත් සිව්පසයට අවශ්‍ය දේවල් මේවා අහස උසට මහ මෙර උසට පූජා කරනවට වඩා ඒ වගේම ජේතවනාරාමය, වේළුවනාරාමය, පූර්වාරාමය වැනි විහාරස්ථාන, අසූහාරදහසක් වෙහෙර විහාර, ශ්‍රී ලංකාවේ ලෝවාමහාප්‍රාසාද විහාරය, රුවන්වැලිමහා සැය, ඒ වගේම ථූපාරාම සෑය, මහියංගණ සෑය, මිරිසවැටිය සෑය ආදී මේ විහාර ස්තූප. මේවා කරනවටත් වඩා සතර පද ගාථාවක ධර්ම දානය මහත්ඵලයි, මහානිසංසයි කියන එක අට්ඨකතාවේ සදහන් කරනවා.
ඒ මක්නිසාද මේ ධර්මය අහලයි, දැනගෙන තමයි දන් දෙන්නේ, සිල් සමාදන්ව රකින්නේ, භාවනා කරන්නේ, ධ්‍යාන වඩන්නේ, අභිධ්‍යා වඩන්නේ, විදර්ශනා වඩන්නේ, කෙලෙස් නසා සතර මග ඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්නේ.
ලොව්තුරා බුදුවරයන් වහ්න්සේලා පහළ වන්නේ ධර්මය නිසයි. පසේ බුදුවරයන් වහ්න්සේලා පහළ වෙන්නේ ධර්මය නිසයි. රහතන් වහන්සේලා, අග්‍රශ්‍රාවක, මහාශ්‍රාවක ආදී රහතන් වහන්සේලා පහළ වෙන්නේ ධර්මය නිසයි.
මේ නිසා මේ ධර්ම දානය සියල්ලටම වඩා අග්‍රයි. ජ්‍යේෂ්ඨයි ශ්‍රේෂ්ඨයි, උත්තමයි, කියලා දේශනා කළා.
සාදු සාදු සාදු
අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ දේශනාවකි.