දිව්‍ය තලවල දීර්ඝ ආයුෂ විඳින අරහත්භාවයට පත්වුණ දෙවියන් සිටිනවා ද?

එක් මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමීන් වහන්ස, දිව්‍යතලවල, දීර්ඝ ආයුෂ විඳින අරහත් භාවයට පත්වුණ දෙවියන් සිටිනවාද කියලා. දිව්‍යඵලවලදී යම් දෙවිකෙනෙක් දිව්‍යාංගනාවක්, චතුරාය්‍යසත්‍ය ධර්මයන් අවබෝධකොට රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේ නමක් බවට පත්වුනොත්, එම දිව්‍ය රහතන් වහන්සේට පැවිදි උපසම්පදාව ලැබීමට දිව්‍යතල වලදී හැකියාවක් නොමැති නිසා අරහත්භාවය අවබෝධකොට දින හතක් ඇතුලත දිව්‍යතලයකදීම පිරිනිවීමට පත්විය යුතු යැයි භික්ෂුව විශ්වාස කරයි. ඉහත කරුණ සම්බන්ධව සමාජය තුල විවිධ මතයන් ඇත. සමාජය යනු කවදත් මතවාද වලින් පිරුණ තැනකි. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වන විට දඹදිව දෘෂ්ඨි මතවාද හැට දෙකක් තිබුණු බව දේශනා වල සඳහන් වෙනවා. එහෙත් ධර්මය යනු දෘෂ්ඨියක් මතවාදයක් නොවේ. ලෝකයේ යථාර්ථයයි. සමාජය තුල කුමන මතයක් තිබුණද පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට ගලපා ප්‍රශ්නය නුවණින් තේරුම්ගැනීමට දක්ෂ විය යුතුය.

පිංවත් ඔබ මෙහෙම සිතන්න. අංගොඩ මානසික රෝහලේ දැඞ් ලෙස මානසික රෝගීභාවයට පත් වූ රෝගීන් සිටින වාට්ටුවක් තිබෙනවා. මෙම වාට්ටුවේ සිටින එක රෝගියෙක් ලෝභකම නිසා පිස්සු හැදුනු රෝගියෙක්. තව කෙනෙක් රාගය නිසා, ආදරය නිසා, අධ්‍යාපනය නිසා, ද්වේෂය නිසා පිස්සු හැදුනු රෝගීන්. මේ මානසික රෝගීන් පිස්සු නටමින් වාට්ටුව තුළ සිටින්නේ. කෙනෙක් තනිවම බනිනවා. තව රෝගියෙන් තනිව ආදරය කරනවා, තව කෙනෙක් දේශනයක් පවත්වනවා, කිසිම රෝගියෙකුට වාට්ටුවෙන් පැනලා යන්න බැහැ. දැන් පිංවත් ඔබ නුවණින් මේ මානසික රෝගී වාට්ටුවේ ස්වභාවය, පරිසරය හොඳින් දකින්න. භික්ෂුව මේ කටුසටහන සටහන් තබන වනපෙතේ ගොදුරු ගමට කිලෝමීටර් හතරක් පමණ ඈත කුටියක වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් සිටිනවා.

උන්වහන්සේ තුල බොහොම උත්කෘෂ්ඨ ශීලයත්, සමාධියත් තිබෙනවා. එහෙම නැති නම් මෙවැනි ඝන කැලෑවක දීර්ඝකාලීනව වැඩ සිටින්න බැහැ. උන්වහන්සේ මේ ධර්මද්වීපය තුල වනවාසීව වැඩ සිටින ශ්‍රේෂ්ඨ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නමක්. භික්ෂුව ඉහතින් සඳහන් කල ගෞරවනීය ස්වාමින් වහන්සේව වඩම්මවාගෙන ඇවිල්ලා අර මුලින් සදහන් කළ මානසික රෝහලේ මානසික රෝගීන් සිටින වාට්ටුවට දමා දොර අඟුළු දැම්මොත් කුමක් වේවිද. දැන් පිංවත් ඔබ ඉහත උදාහරණය අනූව නුවණින් මෙනෙහි කරන්න. වාට්ටුවේ සිටින මානසික රෝගීන් සමඟ එම ගෞරවනීය ස්වාමින් වහන්සේ කෙසේ වැඩසිටින්නද, එක්කෝ උන්වහන්සේ අවබෝධයෙන්ම සියදිවි තොරකර ගනීවි, එසේත් නැතිනම් ආහාර ජලය නොගෙන ස්වභාවිකව අපවත් වේවි. එම ගෞරවනීය ස්වාමීන් වහන්සේට එම පිස්සු සමාජය තුළ ජීවත් වෙන්න බැහැ. අනිවාර්යෙන්ම එම ගිහි ජිවිතය නැමැති මානසික වාට්ටුවෙන් බැහැර වෙලා පැවිදි උපසම්පදාව ලබන්න ඕනේ. එම පිංවත් ස්වාමීන් වහන්සේ නැවත මානසික රෝගියෙක් කියන තැනට පත්වෙන්නේ නැහැ.

දැන් පිංවත් ඔබ හේතුඵල ධර්මයන්ට අනූව නුවණින් දකින්න ඕනේ, යමෙක් ගිහි ජිවිතය තුල සිටිමින් අරහත් භාවයට පත් වුවහොත් එසේත් නැතිනම් දෙවියෙක් බ‍්‍රහ්මයෙක් චතුරාර්්‍ය සත්‍ය අවබෝධය ලැබුවහොත්, ඔහු අනිවාර්යෙන්ම පැවිදි උපසම්පදාව දින කිහිපයක් ඇතුලත ලබාගත යුතුයි. එසේ නොවුනොත් එම රහතන් වහන්සේ පිරිණිවන්පාන්න ඕනේ. මොකද රහතන් වහන්සේ ලෝකය දකින්නේ ඉහතින් දැක්වූ මානසික රෝගී වාට්ටුව වගේ. ලෝහ, ද්වේශ, මෝහ බඩු මල්ල කරේ එල්ලා ගත් ලෝකය උන්වහන්සේට ගැලපෙන්නේ නැහැ. මනුෂ්‍යයාට වර්තමානයේදී පැවිදි උපසම්පදාව ලැබිය හැකි වුවද. දෙවියන්ට බ‍්‍රහ්මයන්ට එම අවස්ථාව නොමැති නිසා දෙවියන් බ‍්‍රහ්මයින් අරහත් භාවය අවබෝධකොට දින කිහිපයකින් පිරිණිවීමට පත් විය යුතු යැයි කියලා භික්ෂුව විශ්වාස කරනවා.