මේ උතුම් සංඝ සමාජය තරම් විනයගරුක ආයතනයක් මේ ලෝකධාතුව තුළ තිබෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂු අපිට ශේඛියා විනය ධර්මයන් තුළින් ඇවිදින හැටි, සිවුර පොරවන හැටි, කතාබහ කරන හැටි, වැසිකිළි කැසිකිළි කරන හැටි, ආහාර වළඳන හැටි, කෙළ ගසන හැටි පවා සුන්දරව දේශනාකොට තිබෙනවා. අපි උතුම් ධර්ම විනයට කීකරු නම් අපිට වරදින්න විදියක් නැහැ. එ්ත් ගෞරවණීය අපේ සංඝ සමාජය දෙස දකිද්දී, අනේ අපොයි කියලා නේද කියන්න සිද්ධවෙලා තිබෙන්නේ. උතුම් ධර්ම විනය දුර්වල කරගෙන, පංචනීවරණයන් සංඝ සමාජය තුළ දෝරේගලා ගෙන යනවා. ගෞරවණීය සංඝ සමාජයට අයත් යම් ගෞරවණීය ස්වාමීන් වහන්සේ නමක් උතුම් ධර්ම විනයට අදාළව නිවැරදි වීමට අකමැති නම්, දැන දැනම පාරාජිකාවන්ට අදාළ වැරදි, සංඝාදිශේෂයන්ට අදාඝ වැරදි සිදුකරනවා නම්, කරුණාකර විනය ධර්මයන් කෙරෙහි සිහිය ඇතිකොටගන්න. එය පිංවත් ඔබටත්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයටත් යහපතක්මයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් සිදුකළ දශපාරමී ධර්මයන්ගේ නොසැළෙන කැපවීමට, ශාසන ද්‍රෝහියෙක් වෙන්න එපා. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයට අවශ්‍ය ව්‍යාපාරිකයන්, කාමයේ වරදවා හැසිරෙන්නන්, අහිංසක සාමනේර හිමිවරුන් නොමඟ යවන්නන් නොවේ. මේවා අයිති පිංවත් ගිහි සමාජයටයි. උතුම් සංඝ සමාජයේ ලේ උරුමය වෙන්නේ, උතුම් සුපටිපන්න ගුණයය, උතුම් උජුපටිපන්න ගුණයයි. අපේ ධනය වෙන්නේ උතුම් ඥායපටිපන්න ගුණයයි. අපේ කෘතවේදීභාවය වෙන්නේ උතුම් සාමීචිපටිපන්න ගුණයයි.
භික්ෂුව ඉහත සටහන් තැබුවේ, කිසිම ගෞරවණීය ස්වාමීන් වහන්සේනමකට චෝදනාවක් කිරීමට හෝ අගෞරවයක් කිරීමට නොවේ. අපි හැමෝම බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවකයන්. අපි දක්ෂ වෙන්න ඕනේ අපේ ශ‍්‍රාවකත්වය උතුම් විනය ධර්මයන්ට අදාළව පෝෂණය කොටගන්නට. ඇයි අපි පැවිදි දිවියට පත්වුණේ කියන කාරණය කෙරෙහි සතිය සිහිය ඇතිකොටගන්නට. අපේ සතිය, සිහිය දුර්වල වුණ තැනදී ධර්ම මාර්ගයට අදාළව, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයට අදාළව, සිතීමේ ධර්මවිජය බොජ්ජංගය දුර්වලවෙලා යනවා. එවිට අපේ වීර්ය වැඩෙන්නේ, විනය ධර්මයන් විකෘතිකොට ගෙන යන දිශාවට. එවිට අපේ භික්ෂු ජීවිතවලින් ප‍්‍රීති සම්බෝජ්ජංගය, ඵස්සද්ධිය හෙවත් සිතේ සැහැල්ලූව පලායනවා. එවිට අපේ භික්ෂු ජීවිත පිරීයන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් කෙරෙහි නොසෑහිම, අපේ භික්ෂු ජීවිතවලට බදු දීලා.
අපි සැවොම, සාරාසංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් අපි වෙනුවෙන්ම, අපේ භව නිරෝධය වෙනුවෙන්ම, අපේ සුගතිය වෙනුවෙන්ම, මහමෙරක් සේ දශපාරමී ධර්මයන් පූරණයකළ, සය අවුරුද්දක් ජීවිත පරිත්‍යාගයෙන් දුෂ්කර ක‍්‍රියාකළ, සුන්දර සක්විති රජපදවිය, රම්‍ය, සුබ, සුරම්‍ය, මාලිගාවන් අතහැරදැමූ, යශෝදරාවන් වැනි පංචකළ්‍යාණියන් කෙරෙහි රාගය, විරාගයක් බවට පත්කොටගත් බුදුරජාණන් වහන්සේට කෘතවේදීවෙමු. අපි ජාති ජාතිත් දුකේ කොටස්කරුවන් වෙන ණයකාරීත්වයෙන් මිදෙමු.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.