මෙය සටහන් තබන භික්ෂුව සහ ධර්ම කරුණු මුල් කරගෙන බොහොම සියුම්ව, ධර්මයේ ආශ්වාදය සහ සංඝයා කෙරෙහි ආශ්වාදය ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දක්ෂ දුනුවායෙක් අශ්ව රෝමයක් දෙකට පැලෙන්නට, තම දුන්නෙන් විදිනවාය කියන කාරණය පුදුමයක් නොවේය කියලා.
නමුත් යම් පිංවතෙක් තෙරුවන් කෙරෙහිත්, විදර්ශනාත්මක ධර්මයන් කෙරෙහිත් තෘෂ්ණාවේ ආශ්වාදයෙන් බැහැරවෙලා, මේ සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා, දුකයි, අනාත්මයි වශයෙන් නුවණින් දකින්න දක්ෂ නම්, එයමයි මේ ලෝක ධාතුවේ පුදුම වියයුතු කාරණය කියලා.
පිංවත් ඔබ නිරතුරුවම අලූත් කෙනෙක් වෙන්න, සද්ධර්මය ශ්‍රවණය කරනකොට සහ කියවනකොට, අපි නිරතුරුවම තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ප්‍රඥාවෙන් අපිව අලූත් වෙනවා. මේ ”මහ රහතුන් වැඩි මඟ ඔස්සේ” සටහන කියවන ඔබ වර්තමානයේ විදර්ශනාත්මක ධර්මයන්ගෙන් අලූත් වෙලා සිටින්නේ. ඒත් මේ සියල්ල තවත් පැය කිහිපයකින් පරණ වෙන්න දෙන්න එපා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දෙවෙනි ගමන දවසේ, නිවසට අලූතින් කැන්දාගෙන පැමිණි මනාලිය, අලූත් නැන්දා, මාමාට හරිම කීකරුයි කියලා. අලූත් ඥාතීන්ට ගරුත්වයෙන් සළකනවාය කියලා. නමුත් කාලය ගෙවී ගිහින්, අලූත් මනාලිය පරණ වෙද්දි, ඇය නැන්දා, මාමා සමග ගැටුම් ඇතිකොට ගන්නවා. ඇය ස්වාධීන වෙන්නට, අධිපතිභාවය ලබන්නට උත්සාහ ගන්නවාය කියලා.
ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබේ සිතත්, නිවසට අලූත ගෙනා මනාලියකගේ සිතක් බවට පත්කොට ගන්නය කියලා. මේ සටහන කියවා ඔබ තුළ සකස්වෙන, විදර්ශනාත්මක සිත, පරණ වෙන්න දෙන්න එපා. අලූත ගෙනා මනාලියකගේ සිත සේ සෑම නිමේෂයකදීම නිහතමානී විදර්ශනාත්මක අලූත්භාවය සහ නැවුම්භාවය සිහියෙන් යුතුව ආරක්ෂා කොටගන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, බුද්ධරත්නය, ධර්මරත්නය, සංඝරත්නය කෙරෙහි විදර්ශනාත්මක ආර්ය සද්ධාව වඩමින්, උතුම් ආජීවඅෂ්ටමක ශීලය කෙරෙහි විදර්ශනාත්මක ආර්ය ශීලය ඇතිකොටගත් පිංවතා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින දිශාවට, මධ්‍යස්ථ වීර්යයෙන් ගමන් කරන පිංවතෙක් වෙනවා ය කියලා.
(බුදුන් දෙසූ මඟ සත්‍ය සොයා ගිය අපේ කාලයේ මුණිවරයෙකුවු මහ රහතුන් වැඩි මඟ ඔස්සේ ධර්මය දේශනා කරන අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේගේ සටහනකින් උපුටා ගන්නා ලදී)