පිංවතුන් අහලා ඇති දිනක් කාලකාරාම සූත්‍රය,
කාල බුද්ධරක්ඛිත මහරහතන් වහන්සේ දෙසූ දවසේදී. අටසිල් සමාදන් ව සිටිය සද්ධාතිස්ස රජතුමා ඒ දේශනයට සවන් දීගෙන සිටියා. ඒ දේශනය හැන්දෑවේ පටන් ගත්ත තැන සිට අලුයම ඉර උදාව දක්වා පැවැතුණා. රජතුමා හිටිවනක් බණ ඇසුවේ පිරිස කෙලවර කාටවත් නොඅඟවා. දෙසුම් කෙළවර දී මහ හඬින් සාධුකාර දුන්නා.
රහතන් වහන්සේ දැනගෙන ඇසුවා මහ රජ්ජුරුවෝ කොයි වෙලාවෙද ආවේ.?
ස්වාමීනි පළමුවෙනි දේශනය ඇහෙන කොටයි මං ආවේ (පළවෙනි ගාථාව).
මහරජ මෙච්චර වෙලාවක් හිටගෙන බණ ඇසීම දුෂ්කර දෙයක් කලා නේද.?
නැත ස්වාමීනි මේ විදිහේ බුද්ධ ගුණ දේශනාවක් අහන්ඩ ලැබෙනවා නම් මුළු ජීවිතේම උනත් මම හිටගෙන බණ අහනවා.
ස්වාමීනි ඔබ වහන්සේ අසීමිත බුද්ධ ගුණ සම්භාරයක් දේශනා කළා නේද.?
තවත් බුදුගුණ කියන්න ඉතුරු තියෙනවද.?
මහරජ මා විසින් දේශනා කරන ලද ඉතාමත්ම අල්ප වූ කොට්ඨාසයක්.
ස්වාමීනි උපමාවක් කියන්න.?
මහරජ සියක් කිරියක් වපසරියේ ඇති කුඹුරු යායක එක වී කරලක වී ඇට ස්වල්පයි. ඉතිරි වී කරල්වල වී අප්‍රමාණයි නේද.?
ඒ වගේ මා විසින් දෙසූ බුදු ගුණ එක වී කරලක වී ඇට තරම් ස්වල්ප යි. නොදෙසූ බුදු ගුණ ඉතිරි සියක් කිරියක කුඹුරෙහි තියෙන වී ඇට තරම් අප්‍රමාණයි.
ස්වාමීනි තව උපමාවක් කියන්න.
මහරජ දෙගොඩ තලා ගඟක් ගලන වෙලාවේ දී, ඒ ගඟට ඉදිකටු මලක් ඇල්ලුවාම ඉදිකටු මලින් ඇතුළු වී පිටවෙන ජලය ඉතා ස්වල්පයි. ඉතිරි ජලය අප්‍රමාණයි. ඒ වාගේම මා විසින් දේශනා කළ බුදු ගුණ, ඉදිකටු මලෙන් ඇතුල්වී පිටවී ගිය වතුර හා ස්වල්පයි, නොදෙසූ බුදු ගුණ ගංගා ජලය සේ අප්‍රමාණයි.
ස්වාමීනි තවත් උපමාවක් කියන්න.
මහරජ අහසේ පියාසර කරන ලිහිණියකුගේ පියාපතට යටපත් වෙන අවකාශය ස්වල්ප යි, ඉතිරි අවකාශය අනන්තයි.
ඒ වගේම මා විසින් ඉදිරිපත් කළ මේ බුද්ධ ගුණ දේශණය, ලිහිණියාගේ පියාපතට යටවෙන අවකාශය වගේ ස්වල්පයි. නොදෙසූ බුදුගුණ ඉතිරි අවකාශය වගේ අනන්තයි.
සාදු සාදු ස්වාමීනි ගැළපෙන උපමාවක් කියවුණා නේද.?
ස්වාමීනි මේ තරම් බුදු ගුණ අනන්තයි, ඒ අනන්ත බුද්ධ ගුණය ඔබ වහන්සේ මේ තුන්යම් රාත්‍රියේ ඉදිරිපත් කළා, ඒ ගැන මගේ හෘදයාංගම ගෞරවය මං පිරිනමන අතර, මට ධර්ම පූජාවක් වශයෙන් කරන්ඩ තියෙන්නේ,
මේ ශ්‍රී ලංකාදීප රාජ්‍යයයි කියලා, ලංකාදීප රාජ්‍ය පූජා කළා.
එයින්ද පැහැදිලි වෙනවා මේ ඉතිපිසෝ ගාථාවේ තියෙන ගුණස්කන්ධය අනන්ත බව,
එදා කාල බුද්ධරක්ඛිත මහ රහතන් වහන්සේ
“කාලකාරාම සූත්‍රයෙන්” ධර්මය දෙසූ නමුත්, මේ බුද්ධ ගුණ සම්භාරය තමයි ඉදිරිපත් කරන්න යෙදුනේ.
( අතිපූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේ විසින් දේශනා කළ ධර්ම දේශනාවක් ඇසුරෙන්… )