ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සිංහල අවුරුද්ද අලුත් කර ගන්න.

තවත් සිංහල අලූත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලූත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලූත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලූත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතවලට එකතුකොට ගැනීමෙන් පමණක්මයි.

සිංහල අලූත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්තිවෙන පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද සිංහලකම, බෞද්ධකම අලූත් කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ජීවිතවලට එකතුකොටගත යුතුයි කියලා. වර්තමාන සිංහල බෞද්ධ සමාජය සිංහලකම, බෞද්ධකම පෝෂණය කොට ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට වටිනාකමක් දෙන්නේ නැහැ.

කල්‍යාණමිත‍්‍ර ආශ‍්‍රයේ, සද්ධර්ම ශ‍්‍රවණයේ, නුවණින් මෙනෙහි කිරීමේ, ජලය සහ පොහොර දමලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දලූ, කොළ, අතු, රිකිලි මතුකොටගන්නේ නැහැ. හෙට අනිද්දා සිංහල අලූත් අවුරුද්දක් ලැබුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් දුර්වල කොටගනිමින් ලබන සිංහල අලූත් අවුරුද්දට ධර්මානුකූලව කියන්නට වෙන්නේ සිංහල පරණ අවුරුද්දක් කියලයි.

මේ ලිපිය සටහන් තබන වෙලාව දහවල් එකට විතර ඇති. පරිසරය දිළිසෙනවා. අව් කාශ්ඨකයේ තිබෙන දැඩිභාවයට අව් රශ්මියේ දැඩිභාවය නිසාම කැලයේ ගසක ලැග සිටින කොවුලෙක් කෑ ගසනවා. පිපාසයෙන් උගුර කට වේලිලා කෑ ගසන කොවුලාගේ අඳෝනාව ඇසෙද්දි අපි පුංචි කාලයේ බක්මහේ පරිසරයේ නැවුම් බවත් සමඟ සතුටින් නාද කළ කොවුලන්ගේ මිහිරි හඬ භික්ෂුවට සිහිපත් වෙනවා.

භික්ෂුවගේ ගමේ ගිහි ගෙදර අල්ලපු වැටේ තිබෙන්නේ ගමේ පන්සල. පන්සල ඉඩමේ පිහිටි විශාල නුග ගසේ තමයි අසිරිමත් බක්මහේ කොවුලන්ගේ නවාතැන වෙන්නේ. රතු පාට ඉදුණු නුග ගෙඩි කමින් සතුටින් නාද කරපු ඒ කොවුලන්ගේ මිහිරි හඬ වර්තමානයේ භික්ෂුවට අනිත්‍ය වූ අතීත පංචඋපාදානස්කන්ධයක් පමණක්මයි. එදා බක්මහේ නුග ඵල කමින් සතුටින් නාද කරපු කොවුලන් අද කෑ ගසන්නේ පිපාසයෙන්, කුසගින්නෙන් උගුර කට වේළිලා.

සමාජය තුළ කොයිතරම් නම් වෙනසක් සිදුවෙලා තිබෙනවාද, කවුද මේ වෙනස සිදු කළේ, කවුද මේ වෙනසට වගකිව යුත්තේ. ආණ්ඩු පක්‍ෂය ද විපක්‍ෂය ද එසේත් නැතිනම් සිංහල අය ද හින්දු අය ද මුස්ලිම් අය ද මේ වෙනසට වගකිවයුත්තේ ඔය කවුරුවත්ම නොවේ. මේ වෙනසට ධර්මානුකූලව වගකිව යුත්තේ අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයයි.

මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විකෘතියක් බවට පත්කරන්න සැබෑ හේතුව වුණ අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාව පිංවත් ඔබ තුළින්ම සකස් වී ඔබට වහං වී ඔබ තුළින්ම ඔබට ඔච්චම් කරනවා. පිංවත් ඔබ තුළින්ම සකස්වන අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාව නුවණින් මතුකොට ගැනීමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජගතවන සමාජ විකෘතියේම ගැටීම් සහ ඇලීම් ඇතිකොටගෙන අපි නැවත අවිද්‍යාව ශක්තිමත් කොටගන්නවා.

භික්ෂුව ඊයේ සවස මාතර නගරය මැද්දෙන් ධර්ම දේශනාවකට වැඩියා. සවස් යාමයේ සාප්පු සවාරි යන පිංවතුන්ලා අලූත් ඇඳුම් මලූ එල්ලාගෙන ගියත් ඒ කිසිම මුහුණක සතුටු සිනහවක් භික්ෂුව දැක්කෙ නැහැ. සල්ලි තිබුණත් සතුටක් නැති ජීවිත වගෙයි. මේ සාප්පු සවාරි යන නෝනා කෙනෙක්ගෙන්, මහත්මයෙක්ගෙන් ඇසුවොත් මහත්තයෝ ඔබ සතුටින් ද ඉන්නේ කියලා, ඔහු අනිවාර්යයෙන්ම කියාවි මොන සතුටක් ද මහත්තයෝ ඔළුව ගිනි අරගෙනයි සිටින්නේ කියලා. සල්ලි තිබුණත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයක් නැති ජීවිත හිස ගිනිගත්ත ජීවිතමයි.

සිංහල අලූත් අවුරුද්දට තම දෙමාපියන්ට ඇඳුම් ගන්න සාප්පු සවාරි ගිය මහත්මයෙක් භික්ෂුවට කියනවා ස්වාමින්වහන්ස, ඇඳුම් පැළඳුම් ගිනි ගණන්ය කියලා. හිස ගිනිගත්ත මනුෂ්‍යයන්ගෙන් කෙසේ නම් සිසිලක් බලාපොරොත්තු වෙන්නද? මේ සෑම දෙයක් පසුපසම වගකිවයුත්තෙක් සිටිනවා ඒ වගකිවයුත්තා තමයි අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවය.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා කිඹුල්වත්නුවරින් හමාගෙන එන සුළඟත් සුවදායකයි කියලා. බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහල වෙන්නේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලූම් බලලා.

බුදුරජාණන්වහන්සේ උපත ලැබූ කිඹුල්වත් නුවර කියන්නේ හේතුඵල ධර්මයක්මයි. බෝධි සත්ත්වයන්ගේ දස පාරමී කුසල් ශක්තියේ එක් ඵලයකුයි කිඹුල්වත් නුවර කියන්නේ. පිනෙන් උපන් පුණ්‍ය භූමියක් බුදුරජාණන්වහන්සේ කිඹුල්වත්පුරයෙන් හමාගෙන එන සුළඟත් සුවදායකයි කියන්නේ. අතීත පිනෙන් උපන් මනුෂ්‍යයෝ, පිනෙන් උපන් පරිසරය, පින නිසාම සකස්වුණ නැවුම් දේශගුණය මේ සියල්ල පිසගෙන හමන සුළඟත් පිනේ විදර්ශනාත්මක සතුටක්මයි, පස්සද්ධියක්මයි ජීවිතයට එකතුකොට දෙන්නේ.

ඔබ උපන් බිම එම බිමේ උපන් ඔබත් සමඟ මොන තරම් ධර්මානුකූල සම්බන්ධයක් තිබෙනවාද? ධර්මාශෝක අධිරාජයාගේ දූ පුතුන් වෙච්ච මිහිඳු මහෝත්තමයන් වහන්සේට, සංඝමිත්තා උත්තමාවියට පිංවත් ඔබ දෙපා තබාගෙන සිටින පුණ්‍ය භූමියට වඩින්න, පිරිනිවී යන තෙක් මේ පුණ්‍ය භූමියේ වැඩසිටින්න දැනීම් සකස් වුණේ මේ පිං බිම මේ පිං බිමේ උපන් ඔබ මොන තරම් පුණ්‍යවන්ත නිසාද?

මෙය සටහන් තබන භික්ෂුව මොහොතක් ඇස් දෙක පියාගෙන නිසොල්මනේ සිටිනවා කාශ්ඨක අව් රශ්මියෙන් වියළී ගිය ශරීරයේ උෂ්ණාධික බව භික්ෂුවට හොඳින් දැනෙනවා. දැඩි අව් කාශ්ඨකය මැද්දෙ හමාගෙන එන වියළි සුළඟ, උෂ්ණාධික ශරීරයට පවන් සලනවා වගේ දැනෙනවා. මේ සියලූ පාරිසරික ලක්‍ෂණයන් භික්ෂුවට හරිම සුවදායකයි. මේ පාරිසරික ලක්ෂණ සියල්ලම අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයේ උතුම් ඵලයක්මයි. අපි ධර්මය, ධර්මය හැටියට දැකිය යුතුයි. ධර්මය, අධර්මය හැටියට දැක්කොත් අවිද්‍යාවත් අවිද්‍යාව හේතුවෙන් සකස්වන සංස්කාරයත් නැවත නැවත ශක්තිමත් වෙනවා.

අව් කාශ්ඨකයෙන් උගුර කට වියළුණු කොවුලාගේ අඳෝනාව භික්ෂුවට නැවතත් ඇසෙනවා. ඒ කොවුලාගේ උගුර කට වියළුණු අඳෝනාව තුළින් භික්ෂුව දකින්නෙත් අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවමයි.

සත්ත්වයා අවිද්‍යාව හේතුවෙන් අකුසල් කරන්න, කරන්න එම අකුසල් විපාක දීමට සුදුසු කාලගුණික, දේශගුණික, දේශපාලනික පරිසරයක් සකස් වෙනවා. ඒ නිසාමයි, ලිපියේ මුලින්ම භික්ෂුව සටහන් තැබුවේ ලබන්නා වූ සිංහල අවුරුද්ද අලූත් අවුරුද්දක් බවට පත්කොටගන්න අවශ්‍ය නම් කරුණාකර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ලබන්නා වූ සිංහල අවුරුද්ද අලූත් කරගන්නය කියලා.

ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොටගත් පිංවතා තෙරුවන්ට කීකරු පිංවතෙක් වෙනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කළා වූ ධර්මයෙන් බැහැරව යන්නේ නැහැ. මහා සංඝරත්නයේ ඇසුරින් ඈතට යන්නේ නැහැ. එම පිංවතා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකිනවා.

කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකින පිංවතා යහපත සහ අයහපත හොඳින් අඳුරනවා. ඇයි අපි හොඳම දෙය ලැබුවේ. ඇයි අපි විශිෂ්ටම දෙය ලැබුවේ, සුගතිය, විදර්ශනාත්මක නිවන් මාර්ගය සහ ඵලයන් ලෝකයේ කවුරුවත්ම නොලැබූ මාර්ගයක් අපි ලබලා තිබෙනවා. සුන්දර නිවන් මාර්ගයක හිමිකරුවන් වෙලා තිබෙනවා.

සියලූ සංස්කාරයෝ අනිත්‍ය බව ඇත්ත. මේ ඇත්ත නිසාමයි, බුදුරජාණන්වහන්සේ උතුම් භික්ෂු ප‍්‍රාතිමෝක්ෂ ශීලයට සිල් පද දෙසිය විසිහතක්ම ඇතුළත් කරන්නේ. අනිත්‍ය වී යන ශාසන අර්ථයන් වැඩිපුර දවසක් හෝ රැකගන්න. සත්පුරුෂ ජීවිත, උත්තම ජීවිත, පූර්වාදර්ශී ජීවිත කවදාවත් තමන් ජීවිතාවබෝධයෙන් ලැබූ ධර්මයේ සැපයන්, අනුනට අහිමි කරන්නේ නැහැ. ධර්මානුකූල සැපයක් ලබන තම පරපුරේ අන්තිමයා වෙන්නේ නැහැ. ඔහු අවබෝධයෙන්ම දන්නවා සියලූ සංස්කාරයෝ අනිත්‍යයි, අස්ථිරයි, කැඞී බිඳී විසිරී අතුරුදන් වී යනවාය කියලා. ඔහු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තමන්ට සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීමට උපකාරක ධර්මයක් සකස්කොට දුන් යහපත් දේ අනාගත ලෝකයට ආරක්‍ෂා කොට තිබෙනවා.

අපි යමක් අනාගත ලෝකයට ආරක්‍ෂා කොට තබන්න නම් මුලින්ම ඒ දෙය තමා තුළින් ආරක්‍ෂා කොටගන්න ඕනේ. පිංවත් ඔබ ලබන්නා වූ සිංහල අවුරුද්ද ලෞකික සැපයේ සහ ලෝකෝත්තර සැපයේ එකම ධර්මානුකූල මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශක්තිමත් කොටගන්න.

අති පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ

(උපුටා ගැනීම 2019 අප්‍රේල් 14 දිවයින ඉරිදා සංග්‍රහය)