ආදරය කියන්නේ බොරුවක්ය කියලයි භික්‍ෂුව අත්දැකීම් තුළින් සටහන් තබන්නේ. නමුත් මේ බොරුව පින්වත් ඔබේ පින විසින් ඔබට සඟවලයි තිබෙන්නේ. ඔබේ පටිච්චසමුප්පන්න පින ආදරය බොරුවක්ය කියලා කවදාකවත් ඔබට හඳුනාගන්න දෙන්නේ නැහැ.
නමුත් භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී අකුසලය කියන කාරණය නිරතුරුවම විපාකයට පැමිණියා. ඒ නිසාම භික්‍ෂුවට පුළුවන් වුණා ආදරය කියන්නේ බොරුවක්ය කියලා හඳුනාගන්න. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින ශක්තිමත් නම්, ආදරය ඔබට සුන්දර ආදරයක්මයි. පින්වත් ඔබේ පටිච්චසමුප්පන්න පින දුර්වලවෙත්දී ආදරය ඔබට විරහවක්, වේදනාවක්ම වෙනවා.
මෙය සටහන් තබන භික්‍ෂුව අද හොඳාකාරව දන්නවා ආදරයත්, අනාදරයත් කියන්නේ සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන, අනිත්‍ය වූ සංස්කාරයක්මයි කියලා. ඒ නිසාම භික්‍ෂුව නැවත කවදාකවත්ම, කාටවත්ම ආදරය කරන්නේ හෝ අනාදරය කරන්නේ නැහැ. ආදරයත්, අනාදරයත් හේතුඵල ධර්මයේ උපේක්ෂාව තුළින්ම දකිනවා.
වර්තමාන තරුණ පරම්පරාවේ පින්වතුන්ලා සිතනවා ආදරය ශක්තිමත් වෙන්න නම් ඇඳුම් පැළඳුම් ආභරණ, තෑගි භෝග අවශ්‍යයි කියලා. සත්තකින්ම ආදරයේ බැඳීම් ශක්තිමත්කොට දෙන්නේ දෙදෙනා දෙදෙනාට විය යුතු යුතුකම් සහ ලැබිය යුතු අයිතිවාසිකම් නිවැරදිව ඉටු කිරීමෙන් ඔබලා තුළින්ම රැස්වෙන පිනේ ශක්තිය විසින්ම ය. මේ සුන්දර යුතුකම ධර්මානුකූලව තේරුම් ගන්න නම් අතීත පටිච්චසමුප්පන්න පින අත්‍යවශ්‍යම වෙනවා.