ගිහි බෞද්ධ පිංවතුන්ලාත් ශීලය නැමැති යාග භූමියේ කොටස්‌කරුවන් වෙන්න. නිතිපතා පංචශීලය සමාදන්වෙලා එම ශිල්පද ආරක්‌ෂා කර ගන්න. නායක පිංවතුන්ලා බොරුකීවාට, ඔබලා බොරු කියන්න එපා. නායක පිංවතුන්ලා සොරකම් කළාට ඔබලා සොරකම් කරන්න එපා. තම බිරිඳගෙන් සැමියාගෙන් පමණක් සතුටු වන ශිල්වතෙක් වෙන්න. සවසට අරක්‌කු කඩ ඉදිරියේ පෝළිම් ගැසෙන්න යන්න එපා. පිංවත් ගිහි ඔබ ශීලය නමැති යාගභූමියේ ශක්‌තිමත් අවංක සටන්කරුවෙක් වෙන්න. ආගමික සමගියට ජාතික සමගියට ගරු කරන ක්‍රිස්‌තියානි, හින්දු, මුස්‌ලිම් පූජකතුමන්ලා වගේම එම ආගම්වල ගිහිපිංවතුන්ලාත් මෙම ශීල යාගයේ කොටස්‌කරුවන් වෙන්න අවශ්‍යමයි. එහෙයින් අනෙකුත් ආගම්වල පිංවතුන්ලාත් නිතිපතා පංචශීලය ආරක්‍ෂා කර ගන්න. සතුන් මැරීමෙන් හැකිතාක් වළකින්න. තම තමන්ගේ ආගමික ශාස්‌තෘන් වහන්සේලාගේ ඉගැන්වීම්වලට අදාළව යහපතෙහි යෙදෙන්න.
අතිගෞරවනීය උත්තරීතර මහානායක ස්‌වාමීන් වහන්සේලා හතරදෙනාගේ නායකත්වයෙන් මහා සංඝරත්නය, බෞද්ධ ගිහිපිංවතුන්ලා ශීල යාගය තුළ ශක්‌තිමත් වන විට අනෙකුක් ආගම්වල පූජක තුමන්ලා තම ගිහිපිංවතුන්ලා සමග ශීල යාගය තුළ ශක්‌තිමත් වන විට මහාසංඝරත්නයේත් ජනතාවගේත් පින කුසලය ශක්‌තිමත් වෙනවා. ජනප්‍රියභාවය ඇතිවෙනවා. එවිට හේතුඵල ධර්මයන් විසින්ම දුෂ්ශීල බලවේගයන් නොසිතූ ආකාරයට පරාජය කරා ගමන් කරාවි. එම නරක උදවියට කුමක් සිදුවේද කියල ඔබ සිතන්න අවශ්‍ය නැහැ. දේවදත්ත හාමුදුරුවන්ට කුමක් සිදුවේද කියල බුදුරජාණන් වහන්සේ සිතුවේ නැහැ. කෝකාලික හාමුදුරුවන්ට කුමක් සිදුවේද කියල සාරිපුත්ත මහරහතන් වහන්සේ සිතුවේ නැහැ. උන්වහන්සේලා අභියෝගයන් හමුවේ ආර්ය ශීලය තුළ ශක්‌තිමත් වීම පමණක්‌මයි, සිදු කළේ. එම නිසා පිංවත් ඔබ මීළඟට වෙන දෙය ගැන නොසිතා ශීල යාග භූමියේ ශක්‌තිමත් සටන් කරුවන් වෙන්න. ඔබ තුළ රැස්‌වෙන කුසල් සංස්‌කාර විසින් අකුසලය පරාජය කර දමාවි. නමුත් ඉතින් කුමන සංස්‌කාරයත් අනිත්‍යභාවයට පත්වෙන සංස්‌කාරයක්‌මයි. නමුත් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාව උදෙසා අප අපවත් වන තුරාවටම කළහැකි යමක්‌වේද ධර්මානුකූලව එය ඉටුකිරීම අපගේ යුතුකමක් වෙනවා. පිංවත් ඔබ ශීල යාගයේ ශක්‌තිමත් වෙන විට ඔබගේ ඉන්ද්‍රිය සංවරභාවය ශක්‌තිමත් වෙනවා. අභියෝගයන් ඉදිරියේ ශිල්පද ආරක්‍ෂා කරගෙන ඒවාට මුහුණදීමේ සතිය සිහිය ඔබ තුළ ඇතිවෙනවා. ශීල යාගයේ යෙදෙන පිංවතා අභියෝගයන් ඉදිරියේ පලායන පිංවතෙක් වෙන්නේ නැහැ. ධර්මානුකූලව මෙත් සිත උපයෝගි කරගෙන අභියෝගයන් ජයගන්නා කෙනෙක් බවටයි, පත්වෙන්නේ.
පිංවත් ඔබට මෙම සටහන් ලියන භික්‍ෂුව උතුම් ප්‍රාතිමෝක්‌ෂ ශීලයේ අර්ථයෙන් හුඟාක් ප්‍රතිඵල ලබාගන්න භික්‍ෂුවක්. එම අත්දැකීම් තුළ හිඳිමිනුයි පිංවත් ඔබට ශීලයාගයේ ශක්‌තිමත්භාවය ගැන ඉහත සටහන තැබුවේ. ලිපිය අවසන් කරන මොහොතේ නැවතත් ගෞරවයෙන් මතක්‌කර සිටිනවා අති ගෞරවනීය උත්තරීතර මහානායක ස්‌වාමීන් වහන්සේලා හතරදෙනා වහන්සේලාගේ නායකත්වයෙන් පිංවත් ගිහි පැවිදි අපි සියල්ලෝම මේ මුළු රටම ශීලයේ යාග භූමියක් බවට පත්කර ගනිමු. එම ශීල යාගයේ ශක්‌තිය මුළු රටටම යහපතක් වේවා ඔබ අප සියලුදෙනාටම මෙලොව පරලොව සැපය උදෙසාම හේතු වේවි. දුෂ්ශීල බලවේගයන්ගේ පරාජය තාවකාලිකව හෝ සිදුවේවි.
මෙය සටහන් තබන භික්‍ෂුවට සමාජය තුළ පුංචි හෝ ගෞරවයක් තිබෙනවා නම් එම ගෞරවය භික්‍ෂුව අපවත් වෙන තුරාවටම අඩුවෙන්න ඉඩ තබන්නේ නැහැ. භික්‍ෂුව එම තත්ත්වය ඇතිකර ගන්නේ වංචාවකින්, ප්‍රොඩාවකින්, අස්‌බැන්දුමකින් නොවේ. උතුම් ප්‍රාතිමෝක්‌ෂ ශීලයේ අර්ථය තුළින්මයි. ශීලය ඔබට ලබාදෙන මුල්ම ප්‍රතිලාභයන් දෙක තමයි තමාගේ කීර්ති රාවය පැතිර යැම සහ බියෙන් තොරව හැසිරීම කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එම නිසාම ගිහි පැවිදි අපි ශීලයෙන් ශක්‌තිමත් නම් පින ගින්දරක් බවට පත්කරගෙන ශිල් පද බිඳින පාලක පිංවතුන්ලාට සද්ධර්මයේ අර්ථය මතුකරදෙන්න, ශීලයේ ශක්‌තිය මතුකරදෙන්න, පක්‍ෂ විපක්‍ෂ බේදයකින් තොරව මෙත් සිතින් කටයුතු කරමු. භික්‍ෂු සමාජයේ දේශපාලනය විය යුත්තේ එම වගකීමයි.