අප්‍රේල් 1 වන දා මාරයා ඔබව මෝඩයා කරන දිනයක් නොවන්න..

ඔබ බොරුවක් කියා යම් කිසිවකු රවටා ඔහු හෝ ඇය මෝඩයා වූ බව සිතුවත් සැබෑම මෝඩකම සිදු කරගෙන ඇත්තේ මුසාවාද ශික්ශා පදය බිඳගත් ඔබමය. අනුන් මුලාකරවන අදහසින් ඇති දෙය නැත යයිද, නැති දෙය ඇත යයිද, වූ දෙය නොවූයේය යිද, නොවූ දෙව වූයේය යිද වචනයෙන් හෝ ලිවීමෙන් හෝ හස්ත විකාරාදියෙන් හෝ අනුන්ට පැවසීම මුසාවාදය නම් වේ.

මුසාවාද කර්මය සිදුවන්නේ අංග 4 ක් සම්පූර්ණ වීමෙනි.
01. කියන කරුණ බොරුවක් වීම
02. අනුන් රවටන අදහස
03. ඇඟවීමේ උත්සාහය
04. අනෙකා කී දෙය තේරුම් ගැනීම

බොරු කීමේ විපාක
බොරු කියන්නෝ මෙලොව ම නින්දාවට භාජනය වෙති. අන්යයන් විසින් අවිශ්වාස කරනු ලබති. සමහර විට බොරු කීම නිසා දඬුවම් ද ලබති. බොරු කියන්නෝ ඒ පවින් මරණින් මතු නරකයෙහි ඉපද අනේක වර්ෂ කෝටි සහස්රයෙහි ලෝදිය බීම් ආදී මහ දුක් ලබති. පේ්රතව ඉපද අනේක වර්ෂ සහස්රයෙහි දුක් ලබති. තිරිසන්ව ඉපද බොහෝ දුක් ලබති. මිනිස් ලොව උපන් කල්හිද එක් ජාතියකදී කී බොරුවලට සිය ගණන් ජාති වලදී නො කළ වරදට හසු වී නින්දා ලබති. දඬුවම් ලබති. මෝඩයෝ වෙති. දුප්පත් වෙති. ගොත වෙති. ගොළු වෙති. කටගඳ ඇත්තෝ වෙති. අශෝබන දත් ඇත්තෝ වෙති. කල් නො පවත්නා දත් ඇත්තෝ වෙති. මුඛ රෝගයෙන් පෙළෙන්නෝ වෙති. විරූප වෙති. අවිශ්වාස කරනු ලබන්නෝ වෙති. අමිහිරි කටහඬ ඇත්තෝ වෙති. අඹුදරුවන් පවා ඔවුන්ගේ කීම නො පිලිගනිති. ඔවුනට දරුවෝ නූපදිති. උපදනාහූ ද ගැහැණු දරුවෝ උපදිති. ඔවුහූ ද අකීකරු වෙති.

බොරු කීම ගැන දතයුතු කරුණු
බොරු කීම නොයෙක් පව්කම්වලට වුවමනා දෙයකි. බොරුවෙන් වැළකී සිටින තැනැත්තා හට අන් පව් කිරීමට ද වඩා ඉඩක් නැත. බොරු කියන්නා හට නොකළ හැකි පවක් නැති බව,
එකං ධම්මං අතීතස්ස – මුසාවාදිස්ස ජන්තුනෝ
විතිණ්ණ පරලොකස්ස – නත්ථි පාපං අකාරියං
යනුවෙන් වදාරා තිබේ.
“සත්යය නැමති එක ධර්මය අත් හළ බොරු කියන්නා වූ පරලොව ගැන බලාපොරොත්තු රහිත වූ තැනැත්තා හට නො කළ හැකි පවක් නැතය” යනු එහි තේරුමයි.
සෑම ආගමකම පව් ලැයිස්තුවක් ඇත්තේය. ඒවා එකිනෙකට සමාන නොවන නමුත් බොරුකිම ඒ සියල්ලටම ඇතුළත්ය. සියළුම ශාස්තෘවරයෝ වෙනසක් නැතිව බොරු කීම පාපයක් බව ප්රකාශ කළෝය. ලෝකයේ නුවණැති සියල්ලෝම බොරුව පිළිකුල් කරති. බොරු කියන්නාද පිළිකුල් කරති. බොරු කීමට බිය නොවන ලැජ්ජා නොවන තැනැත්තා ගුණවතෙක් නොවේ.

දිනක් තථාගතයන් වහන්සේ පා සෝදා සෙම්බුවෙහි ඉතිරිව තිබූ දිය ස්වල්පයක් රහල් හෙරපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැති මහණුන්ගේ මහණ කමද මෙසේ ම ස්වල්පය යි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ ඒ පැන් ස්වල්පයද ඉවත ලා රහල් හෙරපාණන්ට දක්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේම අහක දමන ලද්දක් වේයයි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ සෙම්බුව මූනින් නමා පෙන්වා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ මූනින් නමන ලද්දක් වේ යයි වදාළ සේක. ඉත්බිති තථාගතයන් වහන්සේ ඒ බඳුන උඩුකුරු කොට තබා රාහුලය, බොරු කීමට ලැජ්ජා නැතියවුන්ගේ මහණකම මෙසේ ම හිස් වන්නේ යයි වදාළ සේක. බොරු කියන්නෙක් කෙතෙක් ගුණධර්ම රැුකියත් ඒවායේ වටිනා කමක් නැත්තේය. එබැවින් සැමදෙන ම බොරු කීමෙන් වළකිත්වා! බොරු කීම පිළිකුල් කෙරෙත්වා!

(උපුටා ගැනීම අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහානාහිමි විසින් රචිත බෞද්ධයාගේ අත්පොත ග්රන්ථයෙනි)

සියළුදෙනා නිදුක් වේවා…මගෙ රට ආරක්ෂා වේවා…

තෙරුවන් සරණයි