උපසම්පදා ශීලයට අයත් අනේක සහස්‍ර ශික්ෂා අතුරන් පාරාජිකා සතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වුවහොත් ජීවිතය කෙළවර වන්නාක් මෙන් ම පාරාජිකාපත්තියට පැමිණිය හොත් එයින් උපසම්පදාව කෙළවර වේ. කඳින් වෙන් වූ හිස නැවත කඳට බද්ධ කර ජීවත් කරවීමට ක්‍රමක් නැතිවාක් මෙන් පාරාජිකාපත්තියට පැමිණියකු නැවත උපසම්පන්නයකු කිරීමට ක්‍රමයක් ද නැත්තේය. පාරාජිකාපත්තියට පැමිණි පුද්ගලයා නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක් වන්නේය. “දුශ්ශීලය”යි කියනුයේ පාරාජිකාපත්තියට පැමිණියවුන්ට ය.
01. ප්‍රථම පාරාජිකාව
“යො පන භික්ඛූ භික්ඛුනං සික්ඛාසාජීව සමාපන්නො සික්ඛං අපච්චක්ඛාය දුබ්බල්‍යං අනාවිකත්වා මෙථුනං ධම්මං පතිසෙවෙය්‍ය අන්තමසො තිරච්ඡානගතායපි, පාරාජිකො හොති අසංවාසො.”
යම් මහණෙක් විනයානුකූලව උපසම්පදාව ප්‍රතික්ෂේප නොකොට උපසම්පදාවෙන් නො මිදී උපසම්පන්නයකු වශයෙන් සිටිමින් යටත් පිරිසෙයින් තිරිසන් මාගමක් සමඟ වුව ද මෛථුන සේවනයේ යෙදුණේ නම් ඒ මහණ පාරාජිකා වේ. සිල්වත් භික්ෂූන් හා සංවාසයට නුසුදුසු වේ.
02. ද්විතීය පාරාජිකාව
“යො පන භික්ඛු ගාමා වා අරඤ්ඤා වා අදින්නං ථෙය්‍යසංඛාතං ආදියෙය්‍ය යථාරූපෙ අදින්නාදානෙ රාජානො චොරං ගහෙත්වා හනෙය්‍යුං වා භන්ධෙය්‍යුං වා පබ්බාජෙය්‍යුං වා චොරොසි බාලොසි මූළ්හොසි ථෙනොසීති. තථාරූපං භික්ඛු අදින්නං ආදියමානො අයම්පි පාරාජිකො හොති අසංවාසො.”
යම් මහණෙක් ගමකින් හෝ අරණ්‍යයකින් හෝ හිමියන් විසින් නුදුන් වස්තුවක් සොර සිතින් ගනී ද, යම්බඳු සොරකමක් නිසා රජහු සොරා අල්ලා ඔහුට පහර දෙත් ද බඳිත් ද රටින් නෙරපත් ද නුඹ සොරෙක බාලයෙක මුළාවූවෙක අන්සතු දෑ සඟවා ගන්නෙකැ යි නින්දා කෙරෙත් ද, එබඳු සොරකමක් කරන්නා වූ මහණ පාරාජිකා වේ. භික්ෂූන් සමග සංවාස නැත්තේ වේ.
03. තෘතීය පාරාජිකාව
යො පන භික්ඛු සංචිච්ච මනුස්සවිග්ගහං ජීවිතා වොරොපෙය්‍ය සත්ථහාරකං වාස්ස පරියෙසෙය්‍ය මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය, අම්හො පුරිස කිං තුය්හිමිනා පාපකෙන දුජ්ජීවිතෙන මතන්තෙ ජීවිතා සෙය්‍යොති. ඉති චිත්තමනො චිත්තසංකප්පො අනෙකපරියායෙන මරණවණ්ණං වා සංවණ්ණෙය්‍ය මරණාය වා සමාදපෙය්‍ය අයම්පි පාරාජිකො හොති අසංවාසො.”
යම් මහණෙක් මොහු මරමියි සිතා මනුෂ්‍ය ශරීරයක් ජීවිතයෙන් තොර කෙරේ ද මේවා ගෙන දිවි නසා ගනීවායි සමීපයෙහි ආවුධ හෝ තබා ද, මරණයේ ගුණ හෝ වර්ණනා කෙරේ ද, මෙසේ මැරෙන්නයයි මැරෙන ක්‍රම කියා ද, “එම්බා පුරුෂය, නුඹට ලාමක වූ මේ දුක් ජීවිතයෙන් කවර ප්‍රයෝජනයක් ද? නුඹට ජීවත් වීමට වඩා මරණය ම උතුම් ය. එබඳු සිත් ඇත්තේ එබඳු අදහස් ඇත්තේ නොයෙක් ආකාරයෙන් මරණයේ ගුණ හෝ වර්ණනා කෙරේ ද, දිවි නසා ගැනීමේ උපාය හෝ කියා දේ ද මේ මහණ තෙමේ ද පාරාජිකා වූයේ වේ. සිල්වත් භික්ෂූන් හා සංවාස නැත්තේ වේ.
04. චතුර්ථ පාරාජිකාව
“යො පන භික්ඛු අනභිජානං උත්තරිමනුස්සධම්මං අත්තූපනායිකං අලමරියඤාණදස්සනං සමුදාචරෙය්‍ය, ඉති ජානාමි ඉති පස්සාමීති, තතො අපරෙන සමයෙන සමනුග්ගාහියමානො වා අසමනුග්ගාහියමානො වා ආපන්නො විසුද්ධාපෙක්ඛො එවං වදෙය්‍ය, අජානමෙවං ආවුසො අවචං ජානාමි අපස්සං පස්සාමි තුච්ඡං මුසා විලපින්ති, අඤ්ඤත්‍රාධිමානා. අයං පි පාරාජිකා හොති අසංවාසො.
සිංහල භාෂා ශෛලියට නො ගැළපෙන වචන මාලාවක් වන මේ සිකපදය පාළි වචන ඇති සැටියට සිංහල කළ කල්හි තේරුම් ගැනීමට දුෂ්කර වන බැවින් එහි කෙටි අදහස පමණක් දක්වනු ලැබේ.
‘යම් මහණෙක් කෙලෙස් නැසීමට සමත් වූ පරිශුද්ධ ඥාන දර්ශන ඇති බුද්ධාදි උත්තම පුද්ගලයන්ගේ ධර්මය වූ ධ්‍යාන මාර්ගඵලාදි ධර්ම තමා නො ලබා තමා කෙරෙහි නැතව වඤ්චා කිරීමේ අදහසින් අධිමානයෙන් තොරව තමා කෙරෙහි ඇතය යි පවසා නම් ඒ මහණ පරිජි වේය’ යනු සිකපදයේ කෙටි තේරුමය.
– උපසම්පදා ශීලය
(මෙම උපුටන අතිපූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේගේ උපසම්පදා ශීලය ග්‍රන්ථයේ එන ලිපිවලින් උපුටාගන්නා ලද කොටස් වේ.)
ධර්මදානය පිණිස බෙදාහරින්න.
උපසම්පදා ශීලය
https://pitaka.lk/books/upasampada-sheelaya/3.html
ප්‍රථම පාරාජිකාව
https://pitaka.lk/books/upasampada-sheelaya/4.html
ද්විතීය පාරාජිකාව
https://pitaka.lk/books/upasampada-sheelaya/5.html
තෘතීය පාරාජිකාව
https://pitaka.lk/books/upasampada-sheelaya/6.html
චතුර්ථ පාරාජිකාව
https://pitaka.lk/books/upasampada-sheelaya/7.html