ඔබේ ලොකුම තරහකාරයා කවරෙක්ද?

පින්වත, වෛරය ජය ගන්න පුළුවන් අවෛරයෙන් මයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන පින්වතුන් වෛරය, වෛරයෙන් ම ජය ගන්න උත්සාහ කරනවා. පින්වත, වෛරයේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, වෛරයේ කෙටි ආස්වාදයට ඔබේ හදවතින් අත්පොළසන් ලැබෙන බව ඇත්ත. එහෙත් වෛරයේ දීර්ඝ ආදීනවයෝ මෙලොව සහ පරලොව යන දෙකම දුකේ විකෘතියක් බවට ම පත් කොට දෙනවා. පින්වත, ප්‍රේත ලෝකයේ ජීවත් වන ප්‍රේතයන් දෙදෙනෙක් සිටිනවා. මෙම ප්‍රේතයන් දෙදෙනා එකට මුණගැසෙන වෙලාවේ ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ කියන ධර්මතාවය හේතුවෙන් පටිච්චසමුප්පන්න අතීත වෛරී දැනීම් මතු වෙලා එනවා. පින්වත, වෛරයෙන් වියරු වැටෙන මේ ප්‍රේතයන් දෙදෙනා එකිනෙකාගේ හිස වැරෙන් අල්ලාගෙන දෙදෙනාගේ හිස් දෙක කුඩු වෙන්නම එකට ගසාගෙන මැරිලා යනවා. පින්වත, අපේ ඇසට පෙනෙන තිරිසන් ලෝකයේ සතුන්, විශේෂයෙන් අලි, ඇතුන් එක සතෙක් මැරී වැටෙන තෙක් ම වෛරී චේතනාවෙන් සටන් කරනවා. පින්වත, දකුණු පළාතේ දී මරා දමන පුද්ගලයාගේ හිස කඳෙන් වෙන් කොට, හිස පමණක් අගනුවරට ගෙනත් ප්‍රදර්ශනයේ තබන සිද්ධීන් ඔබ අසා තිබෙනවා නේද? පින්වත, වෛරයට මනුෂ්‍ය, තිරිසන්, ප්‍රේත කියලා වෙනසක් නැහැ. පින්වත, අපේ අදක්‍ෂභාවය ඉදිරියේ අපි දක්‍ෂයාට වෛර කරන්න හොඳ නැහැ. පින්වත, දක්‍ෂයා උපයෝගී කොට ගෙන ඔබේ අදක්‍ෂභාවය, දක්‍ෂභාවයට පෙරළා ගන්න දක්‍ෂ වෙන්න. පින්වත, මෙය සටහන් තබන භික්ෂුව වයස් භේදයකින් තොරව දක්‍ෂ හැමෝගෙන් ම අදත් යමක් ඉගෙන ගන්නවා. පින්වත, දක්‍ෂ හැමෝගෙන් ම යමක් ඉගෙන ගන්නා පින්වතාට පුළුවන්, හැමෝටම වඩා දක්‍ෂයෙක් වෙන්න. පින්වත, දක්‍ෂයාට වෛර කරන්නාට හිමිවෙන්නේ පිරිහීමේ දොරටු පමණක් මයි.

පින්වත, ඔබට නරකක්, නපුරක් සිදු කරන ඔබේ ලොකුම තරහකාරයා කවුද? පින්වත, ඔබේ තරහකාරයන්ගේ නම් වැල ඔබට සිහිපත් වුණා ද? පින්වත, ඔබේ තේරීම වැරදියි. පින්වත, ඔබේ ලොකුම තරහකරුවා වෙන කවුරුවත් ම නොවේ, ඔබේ ම ‘සක්කාය දිට්ඨිය’ හෙවත් මමත්වයේ දැඩිභාවයයි. පින්වත, අපේ දැක්ම අපිරිසිදු වෙද්දී, ආත්මීය දෘෂ්ටිය අපේ වැරදි, අනුනට පටවනවා. පින්වත, අපි මමත්වයේ දැඩිභාවය පරිපූර්ණ වශයෙන් ම නිරෝධය කොට දමන්නේ, උතුම් සෝවාන්ඵල අවබෝධයේදීයි. පින්වත, වැරදිකරුවන් හුවා දක්වමින් සමාජ මාධ්‍ය හරහා නැගෙන ඝෝෂාව ඔබට ඇසෙනවා ද? පින්වත, මේ ඇසෙන්නේ සක්කාය දිට්ඨියේ ඝෝෂාවයි. පින්වත, මේ ඇසෙන්නේ “මම” නොහැදී, අනුන්ව හදන්න යන ආත්මීය දෘෂ්ටියේ දෝංකාරයයි. පින්වත, සක්කාය දිට්ඨිය ඔබ තුළින් පරිපූර්ණ වශයෙන් නිරෝධය වුණ තැන, ඔබ තුළ උපදින්නේ පංච උපාදානස්කන්ධ ධර්මයන්ගේ අනිත්‍ය දැක්මයි. පින්වත, එම අනිත්‍ය දැක්ම අපිට කියලා දෙන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ගේ කැඩෙන, බිඳෙන, විසිරෙන ස්වභාවයයි. පින්වත, ඔබේ ම ආධ්‍යාත්මික රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ඔබ, ඔබ තුළින් ම දකිද්දී, ඔබේ ජීවිතය තුළ සිදු වන දුක්ඛ දෝමනස්සයන්ට, කෙසේ නම් අනුනට දොස් පවරන්න ද? පින්වත, සම්මා සම්බුද්ධ ශාසනයේ සැබෑ දක්‍ෂයා, තම ආධ්‍යාත්මික සහ බාහිර ලෝකය උපයෝගී කොට ගන්නේ, තම කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකය නිවන උදෙසා සවිමත් කොට දෙන විදර්ශනාමය සංස්කාරයෝ උදෙසා මයි. පින්වත, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට තම ඇසට, කනට, මනසට අරමුණු වෙන සෑම මනුෂ්‍යයෙක් ම, ඇලීම් සහ ගැටීම් උදෙසා නොව, අවබෝධ ඥානය උදෙසා විදර්ශනාමය කමටහනක් මයි.

පින්වත, ඔබ ජීවත් වන සමාජය දෙස දෑස් විවෘත කොට බලන්න; ඔබේ දෙකන් විවෘත කොට අහන්න. පින්වත, ලෝභ, ද්වේශ, මෝහයෝ විසින් සමාජය සියතට අරගෙන නේද? පින්වත, අකුසල් මූලයෝ ආධිපත්‍යය දරන සමාජය තුළ මිච්ඡා වාචාවෝ, මිච්ඡා කම්මන්තයෝ, මිච්ඡා ආජීවයෝ බොහෝම වේගයෙන් තිරිහන් වෙනවා. පින්වත, දුකට එකම හේතුව ‘තෘෂ්ණාව’ යැයි කියන පරම සත්‍යය ඉදිරියේ, තෘෂ්ණාවෙන් මංමුළා වෙලා, අපි මේ නටන අවිද්‍යාවේ නාඩගම හෙවත් ඇලීම් සහ ගැටීම් සන්දර්ශනයන්ගේ අවසානය කොතන ද? පින්වත, තෘෂ්ණාවෙන් උපදින උපාදානයෝ අයිති කොට ගන්න, එකිනෙකා පරදා ලෝභ, ද්වේශ, මෝහයෝ ප්‍රවර්ධනය කරන අපි හැමෝගේ ම ගමනේ අවසානය, තම තමන්ගේ පවුලේ සුසාන භූමියේ ආදාහනාගාර ගෑස් කුටියේ, දැවී ඉතිරි වී, මැටි කළයකට සවලකින් එකතු කොට දෙන මිනී අළු ටික පමණක් ම නේද? පින්වත, ලෝභ, ද්වේශ, මෝහ මහ සයුරේ කිමිදි කිමිදී අනාගත සැප සොයන ‘තෘෂ්ණාවෙන් ධනවත්’ පින්වතුන්ලා, විවේකීව මොහොතක් දෑස් පියාගෙන, සියල්ල අවසානයේ ඉතිරිය වන මැටි කළයේ මිනී අළු සහිත ජයග්‍රහණයේ සංකේතය සිහිනුවණින් දකින්න. පින්වත, අපි මොන පුරාජේරු කිව්වත්, කෙරුවත් නම්බුනාම, පදවි, තනතුරු උදෙසා අකුසල් මූලයන් වැඩුවත්, සියල්ල අවසානයේ අපි සියල්ලෝ ම ලබන පදක්කම වෙන්නේ, සුසාන භූමියේ සොහොන්පල්ලා අතින් ලැබෙන මැටි කළයේ මිනී අළු පදක්කමයි. පින්වත, අපේ රූපය හෙවත් මළ සළායතනයෝ මැටි කළයේ අළු ගොඩක් වුවත්, තෘෂ්ණාව හේතුවෙන් මරණාසන්න මොහොතේ ඇති වූ පටිච්චසමුප්පන්න උපාදානයෝ සතර අපායට පාවඩ එලුවොත්, ලෝකය දිනන්න ගිහිල්ලා, දෝතින් ම දුගතිය දිනා ගත්තා වෙනවා.

පින්වත, කර්මය කර්මඵල විශ්වාසය හඳුනන ලෝකයේ, අකුසල් විපාකයෝ වැඩිම සොරකම බවට පත් වෙන්නේ සාංඝික දේපළ සොරකමයි. පින්වත, දෙවෙනි බලවත් ම විපාකයෝ සහිත සොරකම බවට පත් වෙන්නේ පින්වත් ජනතාවගේ බදු මුදලින් පෝෂණය වන ජාතික ධනය සොරකම් කිරීමයි. පින්වත, මහා භාණ්ඩාගාරයේ ධනය, සාංඝික දේපළක් හැටියට දැකීම, අපි හැමෝගේ ම භව සැපයට හේතු වෙනවා. පින්වත, ඔබලාගේ භව සැපයට හේතු වන මේ උතුම් ධර්මයෝ, හුදු දේශපාලන සටන් පාඨ බවට පමණක් පත් කොට ගන්න එපා. පින්වත, තමාගේ ජීවිතය තමා විසින් ම සිය දිවි නසා ගන්නවාය යැයි කියන්නේ, තමාගේ ම ජීවිතය තමාගේ ම අකුසල් විසින් සොරකම් කිරීමයි. පින්වත, මේ සොරකමේ සැබෑ ම විත්තිකරුවා ‘සංස්කාර පච්චයා විඤ්ඤාණ’ ධර්මතාවයයි. පින්වත, අතීත බලවත් අකුසල් සංස්කාරයෝ හේතුවෙන් තමාට දැනීම් සකස් වෙනවා, තමාගේ ම ජීවිතය උදුරා ගන්න. පින්වත, අපි උතුම් සෝවාන්ඵල අවබෝධය ලබන තාක් කල්, සිය දිවි නසා ගැනීමේ අනතුරින් මිදිලා නැහැ. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වෙලා යනවා. පින්වත, අද ජීවත් වීම උදෙසා සටන් කරන අපි, හෙට මරණය උදෙසා සටන් කරන්න පුළුවන්. පින්වත, සාංඝික දේපළ වගේ ම, පින්වත් ජනතාවගේ බදු මුදල් සොර සිතින් ගන්න යන්න එපා. පින්වත, මේවායේ බලවත් විපාකයෝ, විපාකයට පැමිණෙද්දී, ඔබේ ම ජීවිතය සොර සිතින් ගන්න ඔබට මෙලොව හෝ පරලොව දී දැනීම් සකස් වෙන්න පුළුවන්. පින්වත, සිය දිවි නසා ගැනීම අයිති කුසලයෙන් පරාජිතයාටයි. පින්වත, අධර්මයෝ අධර්මයන් ම වඩවා දෙද්දී, සිය දිවි නසා ගැනීම දුකේ අවසානයක් නොව, වියරු පටිච්චසමුප්පන්න භව දුකේ ආරම්භයක් මයි. පින්වත, ‘මම සුවපත් වෙම්වා!’ යැයි සිතන්න. ඔබේ සැබෑ ආරක්‍ෂකයා එම මෛත්‍රී චේතනාවෙන් සකස් වෙන කුසල් සංස්කාරයෝ මයි. පින්වත, මරණය ජය ගත යුත්තේ සිය දිවි නසා ගැනීමෙන් නොවේ, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගෙන් මයි.

පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන සංස්කාර ලෝකයට රැවටෙන්න එපා. පින්වත, සංස්කාරයෝ වංචාවක්, සංස්කාරයෝ ප්‍රෝඩාවක්, සංස්කාරයෝ ඇස් බැන්දුමක් පමණක් මයි. පින්වත, අවිද්‍යාව තෘෂ්ණාවේ පාට පාට කණ්ණාඩි අපිට පලන්දවලා, සංස්කාර ලෝකය තුළ අපිව රවටනවා. පින්වත, ඔබේ කුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙන කොට මහේශාක්‍යභාවයන්, ධනවත්භාවයන්, සැප සම්පත්, දායක දායිකාවන්, යහළු යෙහෙළියන් පිරී ඉතිරී යනවා. පින්වත, ඔබේ කුසල් සංස්කාරයෝ විපාකයට පැමිණ ඔබ වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් ආඪ්‍ය වෙද්දී, පිරිවර සම්පත් ලබද්දී, ඔබ අනුනගේ තෘෂ්ණාවට රැවටිලා යනවා. පින්වත, ඔබේ යසඉසුරු “පින” ඉදිරියේ, ඔබ අනුනගේ තෘෂ්ණාව ‘මම’ ය, ‘මගේ’ යැයි කොට දකිනවා. පින්වත් ඔබ එවිට සිතන්නේ “ඔබ ලෝකය දිනුවා” ය කියලයි. පින්වත, ඔබ ලෝකය දිනලා නැහැ. ඔබ, ඔබේ සහ අනුනගේ තෘෂ්ණාවට රැවටිලා පමණක් මයි. පින්වත, තෘෂ්ණාවට රැවටෙද්දී, ඔබ තුළ වැඩෙන්නේ පංච නීවරණ ධර්මයෝ මයි. පින්වත, ඔබ තුළ පංච නීවරණයෝ වැඩි වෙද්දී, ක්‍රමානුකූලව කුසල් සංස්කාරයෝ යටපත් වී, අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙනවා. පින්වත, අකුසල් සංස්කාරයෝ විපාකයට පැමිණෙද්දී, මහේශාක්‍යභාවයන් පිරිහී, සැප සම්පත් පිරිහී, චෝදනාවන්ට ලක්වී, යහළු යෙහෙළියන්, ඥාතීන් ඔබව මඟ හැර යනවා. පින්වත, මෙවැනි අවස්ථාවක ඔබට කල්‍යාණමිත්‍ර ආශ්‍රයක් මුණ නොගැසුණොත්, ඔබ සිය දිවි නසා ගන්නට පවා යොමු වෙන්න පුළුවන්කම තිබෙනවා. පින්වත, ඔබේ වර්ණය, සැපය, බලය ඉදිරියේ ඔබට ආකර්ෂණය වෙන පිරිවර සම්පත් යනු ඔබේ කුසල් ධර්මයන්ට ආකර්ෂණය වෙන, අනුනගේ තෘෂ්ණාවේ හේතුඵල ධර්මයෝ හැටියට ම දකින්න. පින්වත, ඔබේ සහ ඔබට ආකර්ෂණය වන අනුනගේ “තෘෂ්ණාව” ඉදිරියේ ඔබ මධ්‍යස්ථ වෙන්න. පින්වත, “සියලු සංස්කාරයෝ අනිත්‍ය” යැයි දකින්න. පින්වත, සමාජගත වන සිය දිවි නසා ගැනීම් තුළින් ඉහත ධර්මය දකින්න උත්සාහ ගන්න.

පින්වත, මේ දවස්වල පරිසරයේ බාහිර සතර මහා ධාතුව හොඳටෝම කිපිලා. පින්වත, මහා අනෝරා වැසි, වේගවත් අකුණු හඬ සහ සුළඟේ වේගය ගොඩාක් වැඩි වෙලා. පින්වත, පිණ්ඩපාත මඩුවට පැමිණෙන පාරත් හොඳටෝම මඩ වෙලා. ඒත් පනහකට වැඩි පිරිසක් උදෑසන පිණ්ඩපාත දානය බෙදන්න පැමිණ සිටියා. පින්වත, බාහිර සතර මහා ධාතුවේ කිපීම් වැඩි වෙන කොට අව්ව, වැස්ස, සුළඟ විකෘති වෙනවා. පින්වත, කාලයට වහින්නේ නැහැ, අකාලයට වහිනවා. පින්වත, දැන් දැන් හැමදාමත් වැස්ස මහා විකෘතියක්. පින්වත, වසරකට කී වතාවක් ගංවතුර, වැසි වතුර ගලලා ගෙවල් දොරවල්, ගම්බිම් යට වෙනවා ද? පින්වත, මොනතරම් නම් ධන හානි, ජීවිත හානි සිද්ධ වෙනවා ද? පින්වත, පියවි ඇසට නොපෙනුණාට පාරිසරික විකෘතීන් හේතුවෙන්, ගම්බිම් යට කර ගෙන වහින මහා වැසි මුල්කොට ගෙන, මේවාට ගැටී මනුෂ්‍ය ජීවිතවල ඇති කොට ගන්නා මහා “කෙලෙස් වැසි” මොනතරම් නම් අකුසල් කන්දරාවක් සමාජගත කරනවා ද? පින්වත, මහා වැසි හේතුවෙන් මනුෂ්‍ය ජීවිතවල කෙලෙස් වැසි ඇති වී, එම කෙලෙස් වැසිවලින් දෝරේ ගලන අකුසල් හේතුවෙන්, පෙරළා අනෝරා වැසි ඇති වීමේ හේතුඵල ධර්මයෝයි, අපි මේ අත්දකින්නේ. පින්වත, නායකයෝ අධර්මිෂ්ඨ වෙද්දී, ජනතාවත් අධර්මිෂ්ඨ වෙනවා. පින්වත, සමාජගත වන අධර්මිෂ්ඨභාවයන් වැඩි වෙද්දී, වහින වැසි වියරුවක් ම වෙනවා යැයි ධර්මයේ සඳහන් වෙනවා. පින්වත, පායන කොට මහ පොළොව ඉරි තලා යන්න ම පායනවා. පින්වත, හැමදාමත් ගංවතුර ආධාර දීලා, වගා විනාශයන්ට ආධාර දීලා මේ කාලගුණික විකෘතියට පිළියම් සොයන්න බැහැ. පින්වත, කරුණාකර පක්‍ෂ සහ විපක්‍ෂ සියලු නායකයෝ සිල් පද විකෘතියක් නොකොට, කරුණාකර ධාර්මික වෙන්න. පින්වත, තවදුරටත් අධාර්මිකභාවය තට්ටු මාරු ක්‍රමයට ජාතියට උරුම කොට දෙන්න එපා. පින්වත, ගංවතුරෙන් සිදු වන විනාශයන්ට ද්වේශ කරන්න එපා. පින්වත, “ධාර්මික පාලකයෝ ඇති වේවා!” යැයි සත්‍යක්‍රියා කරන්න.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2026 මැයි 24 ඉරිදා දිවයින පුවත්පතින්.