පින්වත, අනාගතයේ යම් දවසක ප්‍රාතිමෝක්‍ෂ ශීලය ලෝකයෙන් අතුරුදන් වෙයි ද, එදාට උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලය ආරක්‍ෂා කොට ගෙන ජීවත් වූ උපසම්පදා ස්වාමීන් වහන්සේලා අතුරුදන් වෙලා යනවා. පින්වත, විනයගරුක උපසම්පදා ස්වාමීන් වහන්සේලායි, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ ආරක්‍ෂකයා වෙන්නේ. පින්වත, විනයගරුක උපසම්පදා භික්ෂුවක් යැයි කියන්නේ මොනතරම් දුර්ලභ භාග්‍යවන්තභාවයක් ද? පින්වත, උපසම්පදා භික්ෂුව ඊළඟ පරපුර උදෙසා සම්මා සම්බුද්ධ ශාසනය ජීවත් කරවන්නෙක් වෙනවා. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය දේශපාලන ක්‍රියාකාරකම් තුළින් ආරක්‍ෂා කරන්න බැහැ. පින්වත, හැබැයි ඉතින් දේශපාලන බලයෙන් කොන්ක්‍රීට් ශාසනය නම් සංවර්ධනය කරන්න පුළුවන්. පින්වත, භික්ෂුව මේ සටහන් තබන්නේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයන් තුළින් මුල් අදින, ආධ්‍යාත්මික ශාසනය ගැනයි. පින්වත, යම් භික්ෂුවක්, යම් භික්ෂු කණ්ඩායමක් උපසම්පදා ශීලය දුර්වල කොට ගත්තොත්, අධිකරණයන් නොසලකා හැරියොත් එහි ඵලය වෙන්නේ, උපසම්පදා ශීලය රැකගෙන ජීවත් වෙන ස්වාමීන් වහන්සේලාගේ ජනප්‍රියභාවය වැඩි වීමයි. පින්වත, සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ ජනප්‍රියභාවය වැඩි වෙද්දී, උන්වහන්සේලාට ලැබෙන ජනතා ප්‍රතිචාර, සිවුපසය සහ විදේශ ආරාධනා ගොඩාක් වැඩි වෙනවා. පින්වත, ඉහත හේතුව නිසා ම, සිල්වත් ස්වාමීන් වහන්සේලාගේ සිල් පද දුර්වල වෙන්න පුළුවන්. පින්වත, සංඝ සමාජය තුළ පුංචි හෝ ශීලයේ දුර්වලතාවයන් ඇති වෙන කොට, සිල්වත් ස්වාමීන් වහන්සේලා තුළ සිහිනුවණ ගොඩාක් ශක්තිමත් වෙන්න ඕනේ. පින්වත, සිල්වත් ස්වාමීන් වහන්සේලා තම ප්‍රාතිමෝක්‍ෂ ශීලය සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ තුළින් මොනවට පෝෂණය කොට ගන්න ඕනේ. පින්වත, සංස්කාරයෝ අශ්ව වේගයෙන් අනිත්‍ය වෙලා යනවා, අපිව සංස්කාර ලෝකයේ අතරමං කරලා.
පින්වත, අපි මේ ජීවත් වෙන්නේ කල්‍යාණමිත්‍රභාවය දුර්ලභ, අසත්පුරුෂභාවය සුලභ ලෝකයක. පින්වත, එය ලෝකයේ වරදක් නොවේ. පින්වත, වර්තමාන ලෝකයට ජවය ලබා දෙන දුර්ලභ කුසල් සංස්කාරයන්ගේ සහ සුලභ අකුසල් සංස්කාරයන්ගේ හේතුඵල ධර්මයෝයි. පින්වත, කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ සහ අසත්පුරුෂ ආශ්‍රයේ වෙනස, සුගතිය සහ දුගතිය අතර වෙනසයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය ගැන නොදන්න අසත්පුරුෂ පින්වතා, සතර අපාය සහ සුගතිය හඳුනන්නේ නැහැ. පින්වත, එවැනි පින්වතුන්ලාගේ ශබ්ද කෝෂය හිස් වචන සහ හිස් අදහස් යෝජනාවලින් පිරිලා. පින්වත, මෙවැනි පින්වතෙක් පසුගිය දවසක කියලා තිබුණා, “යමෙක් උතුම් පැවිදිභාවයට පත් කරද්දී, පුරුෂ ලිංගය ඉවත් කරලා පැවිදි කරන්න” ය කියලා. පින්වත, කෙනෙකුගේ පුරුෂ ලිංගය යැයි කියන්නේ සතර මහා ධාතුවෙන් හැදුණ හුදු ශරීර අවයවයක් විතරයි. පින්වත, මෙම ශරීර අවයවයන් ක්‍රියාත්මකභාවයට පත් වෙන්නේ ‘ඵස්ස පච්චයා වේදනා’ කියන ධර්මතාවය තුළින් පමණක් මයි. පින්වත, ඉහත හේතුඵල ධර්මයෝ නිසා මයි, බුදුරජාණන් වහන්සේ ඵස්සයේ තෘෂ්ණාව සියුම් කිරීමට, පැවිදි අපිට උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පනවා තිබෙන්නේ. පින්වත, මෝහයේ මස් කඳු, අසත්පුරුෂභාවයෙන් පුරුෂ ලිංගය ඉවත් කොට රාගය නැති කිරීමේ අබුද්ධෝත්පාද කාලයේ බණ දේශනා කරනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිය දී, එක් භික්ෂුවක් ලවා, තමන්ගේ ගෙල සිඳ දමාගෙන අපවත් වී, නිවන සොයා ගිය උතුම් ධර්ම විනයට අකීකරු වූ භික්ෂූන් කිහිප දෙනෙක් හේතුවෙනුයි, බුදුරජාණන් වහන්සේ සතර පාරාජිකාවන්ට අදාළව මනුෂ්‍ය ඝාතනය පනවන්නේ. පින්වත, මෙම දෘෂ්ටිගත භික්ෂූන් නිවන හැටියට දැක්කේ, අපවත්වීම කෙරෙහි තෘෂ්ණාවයි. පින්වත, අපවත්වීම කැමැත්තෙන් පිළිගත්තත්, එම කැමැත්ත තුළ සැඟවී තිබුණ, ඵස්ස පච්චයා වේදනා ධර්මතාවය දැක්කේ නැහැ.
පින්වත, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති පින්වතා සංස්කාර අධිකරණය ගැන දන්නේ නැහැ. පින්වත, සත්‍යකින්ම ඔහු සතර අපාය ගැන දන්නෙත් නැහැ. පින්වත, එහෙව් පින්වතා සූත්‍රගත ධර්මයේ සඳහන් වෙන නිරයන් එකසිය තිස්දෙක ගැන කෙසේ නම් දැන ගන්න ද? පින්වත, එම අශ්‍රද්ධාවැති පින්වතුන්ලා දන්න ඉහළම දඬුවම තමයි අත්අඩංගුවට ගැනීම, මඩ ගැසීම, බන්ධනාගාරගත කිරීම, සිර දඬුවම් ලබා දීම, එසේත් නැතිනම් මානසිකව සහ කායිකව මරා දැමීමයි. පින්වත, අශ්‍රද්ධාවැති පින්වතාගේ කර්මය කර්මඵල විශ්වාසයේ දුර්වලභාවය නිසා ම, එම පින්වතා දකින ලෝකයේ දිග සහ පළල පෝෂණය වෙලා තිබෙන්නේ ළිං මැඩියන්ගේ දැනුමෙන් මයි. පින්වත, මෙම පින්වතුන්ලාගේ අසරණකමට ළිඳ ඇතුළේ සිටින මැඩියන් සිත් සේ කෑ ගසන ආකාරයට, මිච්ඡා වචන, මිච්ඡා අදහස්, මිච්ඡා ඝෝෂාවෝ සිත් සේ සමාජගත කරනවා. පින්වත, මෙම පින්වතුන්ලාගේ සටන් බිම බවට පත් වෙන්නේ, සමාජ මාධ්‍ය ජාලාවෝයි. මෙම පින්වතුන්ලාගේ අවිආයුධ බවට පත් වෙලා තිබෙන්නේ, තම දිව නමැති දෙපැත්තම මුවහත් කෙටේරියෙන් පිට වෙන මිච්ඡා වචන, පරුෂ වචන සහ සම්පප්‍රලාපයෝයි. පින්වත, මෙවැනි මිච්ඡා වචනවලින් එම අහිංසක පින්වතුන්ලා සමාජයට ඔප්පු කොට පෙන්වන්නේ, තමන් සතු ධර්මානුකූල ලෝක දැනුමේ අල්පභාවයයි; තමන්ගේ ඉන්ද්‍රිය අසංවරභාවයේ ගොරහැඩිභාවයයි. පින්වත, තමන් තුළ පවට ඇති ලජ්ජාව සහ බිය කියන කාරණා දෙකේ නිරුවත්භාවයයි.
පින්වත, මැදපෙරදිග ඇවිළී ගිය යුද්ධය පුරාවට බාහිර ලෝකයේ කැඩෙන, බිඳෙන, විසිරෙන අර්ථය ඔබ දැක්කා ද? පින්වත, යුද්ධය හේතුවෙන් මැදපෙරදිග කැඩී, බිඳී, විසිරී ගිය සෑම මනුෂ්‍ය සහ බාහිර රූපයක් ම නොකැඩී, නොබිඳී, නොවිසිරී තිබෙනවා යැයි ‘නිත්‍ය සඤ්ඤාවෙන්’, ‘සුභ සඤ්ඤාවෙන්’ ම ගත්ත රූපයන් නේද? පින්වත, එකම පාසලේ ඉගෙන ගනිමින් සිටි සිය ගණනක් පින්වත් දරුවෝ, පින්වත, එකම නෞකාවේ ගමන් ගත් සිය ගණනක් පින්වත් නාවිකයන් නිරායුධව අකාලයේ මරු තුරුලට ගියත්, මේ සෑම පින්වතෙක් ම, අනාගත රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණයෝ නිත්‍ය, සුභ, ආත්මීය සඤ්ඤාවන්ගෙන් බලාපොරොත්තු තබා ගෙන සිටින්නට ඇති නේද? පින්වත, සංස්කාර ලෝකය හරිම මායාවක්; ඇස්බැන්දුමක්; මිරිඟුවක් සේ ම දකින්න. පින්වත, යම් මනුෂ්‍යයෙකුගේ ‘තෘෂ්ණා පච්චයා උපාදානං’ යැයි කියන ධර්මතාවය යමෙක්ව මරා දමලා, එම මරණයට පත් වෙන මනුෂ්‍යයා තුළ සකස් වෙන තෘෂ්ණා පච්චයා උපාදානං යැයි කියන ධර්මතාවය පෙරළා මිය ගිය තැනැත්තාට පටිච්චසමුප්පන්නව භවයේ නැවත උපතක් සකස් කොට දෙනවා. පින්වත, පටිච්චසමුප්පාද ධර්මයන්ගේ සමුදය කියන එකම ධර්මතාවය, අපිව කුසල් සහ අකුසල් සංස්කාර ඇස්බැන්දුම උපයෝගී කොට ගෙන, භවාත්‍රයේ සෝද සෝදා යළි යළිත් මඩේ දමනවා. පින්වත, භික්ෂුව නම් මේ මොහොතේ ජීවත් වෙන්නේ කාම ලෝකයට අයිති සුගතිය යැයි කියන මඩ වළේ. පින්වත, මේ භික්ෂු ජීවිතයේ දී, භික්ෂුවට පුංචි හෝ ප්‍රමාදීභාවයක් සිදු වුණොත්, පටිච්චසමුප්පන්නව භික්ෂුවට උපදින්න වෙන්නේ කාම ලෝකයට ම අයිති සතර අපා මඩ වළේ මයි. පින්වත, සිනාසෙන්නවත්, හඬන්නවත් සුදුසු ලෝකයක් නොවේ මේක. පින්වත, “සිනහවත්, කඳුළත් අනිත්‍ය වී යන සංස්කාර ඇස්බැන්දුමක්” යැයි අවබෝධ කොට ගත යුතු අප්‍රමාදී දහමක් මේක.
පින්වත, “හැමෝම වැරදියි, අපි විතරමයි නිවැරදි” යැයි සිතන්න යන්න එපා. පින්වත, එහෙම සිතුවොත් ඔබ තුළ මමත්වයේ දැඩිභාවය මයි ශක්තිමත් වෙන්නේ. පින්වත, මමත්වයේ දැඩිභාවය, ලෝභ, ද්වේශ, මෝහයන්ට ප්‍රණීත ආහාරයෝ ම වෙනවා. පින්වත, “හැමෝම වැරදි නම්, අපිටත් වරදින්න පුළුවන්” යැයි සිහිනුවණ ඇති කොට ගන්න. පින්වත, එවිටයි ඔබලා තුළ නිහතමානීභාවය හේතුවෙන් සකස් වන සමගිය සහ මිත්‍රශීලීභාවය ඇති වෙන්නේ. පින්වත, හැමෝම වැරදියි, අපි විතරමයි නිවැරදි යැයි දකින වැරදි දෘෂ්ටිය, අපිට සියල්ලෝ ම අහිමි කොට, සමාජයේ අසමගිය සහ අප්‍රසාදය දවසින් දවස ඔඩුදුවන්න පුළුවන්. පින්වත, අපි පසුපස විපාකයට පැමිණීමට තිබෙන අකුසල් සංස්කාරයෝ අසීමිත නිසා ම, අපි වගකීම් දරද්දී, අපේ හැකියාවන් සහ නොහැකියාවන් අපි නිවැරදිව හඳුනා ගන්න ඕනේ. පින්වත, “මම සියල්ල දන්නවා” යැයි සිතා නිදහසේ කටයුතු කරන්න ගියොත්, එම අධිමාන්නයෙන් යුත් සිතුවිල්ලෙන් උනන තෘෂ්ණාව, ඔබව ගොදුරු කොට ගන්නා දුකේ පළිබෝධයක් වෙන්න පුළුවන්. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “පුංචි කැට කිරිල්ලිය තමන්ගේ ආරක්‍ෂාව සහතික කොට ගන්නා වූ සීමාව හඳුනන්නා සේ, සිහිනුවණ ඇති මනුෂ්‍ය ඔබ, අකුසලයෙන් ඔබව ආරක්‍ෂා කොට දෙන සීමාව දැන ගන්න” ය කියලා. පින්වත, ආරක්‍ෂිතව ඔබේ ජීවිතය සාර්ථක කරන ඔබේ සීමාව බවට පත් වෙන්නේ, රූපය කෙරෙහි, සිතුවිලි කෙරෙහි, විඳීම් කෙරෙහි, ධර්මතාවයෝ කෙරෙහි නොඇලෙන, නොගැටෙන මධ්‍යස්ථ ප්‍රතිපදාවයි.
පින්වත, ආදරයට සීමාවක් නැහැ. පින්වත, ආදරයට සීමාවක් පනවන්නත් බැහැ. පින්වත, බාහිර රූපයෝ කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන්න, වැඩි වෙන්න ආදරය දළු දමා ලියලනවා. පින්වත, රූපය කෙරෙහි තෘෂ්ණාව අඩු වෙද්දී, ආදරය දිය වෙලා යනවා. පින්වත, අපි යම් දවසක තෘෂ්ණාව නිරෝධය කළොත්, ආදරයට තෘෂ්ණාවේ ආහාර අහිමි වී, “ආදරය” තෘෂ්ණාව හේතුවෙන් සකස් වූ අනිත්‍ය දහමක් යැයි ධම්මානුපස්සනාව අපි තුළ උපදිනවා. පින්වත, එතෙක් අපි ආදරයේ නාමයෙන් තෘෂ්ණාවට රැවටෙනවා. පින්වත, ආදරය කියන අර්ථය ලෝකය තුළ ජීවත් කරවන්න අවශ්‍ය තෘෂ්ණාවේ ප්‍රවර්ධනය උදෙසා, මහා අවිද්‍යා වෙළඳපොළක් සමාජය තුළ නිර්මාණය වෙලා තිබෙනවා. පින්වත, රසායනික දියර, පොහොර යෙදූ රෝස මලේ පටන් රසායනික ක්‍රමවේදයන්ගෙන් දෙමුහුන් කළ වල්ලපට්ටා සුවඳ විලවුන් දක්වා ම, ආදරය උදෙසා තෘෂ්ණාව ප්‍රවර්ධනය කරනා අවිද්‍යා වෙළඳපොළේ සාමාජිකත්වය දරනවා. පින්වත, උතුම් සූත්‍රගත දහම පටිච්චසමුප්පන්නව භවයෙන් භවයට ඇදී යන ආදරයක් ගැන කතා කරනවා. පින්වත, එම ආදරය රෝස මලෙන්, සුවඳ විලවුන්වලින් උපන් තෘෂ්ණාවේ රසායනික ආදරයක් නම් නොවේ. පින්වත, සම ශ්‍රද්ධා, සම ශීල, සම ත්‍යාග, සම ප්‍රඥා තුළින් මතු කොට ගන්නා තෘෂ්ණාවට වැට බඳින, තෘෂ්ණාව විනිවිද දකින ප්‍රඥාවේ වැට කඩොලු විවෘත කරන ආදරයයි. පින්වත, ඔබගේ ආදරණීය ආදරය තුළින් තෘෂ්ණාව විනිවිද දකින, ප්‍රඥාවේ වැට කඩොලු විවෘත කොට තබන්න. පින්වත, එවිට ආදරයේ නාමයෙන් රූප වන්දනාව වෙනුවට, ඔබ ආදරණීය මනුෂ්‍ය ධර්මයන්ට වන්දනා කරාවි.
අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.
උපුටා ගැනීම – 2026 මැයි 17 ඉරිදා දිවයින පුවත්පතින්.