අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න…
මීට වසරකට පමණ පෙරාතුව, භික්‍ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්‍ෂුවට ප‍්‍රකාශ කළා, ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාය කියලා. එම අවස්ථාවේ, භික්‍ෂුව එම මහත්මයාට ප‍්‍රකාශ කළේ, ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන්මයි. ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට පැමිණ තිබෙන්නේ කියලා.
ඔබ දෙපළගේ සංස්කාරයන්ට අදාළව ඔබලාට ලැබිය යුතු දෙයයි, ඔය ලැබිලා තිබෙන්නේ, එමනිසා ඔය කනස්සල්ලෙන් බැහැරවෙලා, මවුපියන්ට උරුම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ෂා ගුණයන්ගෙන් පෝෂිත මහා බ‍්‍රහ්ම ගුණයන් ඇති කොටගෙන, පිළිසිඳගත් දරුවා වගකීමෙන් ආරක්‍ෂාකොට ගන්නය කියලා.
පසුගිය මාසයේ දවසක එම මහත්මයා, බොහොම සතුටින් භික්‍ෂුව මුණගැසිලා ප‍්‍රකාශ කරනවා, ස්වාමින්වහන්ස අපිට පුතෙක් ලැබුණාය කියලා. අපි බලාපොරොත්තු නැති මොහොතක වුවද, අපිව බලාපොරොත්තුවෙන් යමෙක් පැමිණෙන්නේ ධර්මානුකූල හේතුවක් නිසාමයි. එම ධර්මානුකූල හේතුව සංස්කාර පච්චයා. විඤ්ඤාණ කියන ධර්මතාවයි. අපි කැමැති වුවද, අපිඅකැමැති වුවද, මේවා සංස්කාරයන්ගේම සූදුවකි. අනාගතයේ යම් දවසක අපි කාම, රාග, පටිඝ ධර්මයන් නිරෝධය කොට දමන තෙක්ම, අපි මේ සූදුවේ කොටස්කරුවන් වෙන්නෙමු.
සූදුවක් තිබෙන තැන, ජය සහ පරාජය අනිවාර්යයෙන්ම තිබෙනවාය, විදර්ශනා ප‍්‍රඥාවෙන් යම් පිංවතෙක් දුර්වලද, ඔහු මේ ජීවිතයේදි ජය සහ පරාජයන් හේතුවෙන්, දුක සහ ශෝකය ජීවිතයට එකතුකොට ගන්නා අතර, විදර්ශනා ප‍්‍රඥාව ශක්තිමත් පිංවතා, ජය සහ පරාජය කියන අර්ථයන් දෙකම, අනිත්‍ය බව දකිමින් මෙලොව පරලොව සැපයම ලබන බව බුදුරජාණන්වහන්සේ දේශනාකොට තිබෙනවා. නුවණිින් පිරිහීමෙන්, සත්වයා පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවෙන්, කාමයේ, රූපයේ ආශ්වාදයම සොයමින්, දුකට හේතුවෙන් භවයම ශක්තිමත් කොට ගන්නවා.
බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, රූපය කියන්නේ මාරයාය කියලා. රූපය මාරයා යැයි බුදුරජාණන්වහන්සේ දේශනාකොට තිබෙන්නේ, රූපය නිරතුරුවම ජරා, ව්‍යාධි, මරණයන්ට, අදාළව විකෘති වෙන, වෙනස් වෙන නිසාමය.
රූපයේ ආදීනවය, ජරා, ව්‍යාධි මරණයන් තුළ බැසගෙන සිටියත්. රූපයේ ආශ්වාදය නම්, දෑස් පෙනෙන ඔබව, අවිද්‍යාවේ අන්ධභාවයට පත් කරන මාර උගුලක්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි පාපය, අකුසලය ලාමක දෙයක් වශයෙන්ම දකින්නය කියලා. පාපය, අකුසලය, ළාමක දෙයක් වශයෙන් දැකලා, අකුසලය කෙරෙහි කලකිරීම ඇති කොටගන්නය කියලා. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේත් ඉහත අර්ථය ලෝකයාට දේශනා කිරීමටයි.
රූපය මාරයා වෙන තැනදි, රූපය හේතුවෙන් සකස් වෙන වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයනුත් මාරයාමයි වෙන්නේ, පිංවත් ඔබ සිතනවාද, ඔබේ රූපය මාරයාය කියලා. අද උදෑසන පිණ්ඩපාතය බෙදන්න නෝනා කෙනෙක් පැමිණ සිටියා. ඇයගේ තරුණ හිසකෙස් දුඹුරු පැහැයෙන් පාට ගන්වලයි තිබුණේ. ඇය පැළඳගෙන සිටි රත‍්‍රං බඩු දකිනකොට භික්‍ෂුවට සිතුණේ්, ඇය රත‍්‍රං බඩු ප‍්‍රදර්ශනයක් පවත්වනවාද කියලා. බුදුරජාණන්වහන්සේ මාරයා වශයෙන් හැඳින්වූ මේ රූපය, පිංවත් ඔබ, දේවදූතයෙක් වශයෙන්ම දකිනවා.
රුපියල් ලක්‍ෂ පනහකට වැඩි වටිනාකමැති රත්තරං ආභරණ පැළඳගෙන සිටින පිංවත් කාන්තාවක්. තම යෙහෙළියකට කියනවාලූ. විශාඛා උපාසිකාවත් මහමේළ පළඳනාව පැළඳගෙනයි සිටියේ. එම නිසා බෞද්ධ කාන්තාවන් විශාඛා උපාසිකාව අනුගමනය කළ යුතුය කියලා.
අපේ කාමයේ සහ රූපයේ ආශ්වාදය නිසාම, පූර්වාදර්ශයන් ජීවිතවලට එකතුකොට ගන්නේ වැරදි අන්තයන් තුළින්මයි. විශාඛාව උතුම් සෝවාන් ඵල අවබෝධය ලබන්නේ, වයස අවුරදු හතේදී, ඇයට මහාමේළ පළඳනාව, දායාද වශයෙන් ලැබෙන්නේ ඇයගේ විවාහයෙන් පස්සේ, විශාඛා උපාසිකාව මහාමේළ පළඳනාව පරිහරණය කළේ උතුම් සෝවාන්ඵල අවබෝධයට පත් කාන්තාවක් හැටියට. විශාඛාව වයස අවුරුදු හතේදීත්. සාංසාරික පුහුණු, පුරුදු නිසාම, කයෙන්, වචනයෙන්, සිතෙන්, බොහෝම සංවර දැරියක්. දැන් පිංවත් ඔබ සිතන්නකෝ, රූපයේ ආශ්වාදයෙන් මත්වී, කාමයේ ආශ්වාදයේ සිරකරුවෙක් වි, රත්තරං පරිහරණය කරන, ඔබගේ ස්වභාවයත්, උතුම් සෝවාන්ඵලයට පත්වූ කාන්තාවකගේ, ශරීරය සැරසීමේ චේතනාවනුත් අතර තිබෙන ධර්මානුකූල පරතරය මොන තරම් ද කියලා. පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවයේ දැක්වෙන පෝෂණයම, ආර්ය ශීලයෙන්, ආර්ය සද්ධාවෙන්, පෝෂණය වූ සෝවාන්ඵල අවබෝධය, සාක්‍ෂාත්කොට ගත්, විශාකා උපාසිකාව මහාමේළ පළඳනාව කෙරෙහි සක්කායදිට්ඨිය මරා දමලයි තිබුණේ. නමුත් අපි මොකක්ද කරන්නේ, රත්තරං නිසාම, සක්කාය දිට්ඨිය ශක්තිමත් කොට ගන්නවා. පින්වත් ඔබ විශාඛා උපාසිකාව පූර්වාදර්ශයට අරගෙන මුලින්ම සෝවාන්ඵලයට පත්වෙලා. දෙවැනිව ඇති තරම් රත්තරං පළඳින්න. සියල්ලටම පෙරාතුව ඔබ රත්තරං දැම්මොත්, ඔබට රත්තරනුත්, සුගතියත්, උතුම් සෝවාන්ඵලයත් යන දෙකම අහිමි වෙලා. ලස්සන මාල ගිරවෙක් වෙලා. නැවත උපදින්න සිද්ධ වෙන්නත් පුළුවන්.
බුදුරජාණන්වහන්සේ පිංවත් කාන්තා පක්‍ෂය කෙරෙහි බොහෝම කරුණාවෙන් දේශනා කරනවා, කාන්තාව රූපයෙන්, සිනාවෙන්, කතාවෙන්, ගීතයෙන්, හැඬීමෙන්, ආකල්පයන්ගෙන්, රසවත් ආහාරයන්ගෙන් සහ පහසින් යන අට ආකාරයෙන්, පුරුෂයාව බැඳගන්නවාය කියලා.
බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යය අවබෝධ කොට ගැනීමට පෙරාතුව, සිදුහත් කුමාර අවධියේදීත්, කාන්තා පක්‍ෂයේ ඉහත ස්වභාවය දැනගෙන ඉඳලා තිබෙනවා. ඒ නිසාමයි. එදින උපත ලද රාහුල පුතාගේ, ඇසුරවත් නොලබාම, ගිහි ගෙදරින් නික්ම යන්නේ, යශෝධරාවගේ කතාවෙන්, සිනාවෙන්, සහ හැඬීමෙන් විය හැකි බන්ධනය ගැන සිතලාමයි. පිංවත් පිරිමි පක්‍ෂය ඔබේ හෘද සාක්‍ෂියට තට්ටු කරලා අහන්නකෝ. ඔබ පිංවත් කාන්තාවකට බැඳී ගියා නම් බැඳී ගියේ ඉහත ධර්මතාවන්ටම නේද කියලා.
බුදුරජාණන්වහන්සේ දේශනා කරන ඉහත ධර්මයන්, පුරුෂ පක්‍ෂයට, අනතුරු අවම කොට ගැනීම උදෙසා, සතිය, සිහිය, ඇතිකොට දෙන අතර, පිංවත් කාන්තා පක්‍ෂයට ද, තමන්ගේ සුන්දර ඇවැතුම් පැවතුම් සහ ආකල්පයන් තුළ සැඟවී ඇති, තමන්ගේත්, අනුන්ගේත්, විරාගයට අන්තරාකාරී, කුසල් ධර්මයන් මන්දගාමී කරන, අනතුරු පිළිබඳව සිහිපත් කොට දෙනවා.
පිංවත් ඔබ සිතුවත්, රටක් පාලනය කරන්නේ, රාජ්‍ය නායකයෙක්ය කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රාජ්‍ය නායකයාත් පාලනය කරන කුසල් ධර්මයෝ දෙදෙනෙක් මේ ලෝකය පාලනය කරනවාය කියලා. මේ ලෝකයම පාලනය කරන කුසල් ධර්මයන් දෙක නම්, ලැජ්ජාව සහ බයයි, එම කුසල් ධර්මයන් දෙක ලෝකය පාලනය නොකරන්නේ නම්, මනුෂ්‍ය සමාජයේ, අම්මලා කියලා, පුංචි අම්මලා කියලා, නැන්දා, දුව, මිණිපිරිය, බිරිඳ, සහෝදරිය කියලා. කාන්තාව ගැන තැකීමක් නැහැ. මනුෂ්‍ය සමාජය හරකුන්, බල්ලන්, ඌරන්, කුකුළන් මෙන් අසංවරව අශීලාචාරව හැසිරෙනවාය කියලා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ලැජ්ජාව, බිය, ඇති මේ ලෝක පාලක කුසල් ධර්මයන් දෙක කෙරෙහි මැනවින් සිහිය පිහිටුවාගත් පිංවතා, බඹසර ඇති, වැඩුණු මනුෂ්‍ය ගුණ ධර්ම ඇති, උතුම් මනුෂ්‍යයෙක් බවටමයි පත්වෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉහත ධර්මයට අදාළව, අප ජීවත් වෙන සමාජය දෙස බැලීමේදී , අපව පාලනය කරන්නේ, අකුසලයට අදාළ, ලැජ්ජා නැති කමත්. බියෙන් තොර වංචාකාර බවත් පමණක්මය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව හේතුවෙන්, මනුෂ්‍යයාගේ සළායතනයන්ගෙන් ගලා බසින, ලෝහ, ද්වේෂ, මෝහ, ධර්මයන් යනු සිතේ උපන් මළකඩයක්ය කියලා. සිතෙහි උපන් සතුරෙක්ය කියලා, සිතෙහි උපන් වසලයෙක්ය කියලා. සිතෙහි උපන් වධකයෙක්ය කියලා, සිතේ උපන් පසමිතුරෙක්ය කියලා.
සමාජය තුළ දිනෙන් දින, තම බලය ශක්තිමත් කොට ගන්නා, සමාජය පාලනය කරන අකුසලයට අදාළ, ලැජ්ජා නැතිකම සහ බියෙන් තොර වංචාකාරී බව, අසත්පුරුෂ ආශ‍්‍රයෙන් අසද්ධර්මය ශ‍්‍රවණය කිරීමෙත්්, අනුවණින් මෙනෙහි කිරීමෙන් ධර්මානුකූල ඵලයකි. ලැජ්ජාව බිය කුසලයේ ඵලයක් වෙනවා සේම, ලැජ්ජා නැතිකම අකුසලයේම ඵලයකි. මේවා සුන්දර ධර්මයේ හේතුඵල ධර්මයන්ය.
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි