තෘෂ්ණාව තමා තුළින් දකින්න.

පිංවත හැමදාමත් දැන් උදේටත් වහිනවා, සවසටත් වහිනවා. පිංවත් රජයේ සේවක මහත්මයෙක් භික්ෂුවට කියනවා, හැමදාමත් කාර්යාලයට යන එනකොට වැස්සට කොටු වෙනවාය කියලා. දැන් කාලේ වැසි වසින්නේත් තද සුළඟ සමගමයි. ඒ නිසා ම කුඩයක් ඉහළාගෙන වැස්සේ යෑමත් අභියෝගයක් වෙලා තිබෙනවා. පිංවත කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන අර්ථයන් අකුසලයෙන් විකෘතියක් වෙලා. තමන් කරන රැකියාව අවංකව සිදුකරනවා වෙනුවට රාජකාරිය පැහැර හැරීම අලුත් විලාසිතාවක් වෙලා. අපි හැමෝම උත්සාහ ගන්නේ අඩුවෙන් වැඩ කරලා, වැඩියෙන් වැටුප් ගන්න. රටේ පිංවත් භාරකරුවන් වන නායකයන් තම රාජකාරිය දේවකාරියක් යැයි නොසිතා, වගකීම් පැහැර හැරීම නිසා ම, මේ අලස, කම්මැළි, ණයකාර පූර්වාදර්ශයෝ සමාජයේ කම්කරු පිංවතා දක්වා පැතිරිලා ගිහින් තිබෙනවා. පිංවත අපි සටන්කළ යුත්තේ අපි දිනන්න නොවේ, රට දිනවන්න. රට දිනුවොත් තමයි අපි සියල්ලෝ ම දිනුවා වෙන්නේ. අපි තනි තනිව දිනන්න ගිහිල්ලා අපිටත්, රටටත් අයිති වෙලා තිබෙන්නේ පරාජයන් පමණක්මයි. පිංවත පරිසරයේ ක්‍රියාකාරීත්වය තීරණය වෙන්නේ, මනුෂ්‍ය අපේ ක්‍රියාකාරීත්වයන් තුළින්මයි. අපි, අපේ රාජකාරී වගකීම්වලට අදාළව, අපි ගන්න වැටුපට, වරප්‍රසාදයන්ට අදාළව කෘතවේදීව අපේ වගකීම් ඉටු නොකිරීම නිසා ම, රාජකාරී කල්වැරීම් නිසා ම පරිසරය අපිට දැන් සැප වේදනාවෝ ලබා දෙන්නේ නැහැ. වැස්සට නොතෙමී වැඩට එන්න, ගෙදර යන්න බැරි දුක් වේදනාවෝ අපේ එදිනෙදා උරුමය වෙලා තිබෙනවා. පිංවත ඔබේ දුකත්, ඔබේ සතුටත් ඔබේ ම නිෂ්පාදනයක්.

පිංවත අපි, අපේ වැටුප්, දීමනා, වරප්‍රසාද ගැන කතා කළත්, අපේ වගකීම්, රාජකාරි පැහැර හැරීම හේතුවෙන් සකස්වෙන අකුසල් සංස්කාරයෝ බරපතළ සමාජ අර්බුද ගොඩාක් නිර්මාණය කරමින් පවතිනවා. පැය අටේ සේවය නාමික සේවයක් බවට පත්වෙමින්, පැය අට තුළ පැය කිහිපයක් ම රාජකාරිය මගහැර සිටීමේ ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතිනවා. පිංවත බුදුරජාණන් වහන්සේ සංඝ සමාජයේ ගුණයන් පනවද්දි සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් පනවලා, ඊළඟට සාමීචිපටිපන්න ගුණය පනවනවා. සංඝ සමාජයේ අපි, පිංවත් ගිහි පිංවතුන්ලාගෙන් ලබන සිවුපසය වගේ ම, පෙරළා අපෙන් වියයුතු යුතුකම් මහා සංඝරත්නයේ ගුණයන් තුළින් බුදුරජාණන් වහන්සේ කෘතවේදීභාවයෙන් යුතුව දේශනාකොට තිබෙනවා. සංඝ සමාජයේ සාමාජිකයින් හැටියට අපි ගිහි පිංවතුන්ලා ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන්, සියතින් සකසා පූජාකොට ගන්නා වූ සිවුපසය ලබමින්, අපේ සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න ගුණයන් ශක්තිමත්කොට ගනිමින්, සංඝ සමාජයේ අපි පෙරළා පිංවත් ගිහි පිංවතුන්ලාට දැක්විය යුතු කෘතවේදීභාවය තමයි සාමීචිපටිපන්න ගුණයෙන් පිංවත් ගිහි පිංවතුන්ලාට චතුරාර්ය සත්‍යය ධර්මයෝ දේශනා කිරීම. ශ්‍රද්ධාවේ, මෛත්‍රියේ, සීලයේ, දානයේ ආනිශංස දේශනා කිරීම. සංඝ සමාජයේ අපි ගිහි පිංවතුන්ලා ශ්‍රද්ධාවෙන් පූජාකරන සිවුපසය ලබමින්, පෙරළා ගිහි පිංවතුන්ලාට සාමීචිපටිපන්න ගුණයෙන් උපකාර නොකරන්නේ නම්, උතුම් සාමීචිපටිපන්න ගුණයට මිලක් නියම කරන්නේ නම්, පිංවත් ගිහි පිංවතුන්ලාගේ සිවුපසයෙන් අයිතිවාසිකම් ලබන අපි, පෙරළා අපේ යුතුකම් ඉටු නොකළා වෙනවා. ගිහි පිංවතුන්ලා සහ ගෞරවනීය සංඝ සමාජය අතර අයිතිවාසිකම් සහ යුතුකම් පිරිහීමක් ඇතිවුණොත් එය සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්‍ෂාවට අනතුරක් ම වෙනවා.

පිංවත බුදුරජාණන් වහන්සේ මේ ලෝක ධාතුවේ දුර්ලභ ම කාරණාවන් හතරක් දේශනාකොට තිබෙනවා. බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ශ්‍රවණය කරන්නට ලැබීම, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ශ්‍රවණය කරලා, එම ධර්මය නුවණින් මෙනෙහි කරලා, උතුම් අධිගමයන් සාක්‍ෂාත්කොට ගැනීම සහ කෘතවේදීභාවය මේ ලෝක ධාතුවේ දුර්ලභ ම අර්ථයන් හතරයි. පිංවත කෘතවේදීභාවය ලෝකයේ දුර්ලභ අර්ථයක් නිසාමයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේට සම්මා සම්බෝධිය අවබෝධකොට ගැනීමට සෙවණ දුන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ට සත් දවසක් කෘතවේදීභාවය දැක්වූයේ, කෘතවේදීභාවය නමැති දුර්ලභ අර්ථය පූර්වාදර්ශීව සමාජයට ඉගැන්වීමටයි. පිංවත මේ උතුම් දුර්ලභ අර්ථය වන කෘතවේදීභාවය ගිහි සහ පැවිදි අපි, අපේ ජීවිතවලින් ඈත් කළොත්, උතුම් සම්මා සම්බුද්ධ ශාසනයත්, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝත්, උතුම් අධිගමයනුත් අපෙන් ඈතට යන බව අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕනේ. පිංවත කෘතවේදීභාවය මේ ලෝක ධාතුවේ හතරවෙනි දුර්ලභ අර්ථය වෙද්දී, පිංවත් ගිහි පිංවතුන්ලා තමන් රැකියාව කරන රජයේ වේවා, පෞද්ගලික වේවා රාජකාරී ආයතනවල තමන් ලබන්නා වූ වැටුපට අදාළව තම රාජකාරී ඉටු නොකරන්නේ නම්, තමන් ලබන්නා වූ වැටුපට කෘතවේදී නොවුණා වෙනවා. පිංවත අපේ පාර්ලිමේන්තුව ගන්නකෝ, වැය කරන මහා මුදල් සම්භාරය සමග ගනිද්දී, පෙරළා ඊට දක්වන කෘතවේදීභාවය දියවන්නාවේ ගිලී ගිහින් තිබෙන්නේ. පිංවත ලෝකයේ හතරවැනි දුර්ලභ අර්ථය වන කෘතවේදීභාවය නොතකා හැරීම නිසා ම, ආත්මාර්ථකාමීභාවය හිස එසවීමෙන්, අපි ජාති ණයකාරයෝ බවට පත්වෙමින් පවතිනවා. පිංවත ජාති ණයකාරයා තමන්ට රටෙන්, ජාතියෙන් උරුම සියලුම යහපත් ධර්මයෝ විකුණා දමන, උකස් තියන පුද්ගලයෙක් බවට පත්වෙනවා. පිංවත තමන් වහන්සේට සම්මා සම්බුද්ධත්වය අවබෝධකොට ගන්න සෙවණ, සිසිල දුන් ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ටත් සත් දවසක් කෘතවේදීභාවය දැක්වූ ලොවුතුරා බුදුරජාණන් වහන්සේ සරණ ගිය අපි, අපේ ජීවිතවලින් කෘතවේදීභාවය බැහැර කළොත් අපි උතුම් තෙරුවන්ට ම අකීකරු වුණා වෙනවා. අකුසලයෝ අකුසලය දිශාවටමයි අපිට පාර පෙන්වන්නේ. ඉහත අනතුරේ කරවටක් ගිලුණු සමාජයකයි අපි ජීවත් වෙන්නේ.

පිංවත මුලින් ම තමා තමාට කෘතවේදී වෙන්න. දුක කියන කාරණය තමා තුළින් දකින්න. දුකට එකම හේතුව තෘෂ්ණාව කියන කාරණය තමා තුළින් දකින්න. දුක නැති කිරීමට නම්, තෘෂ්ණාව නැතිකළ යුත්තේ තමා ම යැයි, නුවණින් දකින්න. දුක නැති කිරීමේ එකම මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයේ කොටසක් බවට පත්කොට ගන්න. පිංවත ඔබ, ඔබට කෘතවේදීවීමේ ආරම්භය ඔතැනයි තිබෙන්නේ. පිංවත ඔබ, ඔබට ආත්මාර්ථකාමී වෙන්න එපා. ඔබ, ඔබට ආත්මාර්ථකාමී වුණොත්, මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඔබේ ජීවිතයේ දුකට ම පාර කියන අසත්පුරුෂ මිත්‍රයා වෙනවා. පිංවත ඔබ උතුම් තෙරුවන් සරණට කෘතවේදී වුණොත් සත්පුරුෂ මිත්‍රයෝ වෙන මෛත්‍රිය, සීලය, සතිය, සමාධිය, ඥාන දර්ශන, විමුක්තිය ඔබව මගහැර යන්නේ නැහැ. පිංවත අපි අදක්‍ෂවෙලා තිබෙනවා නිවැරදි දෙය තෝරා ගන්න. පුංචි ලෞකික සැපයක් උදෙසා, අපි ලොකු ලෞකික සහ ලෝකෝත්තර සැපයන්ට පල නොකියා පළා බෙදනවා. පසුගිය දවසක අන්‍ය ආගමික ගැහැනු දරුවෙක් විවාහ කරගන්න, පිරිමි දරුවෙක් බෞද්ධකමෙන් ඉවත් වුණා. පුංචි සැපයක් උදෙසා, මහමෙරක්වන් මහා සැපයක් අහිමිකොට ගන්නවා. පිංවත මේ මුළු සම්මා සම්බුද්ධ ශාසනය ම කල්‍යාණමිත්‍ර ආශ්‍රය නමැති කෘතවේදී දුර්ලභ අර්ථයෙනුයි ශක්තිමත් වෙන්නේ. පිංවත අපි සෑම දෙනෙක් ම මේ දිවා රාත්‍රී වෙහෙසෙමින් පෝෂණය කරන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණයන් ම නේද? පිංවත අපේ සතිය සිහියට මොක ද වුණේ? පංච නීවරණයෝ අපේ සතිය, මිච්ඡා සතියක් බවට පත්කරලා. අපි දුකත්, දුකට හේතුව තෘෂ්ණාවත් අමතක කරලා, සිතේ විවේකයට, ඵස්සයේ සැප වේදනාවන්ට සහ උපේක්‍ෂා ධර්මයන්ට ආස්වාදයේ පාට, පාට ඇඳුම් අන්දවනවා.

පිංවත වර්තමානයේ රටට හිමිදිරි උදෑසන අවදිවෙලා ජනතා සේවයට කැපවුණ, හොර, බොරු නැති සත්පුරුෂ නායකයෙක් අවශ්‍යයි. එම නායකයාගේ පූර්වාදර්ශී චරිතය ඔස්සේ, පාසල් දරුවා දක්වා ගලායන කෘතවේදී මනුෂ්‍ය ධර්මයන්ගේ ආරම්භයක් අවශ්‍යයි. පිංවත පංච නීවරණයන්ට මල්මාලා පලඳවන, හොර, බොරුවලට පදක්කම් දෙන නායක පෙළැන්තියේ වැරදි පූර්වාදර්ශයෝ වර්තමානයේ පාසල් දරුවා දක්වා ආක්‍රමණයකොට තිබෙනවා. පිංවත තමන් උපන් මව්බිම විකුණාගෙන කන සමාජයක, අපි කෙසේ නම් පාසල් දරුවන්ට කෘතවේදීභාවය ගැන කියලා දෙන්න ද? පිංවත අපි සියල්ලෝ ම අවිද්‍යාවේ අසරණයෝ. අවිද්‍යාවෙන් උපදින අකුසල් සංස්කාරයන්ගේ පදයට, විඤ්ඤාණය හෙවත් දැනීම් අපිව නටවනවා. පිංවත ඔබට පෙනෙනවා ද සමාජය නටන නැටුම්? මහ පාරේ ජල විදුම් රථ මැද්දේ, පාර්ලිමේන්තුවේ ජනතා පරමාධිපත්‍යය මැද්දේ, සාදයේ, මඟුල් ගෙදර සංගීත හඬ මැද්දේ ඔය නටන්නේ අවිද්‍යාව ප්‍රසූත කරන අකුසල් සංස්කාරයන්ගේ ඕජාවෙන් යළි යළිත් තිරිහන්වෙන අකුසල් ධර්මයෝ පෙරළා අකුසලය ම, වඩත් කියන පටිච්චසමුප්පන්න නාට්‍යකරුවෝමයි. පිංවත් ඔබත්, භික්ෂුවත් තවමත් අවිද්‍යා මහ පාරේ අව්කාෂ්ඨකයේ ඈතට දිලිසෙන මිරිඟුවට රැවටී ඵස්සය ඉදිරියේ විඳීම් සොයන වීදි නාට්‍යකරුවෝමයි. පිංවත මහා ගංගාවෝ මහා සාගරය දිශාවට ම බර වී ගලනවා සේ, අකුසල් සංස්කාරයෝ අකුසලය දිශාවට ම, පංච නීවරණයෝ දිශාවට ම බරවෙලයි පටිච්චසමුප්පන්නව ජාති, ජරා, ව්‍යාධි, මරණ දිශාවට ගලාගෙන යන්නේ.

පිංවත යුද්ධයේ ඵලය විනාශයයි. උද්ඝෝෂණයේ, අරගලයේ, ප්‍රචණ්ඩත්වයේ ඵලය සැකය, වෛරය, පළිගැනීමමයි. පිංවත අපි අලුතින් හිතන්න පුහුණු වෙන්න ඕනේ. ඇයි අපි හිතන්නේ නැත්තේ මෛත්‍රියේ ඵලයන් ගැන? සත්පුරුෂ දෙවියන්, මනුෂ්‍යයන්, බ්‍රහ්මයන් හැමෝම අපිට ප්‍රිය වෙනවා මෛත්‍රියේ ශක්තියෙන්. ඇයි අපි සීලයේ ඵලයන් ගැන සිතන්නේ නැත්තේ? සීලයේ ආනිශංස ධර්මයෝ අපිව රටක්, ජාතියක් හැටියට අපිව ජනප්‍රියභාවයෙන් ඔසවා තබනවා. අපි අභියෝගයන්ට නොබියව මුහුණ දෙනවා. අපේ භවභෝග සම්පත් ආරක්‍ෂා වෙනවා. වර්තමානයේ අපි අනාරක්‍ෂිත ජාතියක්, අනාරක්‍ෂිත දේශපාලනයක්, අනාරක්‍ෂිත රාජ්‍ය සේවයක්, අනාරක්‍ෂිත අධ්‍යාපනයක්, සෞඛ්‍ය සේවයක්. පිංවත මේ සෑම ක්ෂේත්‍රයකින් ම ආරක්‍ෂිතභාවයට මුල්වෙන මෛත්‍රිය සහ සීලය පලා ගිහිල්ලා. පිංවත සියලු සංස්කාරයෝ අනිත්‍ය වුවත්, මෙය සටහන් තබන භික්ෂුවගේ ජීවිතය ආරක්‍ෂිතයි. ඒ නිසා ම මරණීය අනතුරක් ඉදිරියේ දී වුව ද, භික්ෂුවට බියක් නැහැ. අතීත සංස්කාරයන්ට ජීවිතය අතහැරලා, වර්තමානය තුළ භික්ෂුව සතර සතිපට්ඨාන ධර්මයන් තුළයි ජීවත් වෙන්නේ. පිංවත ලෝකයට දොස් කියන්න එපා. දුක සහ සැප ලෝකයේ අර්ථයයි. අපි දක්‍ෂවිය යුතුයි තෘෂ්ණාවේ කැත කුණු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පෙරහන්කඩින් පෙරා, දුක විනිවිද දකින, සැප විනිවිද දකින විදර්ශනා නුවණ මතුකොට ගන්න. පිංවත් දේශපාලන නායකයන් ජනතාව පීඩනයට පත්කරන සංස්කෘතියෙන් බැහැර වෙලා, පිංවත් ජනතාවත් ආවේගශීලී මනෝභාවයන්ගෙන් බැහැර වෙලා, කෘතවේදීභාවයෙන් පෝෂණයවූ මෛත්‍රිය, සීලයේ අර්ථයන් රාජ්‍ය ප්‍රතිපත්තියක් බවට පත්වුණ හෙට දවසක් ආත්මාර්ථකාමීභාවයෙන් හෙම්බත්වුණ මාතෘභූමිය බලාපොරොත්තු වෙනවා. කරුණාකර එම අහිංසක බලපොරොත්තුව වෙනුවෙන් ඔබ අප්‍රමාදී වෙන්න.

පිංවත ඔබගේ පාදයේ වේදනාකාරී තුවාලයක් තිබුණොත් එම තුවාලය පාදයේ ම තිබෙන්නට හරින්න. එම පාදයේ තුවාලය සිතට ගන්න එපා. තුවාලය දකිද්දී, තුවාලය ගැන ඇසෙද්දී, තුවාලය ගැන දැනෙද්දී, දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන නවතින්න. පිංවත ඔබ කකුලේ තිබෙන තුවාලය සිතට ගත්තොත්, තුවාලය හේතුවෙන් සකස්වෙන ඇලීම් සහ ගැටීම් වේදනාවෝ ඔබව පීඩාවට පත්කරාවි. පිංවත ඔබ උපන් මාතෘභූමිය ඉදිරියේ සකස්වෙන අතොරක් නැති ප්‍රශ්න හේතුවෙන්, එම ප්‍රශ්න දැක්කා, ඇසුණා, දැනුණා කියන තැන නම් නවතින්න එපා. ජාතික ප්‍රශ්න ඉදිරියේ ඇලීම් සහ ගැටීම්වලට නොයා, ධර්මයේ උපේක්‍ෂාවෙන් ප්‍රශ්න දෙස බලන්න. ප්‍රශ්න වලට විසඳුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළින් සොයන්න. ජාතික ප්‍රශ්න අකුසලය උදෙසා නොව, කමටහනක් බවට පත්කොට ගන්න. උපන් රටට ධර්මානුකූල යහපතත්, පිංවත් ඔබට ධර්මාවබෝධය උදෙසාමත් ජාතික ප්‍රශ්න යොමුකොට ගන්න.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

උපුටා ගැනීම – 2024 ජූලි 14 වන ඉරුදින දිවයින පුවත්පතින්.