සෝවාන් මාර්ග ඵලයට පත් වන විටත්, එසේ වීමෙන් පසුවත් සිත හැසිරෙන ආකාරය කියා දෙන්න යැයි බොහෝ දෙනා අපෙන් ඉල්ලන්නට විය. මේ ඒ පිළිබඳව කරන පැහැදිලි කිරීමයි. (නමුත් අපගේ වෙනත් ලිපි මෙන් මෙම ලිපිය සරළ ලිපියක් නොවන අතර, මෙම ලිපියේ ඇති කරුණු තේරුම් ගන්නට ස්ඛන්ධ, ධාතු, ආයතනාදිය ගැන යම් තරමක අවබෝධයක් තිබිය යුතු ය. අනිවාර්‍ය්‍යෙන්ම ලිපිය කියවන්න.)
චතුරාර්ය සත්‍යාවබෝධ ඤාණයෙන් කෙළෙසුන් නසා මගඵල උපදවා ගන්නට කැමති යෝගාවචරයෝ සප්ත විසුද්ධිය ඔස්සේ ඉදිරියට පැමිණිය යුතුය. ඒ සප්ත විසුද්ධිය වන්නේ:-
i. සීල විසුද්ධිය
ii. චිත්ත විසුද්ධිය
iii. දිට්ඨි විසුද්ධිය
iv. කංඛාවිතරණ විසුද්ධිය
v. මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය
vi. ප්‍රතිපදා ඤාණදස්සණ විසුද්ධිය.
vii. ඤාණ දස්සන විසුද්ධියයි.
මෙහි ප්‍රතිපදා ඥානවිසුද්ධියේදී විදර්ශනා ඤාණයන් පහළ වේ. ඒවා වන්නේ
i. උදයබ්බයානුපස්සනා ඤාණය – නාම රූප ධර්මයන්ගේ උප්පත්තියත් විනාසයත් දෙක දැනගන්නා නුවණ.
ii. භංගානුපස්සනා ඤාණය – නාම රූප ධර්මයන්ගේ භංගය දකිනා නුවණ.
iii. භයතුපට්ඨාන ඤාණය – සියලු සංස්කාර ධර්මයන් භය වශයෙන් වැටහෙන නුවණ.
iv. ආදිනවානුපස්සනා ඤාණය – සංස්කාර ධර්මයන්ගේ ආදීනව දැකීම් ලෙස ඇති වන්නා වූ නුවණ.
v. නිබ්බිදානුපස්සනා ඤාණය – සියලු සංස්කාර ධර්මයන් විෂයෙහි සිත් නො අලවන ස්වභාවය, කලකිරීම ස්වභාවය දකින නුවණ.
vi. මුඤ්චිතුකම්‍යතා ඤාණය – සියලු සංස්කාරයන්ගෙන් මිදෙනු කැමති නුවණ.
vii. පටිසංඛානුපස්සනා ඤාණය – සංස්කාර ධර්මයන් නැවත නැවතත් නුවණින් මෙනෙහි කරමින්, අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් නුවණින් පිරිසිඳ දක්නා නුවණ.
viii. සංඛාරුපෙක්ඛා ඤාණය – සියලු සංස්කාරයන්ගේ ශුන්‍යත්වය මෙනෙහි කිරීමෙන් එහි බිය වීම්, ඇලීම් නැතිව මැදහත් බව පහළ කරන නුවණ.
ix. සච්චානුලෝමික ඤාණය – මෙසේ උදයබ්බයානුපස්සනා ඥානය ආදී ඥාන අටටත් මාර්ග ඥානයටත් අනුලෝම ලෙස උපකාර ව සිටින නුවණ.
මින් පසුව සෝවාන් මාර්ග ඤාණය, සකදාගාමී මාර්ග ඤාණය, අනාගාමී මාර්ග ඤාණය සහ අර්හත් මාර්ග ඤාණය යන ඤාණදස්සන විසුද්ධිය ලැබේ.
අනුලෝම සිත් වලට පසුව පෘථජ්ජන ගෝත්‍රයෙන් එතෙර කරවමින් ගෝත්‍රභූ සිත ඉපිද නැතිව ගිය පසුව ඤාණදස්සන විසුද්ධිය ලෙස සෝතාපන්න මාර්ග චිත්තය, ආදී මාර්ග සිත් නිවන අරමුණු කොට සතර කෘත්‍යයන් සිදු කරමින් සතර ආර්ය්‍ය භාවයට පමුණුවමින් උපදී. එයට පසුව ඵල සිත් දෙකක් හෝ තුනක් ඇතිවී නැසූ කෙලෙස් විඩා සංසිඳුවමින් භවාංග ගෝත්‍රයට බසී.
ලෝකෝත්තර මාර්ග සිත් තිබෙන්නේ හතරකි. සසරේ සැරිසරන එක් පුද්ගල සන්තානයක මේ මාර්ග චිත්ත වීථි සතරක් හැර ඊට වඩා පහළ වන්නේ නැත. ඒවා වන්නේ
i. සෝවාන් මාර්ග වීථිය
ii. සකෘදාගාමී මාර්ග වීථිය
iii. අනාගාමී මාර්ග වීථිය
iv. අර්හත් මාර්ග වීථිය
ලෝකෝත්තර මාර්ගඵල උපදවා ගන්නා පුද්ගලයෝ දෙදෙනෙකු සිටී. ඒ දෙදෙනා වන්නේ
i. ශුෂ්ක විදර්ශක පුද්ගලයා
ii. සමථයානික පුද්ගලයා
මේ දෙදෙනාගෙන් ශුෂ්ක විදර්ශක පුද්ගලයෝ ධ්‍යාන නොලබා කෙලින්ම මාර්ගඵල උපදවා ගනී. ඒ ආර්‍ය්‍ය උතුමන්ට ලෝකෝත්තර සිත් අටෙන් එක මාර්ග සිතක් සහ එක් ඵල සිතක් ලැබේ.
එම ශුෂ්ක විදර්ශක පුද්ගලයන් දෙදෙනෙක් සිටී.
i. මන්ද ප්‍රාඥයා,
ii. තික්ඛ ප්‍රාඥ්ඥයා
මොවුන්ගෙන් “මන්ද ප්‍රාඥයා” කියන්නේ මද නුවණක් ඇති, වහා සිත එකඟ කර ගැනීමට ශක්තියක් නැති පුද්ගලයාටය.
“තික්ඛ ප්‍රාඥ්ඥයා” කියන්නේ තීක්ෂණ නුවණක් ඇති වහා සිත එකඟ ගැනීමට ශක්තිය ඇති පුද්ගලයාට ය.
සෝවාන් මාර්ග ඵලයට පත්විය හැක්කේ ත්‍රිහේතුක ඥාන සම්පයුත්ත උපතක් ලබා ඇති අයට පමණි. කාමාවචර ඥාන සම්පයුත්ත විපාක සිත් හතර හෝ රූපාවචර විපාක සිත් හතර හෝ ඇති ඒ අයගේ චිත්ත සන්තතියේ මාර්ග චිත්ත වීථිය ලැබෙන්නේ මේ ආකාරයටයි.
මන්ද ප්‍රාඥයාට පරිකර්ම, උපචාර, අනුලෝම, ගෝත්‍රභූ, මාර්ග සිත, සහ ඵල සිත් දෙක එකතු වීමෙන් ජවන් සිත් 7 සම්පූර්ණ වේ.
… න ද ම ප උ නු ගො මග්ග ඵ ඵ …
තික්ඛ ප්‍රාඥයා ට උපචාර, අනුලෝම, ගෝත්‍රභූ, මාර්ග සිත සහ ඵල සිත් තුනක් එකතු වීමෙන් ජවන් සිත් 7 සම්පූර්ණ වේ.
… න ද ම උ නු ගො මග්ග ඵ ඵ ඵ …
මාර්ග සිතට පසුව හටගන්නා මේ ඵල සිත් ඒකාන්තයෙන්ම නිවන අරමුණු කළත් කුසල් සංඛ්‍යාවට ගණන් ගන්නේ නැත. ආනන්තරික සමාධිය අකාලික විපාක යන නම්වලින් හඳුන්වනු ලබන මේ ඵල සිත් අව්‍යාකෘත ධර්ම වේ. මාර්ග සිතින් කෙලෙස් නැසූ පසුව ඒ චිත්ත සන්තානයෙහි කෙළෙස් සංසිඳීමේ ස්වභාවය ඇති කරවන නිසා මේ ඵල සිත් පටිප්පස්සද්ධි ප්‍රහාණයෙන් කෙලෙස් සංසිඳවන සිත් වේ.
ඒ තිබෙන ශරීරයෙන්ම නිවන් සැප විඳින නිසා ඒ ඵල සිත් වලට වඩා උතුම් සැප ගෙන දෙන සිතක් මේ තුන් ලෝකයේම නැත. මේ සෝවාන් ඵල සිත් දෙකක් හෝ තුනක් ඉපද නැතුව ගිය පසු, චිත්ත සන්තතිය නැවත භවංගයට බසී.
මේ චිත්ත වීථියට කලින් සහ පසුව හටගන්නා භවාංග සිත් පංචවෝකාර ත්‍රිහේතුක භවාංග සිත් නවයෙන් එකක්ම වේ. ඒ නවය වන්නේ කාම සෝභන සිත් වල, ඥාන සම්පයුත්ත මහා විපාක සිත් හතරත්, රූපාවචර විපාක සිත් පහත් යන විපාක සිත් නවය වේ.
සෝවාන් මාර්ග චිත්ත වීථිය අවසන් වූ පසුව, භවාංග සිත් පරම්පරාව නැවතත් හටගෙන එයට පසුව ප්‍රත්‍යවේක්ෂා ජවනයන්ගෙන් යුක්ත චිත්ත වීථි පහල වේ.
ධර්මයන් ගැන මනා අවබෝධයක් තිබෙන තික්ඛ ප්‍රාඥ ආර්ය්‍ය පුද්ගලයා කරුණු පහක් ප්‍රත්‍යවේක්ෂා කරයි. එහිදී පළමුව තමා උපදවා ගත් මාර්ගය පරීක්ෂා කරමින් එක් චිත්ත වීථියක් හටගනී.
භවංග චලන, භවංගු පච්ඡේද යන සිත් දෙක ඇතිව නැතුව ගිය පසු තමන් විසින් උපදවාගත් සෝවාන් මාර්ගයම අරමුණු කරගෙන, මනෝද්වාරාවජ්ජන සිත පහළවී, ඉන්පසුව කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසල් සිත් හතරින් එකක් සෝවාන් මාර්ගය අරමුණු කරමින්, ජවන් සිත් ලෙස හත් වරක් ඉපද නැතුව යයි. එයට පසුව සිත් පරම්පරාව නැවත භවාංග වේ. මේ චිත්ත වීථියට පෙර පසු හටගන්නා භවංගයෝ පංචවෝකාර ත්‍රිහේතුක භවාංග නවයෙන් එකක්ම වේ.
ඉන්පසුව නැවතත් සෝවාන් ඵලය ප්‍රත්‍යවේක්ෂා කරමින් චිත්ත වීථියක් පහළ වේ. එම චිත්ත වීථියේ ද භවංග චලන, භවංගු පච්ඡේද යන සිත් දෙක ඇතිව නැතිව ගිය පසු, සෝවාන් ඵලය අරමුණු කරමින් මනෝද්වාරාවජ්ජන සහ ජවන් සිත් හතක් ද මුලින් කී ලෙස ම පිළිවෙළින් ඇතිව නැතිව ගොස් භවාංගපතනය වේ.
තුන්වෙනියට හටගන්නා ප්‍රත්‍යවේක්ෂා ජවනයෝ තමන් ලත් මාර්ගයෙන් ප්‍රහීණ කරන ලද ක්ලේෂයන් අරමුණු කරමින් මේ මේ ක්ලේෂයන් මා විසින් නසන ලද්දේ යැයි ප්‍රත්‍යවේක්ෂා කරයි. එම චිත්ත වීථියේ ද භවංග චලනය, භවංගුපච්ඡේදය යන සිත් දෙකට පසුව, ප්‍රහීණ වූ කෙලෙස් අරමුණ කරමින්, මනෝද්වාරාවජ්ජන සිතක්ද, කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසල් සිත් සතරින් එකක් ජවන් වශයෙන් හත් වරක් ද ඇතිව නැතිව යෑමෙන් පසු නැවත භවාංග පතනය වේ.
සතරවැනියට ඉතිරි ක්ලේෂයන් අරමුණුු කරන චිත්ත වීථියක් හටගනී. එම චිත්ත වීථියේ ද භවංග චලනය, භවාංගුපච්ඡේදය, ඇති වී ඉන් පසුව තමන් විසින් ඉදිරි මාර්ගයන්ගෙන් නැසිය යුතු කෙලෙස් ප්‍රත්‍යවේක්ෂා කිරීම නම් වූ, ඉතිරි කෙළෙස් අරමුණ ගෙන, මනෝද්වාරාවජ්ජන කාමාවචර ඥාන සම්පයුත්ත මහා කුසල් සතරින් එකක් ජවන් ලෙස සත්වරක් ඇතිව නැතිව යයි. එයට පසුව චිත්ත සන්තතිය නැවත භවාංග වේ.
එහි අවසාන චිත්ත වීථිය වන පස් වන වීථියේ දී ද, මා විසින් නිර්වාණ ධර්මය අරමුණු කිරීම් වශයෙන් අවබෝධ කරන ලදී. ජාති, ජරා, මරණ ආදියෙන් පහ වූ අසංඛත ධර්මය ප්‍රත්‍යවේක්ෂා කරන්නේ ය. එම චිත්ත වීථියේද භවංග චලන, භවංගුපච්ඡේද, යන සිත් දෙක ඇතිව නැතිව ගිය පසු නිර්වාණය අරමුණු කරගෙන, මනෝද්වාරාවජ්ජන සිතක් සහ ඥාන සම්පයුත්ත කාමාවචර මහා කුසල් සිත් හතරින් එක සිතක් ජවන් ලෙස සත්වරක් ඇතිව නැතිව යයි.
මෙම ප්‍රත්‍යවේක්ෂා චිත්ත වීථිය
… න ද ම ජ ජ ජ ජ ජ ජ ජ භ භ …
මන්ද ප්‍රාඥ්ඥයන්ට ඇතැම් විටෙක ප්‍රහීණ කෙලෙස් සහ ඉතිරි කෙළෙස් ප්‍රත්‍යවේක්ෂා කරන චිත්තවීථි හටගන්නේ නැත. එවිට ඒ පුද්ගලයා හට ඇති වන්නේ මාර්ගය ඵලය සහ නිර්වාණය අරමුණු කරන ප්‍රත්‍යවේක්ෂා ජවන වීථි තුන පමණි.
තෙරුවන් සරණයි!
මෙයට මෙත් සිතින්
තපෝවනයේ රතන ස්ථවිර.