හාමුදුරුවන් කියනවා මේ ඔක්කොම අනිත්‍යයි කියලා. මෙහෙම හිතලා අපි කොහොමද ජිවත් වෙන්නෙ?

ධර්ම දේශනාවක්‌ අවසානයේදී පිංවත් තරුණයෙක්‌ ප්‍රශ්නයක්‌ විමසුවා. “හාමුදුරුවන් කියනවා මේ මේසයත් අනිත්‍යයි, මේ මල් පෝච්චියත් අනිත්‍යයි, මේ කෝප්පයත් අනිත්‍යයි, මමත් අනිත්‍යයි, ඔක්‌කොම අනිත්‍යයි…. මෙහෙම හිතලා අපි කොහොමද ජීවත්වෙන්නේ ” කියලා.

මේ මහත්තයා යම් කිසි ආවේගයකින් මේ ප්‍රශ්නය ඇසුවේ. ඒ මහත්තයා තුළ මේ උතුම් අනිත්‍ය ධර්මය කෙරෙහි යම් හාස්‍යයක්‌ ඇතිවෙලා තිබුණා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මම ඔබලාට කාමයන්ගේ රූපයන්ගේ ආදීනවයන් දේශනා කරන්නේ, කාමයන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්න කියලා. එසේ කියන්නේ පිංවත් ඔබ කාලා, බීලා, හොඳින් ජීවත්වෙනවාට ඇති අකමැත්ත නිසා නොවේ.

මේ කාමයන් අපිව දුකටමයි ඇද දමන්නේ. නිවන් මාර්ගයෙන් ඈතටමයි ඔබව රැගෙන යන්නේ. ඒ නිසාමයි බුදුරජාණන්වහන්සේ කාමයේ ආදීනවයන් ගැන ඒ තරම් දේශනා කරන්නේ.

බුදුරජාණන්වහන්සේ කොතැනදීවත් ගිහි පිංවතුන්ලාට දේශනා කරන්නේ නැහැ කාමයන්ගෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ජීවත්වෙන්න කියලා. ශිල්පද ආරක්‍ෂා කරගෙන කාමයන් ඇසුරු කරන්න කියලයි බුදුරජාණන්වහන්සේ ගිහි පිංවතුන්ට දේශනා කරන්නේ. බුදුරජාණන්වහන්සේ කොයිම වෙලාවකවත් සෝවාන් මාර්ගය තුළ සිටින ගිහි පිංවතුන්ලාට සීමාව ඉක්‌මවා ගියාවූ තහංචි පනවා නැහැ.

පිංවත් ඔබ හිතන්න. ඔබ ගිහි තරුණයෙක්‌. ඔබ සද්ධර්මය ශ්‍රවණය කරලා, සෝවාන් ඵලයට පත්වෙනවා. පිංවත් ඔබ සෝවාන් ඵලයට පත්වුණත්, ඔබ තුළ කාම රාග පටිඝයන් තිබෙනවා. ඔබ කැමතිනම් ඔබට ලබන සතියේ විවාහයකට යන්න පුළුවන්. සෝවාන් ඵලයට පත්වුණු ගිහි පිංවතා, පිංවතිය අවශ්‍ය නම් විවාහ වෙනවා. විවාහය කියන්නේ ශිල්පද බිඳීමක්‌ නොවේ. බලන්න බුදුරජාණන්වහන්සේ අනිත්‍ය කියන ධර්මය කොයිතරම් ප්‍රයෝගික තැනකට ගෙනත් තිබෙනවාද. ගිහි පිංවතුන්ලා උදෙසා මෙච්චර පැහැදිලි නිදහසක්‌ ඔබලාගේ ගිහි ජීවිතය උදෙසා ලබාදී තිබියදී, සමහර පිංවතුන් අන්තවාදීව අනිත්‍යය කියන වචනය විවේචනය කරනවා.