නාගවිමාන වස්තුව.
මේ මහා භද්‍රකල්පයෙහි අප ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් ලොව පහළ වී වදාළා වූ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් පිහිටවා එකල විසූ සැදැහැවත්හු යොදුනක් උසැති ස්වර්ණ චෛත්‍යයක් කරවූහ. ඒ චෛත්‍යයය පිරිවර සහිත කිකී රජතුමා හා නුවර වැස්සෝ ද, දනව් වැස්සෝ ද දිනපතා බොහෝ මල් ගෙන ගොස් පුදන්නාහ. එබැවින් මල් දුර්ලභ විය. එක් දවසක් උපාසකයෙක් මල් සොයනු පිණිස මාලාකාර වීථියේ ඇවිද එක් කහවණුවකට එක බැගිනි දු මල් සොයා ගත නොහී කහවණු අටක් ද රැගෙන මල් වත්තකට ගියේය. ඔහු එහි ගොස් “මේ කහවණු අටට මල් අටක් හෝ දෙව” යි කීය. “මල් සියල්ල නෙලා දී දැන් අවසන්ය.” යි මල්කරු කීය. උපාසක තෙමේ “මල් ඉතිරි වී ඇත්නම් මම සොයා ගන්නෙමි” යි කීය. “එසේ නම් උයනෙහි ඇවිද සොයා ගන්න” යයි මල්කරු කීය. උපාසක උයනට පිවිස ඇවිදිනුයේ බිම වැටී තිබූ මල් අටක් ලැබ ඒවා මල්කරු වෙත ගෙනැවිත් දක්වා ඔහුට කහවණු අට ගන්නට කීය. “මේ මල් ලැබී ඇත්තේ ඔබ පිනෙන් ය. ඒනිසා මේවාට මම මුදලක් නො ගනිමි” යි මල්කරු කීය.
“මම නොමිලයේ මල් ගෙන භාග්‍යවතුන් වහන්සේට නො පුදමි” යි කියා කහවණු අට ඔහු ඉදිරියේ තබා මල් ගෙන චෛත්‍ය කරා ගොස් පහන් සිතින් පිදුවේය. උපාසක ඒ පිනෙන් මරණින් මතු තව්තිසා දෙව්ලොව උපන, තුන්කෝටි සැටලක්ෂයක් අවුරුදු ආයුෂය ගෙවී ගිය පසු ඔහු චුතව නැවත එහිම උපන්නේ ය. මෙසේ නැවත නැවත දෙව්ලොවම උපන් ඔහු අප බුදුන් සමයෙහි ද එහිම විසුවේය.
දිනක් මුගලන් මහ තෙරුන් වහන්සේ දෙව්ලොව චාරිකාවෙහි හැසිරෙන සේක්. මහත් වූ ශ්වේතහස්තිරාජයකු පිට නැගී අප්සරා සමූහයා විසින් පිරිවරන ලදුව පුන්සඳ මෙන්, හිරුමෙන්, දිසාවන් ආලෝක කෙරෙමින් මහත් වූ දිව්‍යානුභාවයෙන් අහස් හි ගමන් කරන ඒ දෙවියා දැක ඔහු වෙත වැඩම කළහ. දෙව්පුත් තෙරුන් වහන්සේ දැක ඇතු පිටින් බැස උන්වහන්සේට වැඳ සිටියේ ය. එකල්හි තෙරුන් වහන්සේ ඔහු අමතා “තොප මේ මහා සම්පත්තිය ලදුයේ අතීතයෙහි කළ කිණම් කුශලයෙකින් දැ” යි විචාළ සේක. එකල්හි දෙව්පුත්
අට්ඨෙව මුත්ත පුප්ඵානි කස්සපස්ස මහෙසිනො,
ථූපස්මිං අභිරොපෙසිං පසන්නො සෙහි පාණිහි,
තෙන මෙ තාදිසො වණ්ණෝ තෙන මෙ ඉධ මිජ්ඣති
උප්පජ්ජන්ති ච මෙ භොගා යෙ කෙචි මනසො පියා.
“හිමියනි, මම අතීතයේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ස්තූපයට නටුවෙන් ගිලිහී වැටුණ මල් අටක් පහන් සිතින් සියතින් පිදුවෙමි. මාගේ කාන්තිමත් ශරීර වර්ණය ඒ පිනෙන් ඇතිවිය. මාගේ මේ දිව්‍ය සම්පත්තිය ඒ පිනෙන් ඇතිවූවකි. සිතට ප්‍රිය වූ අනල්ප දිව්‍ය භෝජනාදී වස්තුහු මට ඒ පිනෙන් පහළ වන්නාහ” යි කීය.
(විමානවත්ථු අටුවාවෙන්)
මෙකල මල් පුදනුවන් විසින් සිතට ගත යුතු වැදගත් කරුණක් ඉහත දැක්වූ කථාවෙහි ඇත්තේ ය. එනම් උපාසක තැන විසින් මල් නොමිලයේ නො ගැනීමය. පූජාව දානයටම අයත් පිනකි. දානය තේරුම් කර ඇත්තේ “අත්තුපකරණ පරිච්චාග චේතනාව” කියා ය. එනම් තමාට සම්පූර්ණයෙන් අයිතිය ඇති වස්තුවක් අනුග්‍රහ වශයෙන් හෝ පූජා වශයෙන් අනිකකුට පිරිනැමීම ය. මිලක් දෙන්නේ නැතිව නිකම්ම අනුන්ගෙන් දෙයක් ගෙන තවත් කෙනෙකුට දීම හෝ පිදීම වැදගත් දීමක් හෝ පිදීමක් නො වේ. වැදගත් වන්නේ තමා වෙහෙසී සපයා ගත්ත වූ හෝ මිලයට ගත්තා වූ හෝ දෙයක් දීම හා පිදීම ය. උපාසක තැන මල් නොමිලයේ නොගත්තෙ එසේ ගන්නා ලද්දක් පිදීමේ වැදගත් කමක් නැති බැවිනි. මෙකල බොහෝ දෙනා තමන් මහන්සි වී මල් සැපයීමක් හෝ මිලයට ගැනීමක් හෝ නොකොට අනුන් ගෙනෙන මල්වලින් ටිකක් ගෙන පුදන්නට බලාපොරොත්තු වෙති. එසේ කරන පූජාවල වැදගත් කමක් වටිනාකමක් නැති බව සැලකිය යුතුය.
පූජාවක් කිරීමට තමා අයත් දෙයක් තිබිය යුතුය. කෙනෙකුගේ දෙයක් තවත් කෙනෙකු විසින් පූජා නො කළ හැකි ය. පූජා කෙළේ ද එය පූජාවක් නො වේ. කෙනෙකු විසින් මල් පහන් ගිලන් පස ආදී පූජාද්‍රව්‍ය පිළියෙල කොට පූජාසනය මත තබා පූජා කිරීමට ගාථා කියන කල්හි තවත් බොහෝ දෙනා එකතුව පූජා කිරීමේ ගාථා කියති. එහෙත් ඔවුන් විසින් පූජා කරන ඔවුනට අයිති කිසිම වස්තුවක් එහි නැත. පූජා කරන වස්තුවක් නැතිව එසේ ගාථා කීම තේරුමක් නැති වැඩක් බව ද සැලකිය යුතුය. පූජා කිරීමේ තේරුම නො දත් බැවින් ඇතැම්හු අනුන් මල් ගෙනවුත් අසුන මත තබා පුදන කල්හි එකතු වී ගාථාව කියුවහොත් තමන් පූජාවක් කළා වෙතියි සිතති. මේ කරුණු තේරුම් ගෙන පින් සිදුවන සැටියට මල් පහන් ආදිය පුදත්වා.
සුළුගුළු උපාසක
සුළුගුළු උපාසක යනු සිංහල බෞද්ධයන් අතර ප්‍රසිද්ධ නමෙකි. ඒ නම ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ සුළුගුළු උපාසකතුමාට මලිය මහාදේව නම් වූ රහතන් වහන්සේගේ ආරාධනයෙන් පණ තිබියදී ම තව්තිසා දෙව් ලොවට යන්නට ලැබීම නිසා ය. දෙව්ලොවදී ඔහුට නානාප්‍රකාර සම්පත් ඇති බොහෝ දෙවියන් ඇසින් ම දැක ගත හැකි විය. උපාසක තුමා සිළුමිණි සෑය සමීපයෙහි සිටි කල්හි රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තශෛන්ධවයන් යෙදූ ප්‍රවාල රථයකින් එක් දෙවියෙක් එහි ආවේය. ඔහුට රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසුණු සුරංගනාවෝ රත් චාමර ගෙන පවන් සලති. එසේම සැරසුණු තවත් බොහෝ දෙව්ලියෝ ඔහු සතුටු කරවනු වස් ඔහු ඉදිරියේ සුමිහිරි ගී ගයති. තූර්යයන් වාදනය කෙරෙති. නටති. රක්තවර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී රක්තවර්ණ ඡත්‍රධ්වජපතාකාවන් ගෙන බොහෝ දෙවියෝ ඔහු පිරිවරා ගමන් කරති. එසේ මහත් වූ දේවානුභාවයෙන් මහත් වූ ඓශ්වර්යයෙන් හැසිරෙන ඒ දෙවියා දැක උපාසක තෙමේ “හිමියනි, මෙබඳු සම්පත්තියක් ඇතියකු මීට පෙර මා කිසි දිනක දැක නැත. මේ සම්පත්තිය මොහුට ලැබී ඇත්තේ කිනම් පිනකින්දැ” යි ඇසීය.
එකල්හි තෙරුන් වහන්සේ කියන්නාහු “උපාසකය, මොහු පෙර ජාතියේ චේතිය විහාරය සමීපයේ ගමක ගොපලු දරුවෙකි. ඔහු එක් දිනෙක අනික් ගොපලු දරුවන් හා ගවයන් ගෙන දැදුරු ඔය වෙත ගොස් ගව සමූහයට තණ කන්නට හැර තෙමේ වැලිතළාවක ක්‍රීඩා කරන්නේ වැලි එකතු කොට සෑයක් තනා රත්මල් වනයට පිවිස බොහෝ මල් නෙලා ගෙනවුත් එහි පුදා මල් නො වියළෙනු පිණිස පැන් ඉස හිරුරැස් වළකණු පිණිස අතු කඩා ගෙනවුත් ආවරණයක් කොට සිත පහදා ගෙන සවස ගවයන් ගෙන නිවසට ගියේය. අදින රාත්‍රියේ හට ගත්තාවූ ආබාධයකින් කළුරිය කළ ඔහු මෙහි උපන්නේය. මේ ඒ මල් පූජාවෙන් ඔහු ලද සම්පත්තිය ය” යි වදාළ සේක. එය අසා උපාසක තෙමේ මහත් සොම්නසට පැමිණියේය.
මල්, ජනයන්ගේ නෙත් සිත් පිනවන ශෝභාවක් හා සුගන්ධයක් ද ඇත්තාවූ ජනප්‍රිය දෙයකි. එය පිදීමේ පිනෙන් විශේෂයෙන් උපනුපන් ජාතිවලදී රූප ශෝභාව ඇති වේ. ස්වර්ණතිලකාවට පුරුෂයන් වශී වන, උමතු වන රූප ශෝභාවක් ඇති වූයේ මල් පූජාවෙනි. උපනුපන් තැන බොහෝ දෙනාට ප්‍රිය පුද්ගලයෙකු වීමට ද මල් පූජාව විශේෂයෙන් හේතු වේ.
එබැවින් ඔබත් පැහැදුන, එකඟ සිතින් නුවණ යොදා මල් පූජාවන් සිදුකර බොහෝ කුසලයන් රැස්කර ගන්න…
මල් මගින් සිදුකරන විවිධ පූජාවන්
වර්ණ සුවඳ මෘදුබව පිදෙන පුෂ්ප පූජාව
මල් පූජාව තුලින් වර්ණය සුවඳ මෘදු බව බුදුරජාණන් වහන්සේට සංඝයා වහන්සේලාට පූජා කරනු ලැබේ. සාමාන්‍යය ක්‍රමයට මල් පූජා කරනවාට වඩා හොඳින් සකසා පූජා කිරීම උතුම් වේ.
මල් මගින් වර්ණය පූජා කිරීම
නොයෙකුත් පැහැයන්ගෙන් මල්ගෙන විසිතුරු රටා ඇතිව ධර්ම චක්‍රය, චෛත්‍යය, කරඩුව ආදී විචිත්‍ර නිර්මාණයන් කර බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කල හැකිය. නොයෙකුත් පැහැ ඇති මල් වට්ටිවල දමා පිළිවෙළට සකසා වුවද පූජා කල හැකිය.
මල් මගින් සුවද පූජා කිරීම
ප්‍රසන්න සුවඳ ඇති පිච්ච රෝස වැටකේ ආදී මල් වාතය මගින් ඒවායේ සුවඳ බුදුරජාණන් වහන්සේ වෙත හමා යන පරිදි පූජා කල හැකිය.
මල් මගින් මෘදුබව පූජා කිරීම
භික්ෂුන් වහන්සේලා (සංඝරත්නය) වඩිනා මග පාවඩයක් සේ මෘදු බවින් උසස් මල් පෙති නෙළුම් මානෙල් ආදී මල් වර්ග පූජා කල යුතුය. බුද්ධරත්නය, සංඝරත්නය වඩා උත්තම බැවින් මල් මතින් වැඩම කිරීමට සුදුසු වන සේක. බුදුරජාණන් වහන්සේගේ මලසුන් සෝදා පිරිසිදු කර තෙත ඉවත් කර රෝස වැනි සිනිදු මල් වර්ග අතුරා මෘදු බව පූජා කල යුතුය.
මල් මගින් කිලිටි බව ඉවත් කර පිරිසිදු බව ලබාදීම
මල් අසුන් මත ඇති පරණ පරමල් ඉවත් කිරීමෙන් ද පණුවන් කෑ පෙති නැති, පැල්ලම් රහිත නැවුම් මල් පුජා කිරීම මගින් ද බුදුරජාණන් වහන්සේට පිරිසිදු බව පූජා කල යුතුය.
( උපුටා ගැනීමකි )