මාර්ගඵල උතුමන් හැර අන් සියල්ලො පෙලෙන්නාවූ මානසික ව්‍යාධිය…

කෑලි කපන අවිද්‍යා ඝන අඳුරේ, අතරමං වුණ මනුෂ්‍යයෝ, කලාමැදිරි එළියටත්, පසළොස්වක සඳ යැයි රැවටෙද්දී, ප‍්‍රඥාවේ ආලෝකයෙන්, ලෝකය දකින මනුෂ්‍යයෝ, පසළොස්වක සඳට, පසළොස්වක සඳ යැයි, නොකියා, කුමක් නම් කියන්නද පාට පාට, වෛවර්ණ මෝස්තර සිහින ලෝකවල අතරමංවුණ මනුෂ්‍යයෝ සුන්දර හිරු බැස යන මුහුදු වෙරළේ පිනුම් ගසද්දී, ප‍්‍රඥාවේ ආලෝකය මෝදුකොටගත්, නුවණැති මනුෂ්‍යයෝ, සයුරෙන් එතෙරවීමට ඔරු පාරු හැදීම හැර අන් කුමක් කරන්නද?

අපි හැමෝටම ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන ඉන්ද්‍රියයන් සමාන්තරව පිහිටා තිබුණත්, අපි මේ ඉන්ද්‍රියයන්ගෙන් ලෝකය ග‍්‍රහණය කොට ගන්නේ විවිධත්වයෙනි. වරක් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩසිටි ආරාමයේ, තැන් තැන්වල කණ්ඩායම් වශයෙන් වෙන්, වෙන්ව, සාකච්ඡා කරන ස්වාමින් වහන්සේ පෙන්වා දේශනා කරනවා අර බලන්න, ප‍්‍රඥාවට විදර්ශනාවට පි‍්‍රය කරන ස්වාමින් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට එකතුවී සිටිනවා. ඍධිමත්භාවයට කැමැති ස්වාමින් වහන්සේ මුගලන් මහෝත්තමයන්ට එකතුවී සිටිනවා. විනය හැදෑරීමට පි‍්‍රය කරන ස්වාමින් වහන්සේ උපාලි මහෝත්තමයන්ට එකතු වී සිටිනවා. ඒ වගේමයි අකීකරුභාවයට කැමැති, අසත්පුරුෂ භික්‍ෂූන් දේවදත්ත හාමුදුරුවන්ට එකතුවී සිටිනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සත්වයා ධාතු ධාතු වශයෙන් බැඳී යනවා කියලා. පටිච්චසමුප්පන්න අතීත සාංසාරික පුරුදු පුහුණු නිසාම, සංස්කාර පච්චයා, විඤ්ඤාණ කියන ධර්මතාවට අදාළව, ධාතු ධාතු වශයෙන් සත්වයා බැඳී යනවාය කියන ධර්මතාවට අදාළ සමාජය දෙස බැලීමේදී සමාජයේ ජීවත්වන සෑම මනුෂ්‍යයෙක්ම එකම ගොඩකට මා එකම මිම්මකින්, එකම ගුණයකින්, එකම හැසිරීම් රටාවකින්, එකම මනුෂ්‍යත්වයකින් මනින්න හෝ දකින්න අපිට බැහැ.

වර්තමානයේ ජනතාව අතර ප‍්‍රචලිතව ඇති මුහුණු පොත් දෙස බලන්න, සමහරක් පින්වතුන් යොමුවී සිටින්නේ ධර්ම වැඩසටහන්වලට, තවත් සමහරු සංගීත වැඩසටහන්වලට, තවත් සමහරු චිත‍්‍රපටවලට, අධ්‍යාපනයට, ලිංගිකත්වයට, කී‍්‍රඩාවලට, ඕපාදූප කතාවලට, ප‍්‍රවෘත්තිවලට එකිනෙකාට වෙනස් විවිධත්වයකින් යුතු බැඳීයාම්, පි‍්‍රයතාවන් මනුෂ්‍යයාට තිබෙනවා. මේ පුරුදු දෙමාපියන්ගෙන් ලැබුණු දේවල් නොවේ. සාංසාරිකව පටිච්චසමුප්පන්නව ගලාගෙන එන, මේ ධාතු විවිධත්වය නිසාමයි, බුදුරජාණන් වහන්සේ යහපත් පුරුදු ධර්මානුකූලව වර්ධනය කොටගැනීම උදෙසාත්, අයහපත් පුරුදු දුරුකර ගැනීම උදෙසා කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ඔස්සේ, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය පනවන්නේ. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ, තමා තුළින් දුක නැතිකොට ගැනීමේ මාර්ගය පැනවුවත්, බහුතරයක් බෞද්ධ පින්වතුන් කැමැති තමා තුළින් තමා දකින්න නොවේ, තමා තුළින් අනුන්ව දකින්නයි. තමා තුළින් තමාගේ හරි වැරැදි දැකීමට නොවේ. තමා තුළින් අනුන්ගේ හරි වැරැදි දැකීමටයි. මනුෂ්‍යයා තුළින් ඕපාදූප දෙඩීම සහ ඕපාදූප ඇසීම සමාජගත වෙන්නේ ඉහත වාතාවරණය තුළයි.

භික්‍ෂුවට යොමුකොට තිබූ ප‍්‍රශ්නය වූයේ, වර්තමාන සමාජයේ ඕපාදූප දෙඩීම සහ ඇසීමට ඇති පි‍්‍රයතාවයට ධර්මානුකූල හේතුව පහදා දෙන්න කියලයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, උතුම් සෝවාන් ඵලයට පත්නොවූ සෑම පින්වතෙක්ම, පින්වතියක්ම, කිනම් හෝ මානසික ව්‍යාධියකින් පෙළෙනවා කියලා. මෙම මානසික ව්‍යාධිය මානසික වෛද්‍ය මහත්මයෙක් මුණගැසී ප‍්‍රතිකාරගත යුතු මානසික ව්‍යාධියක් නොවේ, මෙම මානසික ව්‍යාධිය තෘෂ්ණාවේ තීව‍්‍රභාවය විසින් සකස් කොට දෙන සක්කායදිට්ටියේ මානසික ව්‍යාධියයි. මෙම මානසික ව්‍යාධියේ ප‍්‍රධානම රෝග ලක්‍ෂණ දෙකක් තිබෙනවා. එම රෝග ලක්‍ෂණ දෙක තමයි අධිමානය සහ හීනමානය. මෙම රෝග ලක්‍ෂණ දෙකටම මූල බීජය වන්නේ, පංචඋපාදානස්කන්ධය කෙරෙහි ඇතිකොටගත් තෘෂ්ණාවමයි.

බුදුරජාණන් වහන්සේ සංඝයා වන අපට වගේම, ගිහි පින්වතුන්ටද දේශනා කරන්නේ, සෑම මොහොතකම තමාට වඩා නුවණැති, දැනුමැති, ගුණයෙන්, වැඩිහිටි කෙනෙක් සමග ඇසුරු කරන්න කියලා. තමන්ට වඩා ගුණයෙන් වැඩිහිටි කෙනෙක් සොයා ගැනීමට නොහැකි නම්, තමා හා සම ගුණයන්ගෙන් යුත් පින්වතෙක්, ඇසුරු කරන්න කියලා. තමා හා සම ගුණයෙන් යුත් පින්වතෙක්, පින්වත් ඔබට ඇසුරු කිරීමට නැති නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තනිවම, ජීවත් වෙන්නය කියලා. මෙය සටහන් තබන භික්‍ෂුවට නම් සිතෙන්නේ, වර්තමාන සමාජයේ ධාතු විවිධත්වයේ ඇති විකෘතීන් නිසාම, තනිවම ජීවත්වන එක, හුඟාක්ම ආරක්‍ෂාකාරිය කියල.

මෙතැනදී ආරක්‍ෂාකාරී යැයි සඳහන් කළේ, ආර්යඅෂ්ටාංගික මාර්ගය නිවැරැදිව ජීවිතයට එකතුකර ගැනීමේ ආරක්‍ෂාවයි. පින්වත් ඔබ සමාජයට චෝදනා නොකර, සමාජගතවී ඇති ව්‍යසනයන්ගේ, ධර්මානුකූල රුව ගුණ දැකලා ආර්ය මාර්ගය නිවැරැදිව පුහුණු කරමින්, තනිවම ජීවත්වීමට උත්සාහ කරන පින්වතෙක් නම්, එයත් ධාතු විවිධත්වයේ තවත් එක ගුණාත්මක, අර්ථයක්ම වෙනවා. බුදුරජාණන් වහන්සේ, තෘෂ්ණාවෙන් මනුෂ්‍ය සමාජය, කරවටක් ගිලී යනවා දැකලාමයි ඒ හේතුවෙන් සකස්වන, විකෘති ධාතු විවිධත්වයන් දැකලාමයි, කණ්ඩායමෙන් හුදකලාව ජීවත්වීමට කැමැති, උපසම්පදා භික්‍ෂූන් වහන්සේටත්, තනිවම පොහොය කරන්නට, තනිවම වස් ශීලය අධිෂ්ටානය කරන්නට, තනිවම වස් පවාරණය කිරීමට, අවශ්‍ය විනය කාරණා, මීට වසර දෙදහස් හයසියයකට පෙරාතුව පනවන්න ඇත්තේ.

මෙම ලිපිය සටහන් තබන අද අගෝස්තු මාසයේ, විසිහය වැනි ඉරිදා දිනය, වස්සාන ඍතුවේ, පණ්ණරසි පොහොය දිනය අද භික්‍ෂුව තනිවම අධිෂ්ටාන පොහොය කිරීම සිදුකළා ඒකවිහාරව තම භික්‍ෂු ජීවිතය ගතකිරීමට කැමති උපසම්පදා භික්‍ෂූන් වහන්සේට, බුදුරජාණන් වහන්සේ ලබාදුන් සුන්දර නිදහස්, විනය කාරණයක අර්ථය, භික්‍ෂුව අද දිනයේ ලැබුවා. නමුත් මේ නිදහස ලැබෙන්නේ, උපසම්පදාවෙන් වස් පහක් ඉක්මගිය උපසම්පදා භික්‍ෂුවකට පමණක්ය කියන කාරණය, විනයානුකූලව මතක්කරනවා. ඒ වගේමයි ශීලයේ දුර්වලභාවයන් ඇතිකොටගන්නා, උපසම්පදා ස්වාමින් වහන්සේ තනිව අධිෂ්ටාන පොහොය සිදුකිරීමද, අනතුරුදායක වෙනවා. උපාධ්‍යායන් වහන්සේගේ අවවාද මතයි, එවැනි ස්වාමින් වහන්සේ කටයුතු කළ යුත්තේ.

වස් තුන්මාසයෙන් හරියටම මාසයක් ගෙවී ගියා, වස් තුන්මාසයේදී, උපසම්පදා ස්වාමින් වහන්සේ ලබන විවේකී මනෝභාවය, හරිම නිස්කලංකයි. උදෑසන පිණ්ඩපාත මඩුවේදී දානය පූජා කරන්න පැමිණෙන පින්වතුන්ගේ, උද්‍යෝගය, සහභාගිත්වය, බොහෝම ගෞරවනීයයි. මේ සියල්ල එකතුවුණ තැන, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය තවමත්, බොහොම ප‍්‍රනීතයි. සම්මුති ලෝකයෙන් ඈත්වෙලා සම්මුති ලෝකය කෙරෙහි තෘෂ්ණාවෙන් බැහැරවෙලා, තමාගේ ආධ්‍යාත්මික රූපය ඇසුරෙන් සකස්වන, පංචඋපාදානස්කන්ධ ලෝකය දෙස සිහිනුවණුන් දකිමින් සිටියදී සිත තුළ වැඩෙන විදර්ශනාමය ධම්ම විජය බොජ්ඣංග ධර්ම හරිම ප‍්‍රනීත ධර්මතාවක් උදේ වරුවේ පිණ්ඩපාත වැළඳුවාට පස්සේ, හෙට උදෑසන දක්වා අපව ජීවත් කරවන්නේ එම විදර්ශනාමය ධම්මවිජය බොජ්ඣංගයේ ප‍්‍රතිභාවයයි. ඒ උතුම් විදර්ශනාමය ධම්මවිජය බොජ්ඣංගයේ ප‍්‍රනීතභාවය, වීර්යයෙන්, ප‍්‍රීතියෙන්, පස්සද්ධියෙන්, උපේක්‍ෂාවෙන් තව තවත් රසවත් කරනවා. හෙටක් ගැන සිතෙන්නෙ නැහැ.

වර්තමානය ධර්මයේ උපේක්‍ෂාවෙන් පිරිලයි තිබෙන්නේ. සංස්කාරයටම අදාළවයි ලෝකය පෙනෙන්නේ. සැබෑම සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථය, මොනතරම් නම්, අවිවේකී ද ඝෝෂාව, වගකීම්, කාර්යබහුලත්වය, තනතුරු, වරප‍්‍රසාද, උත්සව, පින්කම්, මේ සියල්ලක්ම වර්තමානයේ සම්මා සම්බුද්ධ ශාසනයේම කොටසක් වුණත්, මේ මොහොතේ කටුමැටි ගැසූ මේ කුටියේ වැඩසිටිමින් භික්ෂුව ලබන තෘෂ්ණාවේ නිදහස, සම්මුති ලෝකයේ දැක්මත් සමග කෙසේ නම් ගලපන්නද භික්ෂුව පින්වත් ඔබට ඉහත අර්ථයන් සටහන් තබන්නේ පින්වත් ඔබ ඉන්නේ කොතැනද මම ඉන්නේ කොතැනද කියලා පෙන්වන්න නොවේ. තෙරුවන් කෙරෙහි ශ‍්‍රද්ධාවෙන් උතුම් පැවිදිභාවයට පත්වෙලා ශාසනික වගකීම් අතර සිරවී සිටින, උතුම් පැවිදි ජීවිතවලට මෙවැනි ශාසනික අර්ථයකුත් තිබෙනවාය කියන කාරණය කරුණාවෙන් සිහිගැන්වීම උදෙසාමයි.

දැන් වේලාව, සවස හතර හමාරට විතර ඇති, මිදුල ඇමදලා කුටිය අතුපතුගාලා ලන්තෑරුම සුද්ද කරලා වතුර කේතලයට ගින්දර දමලා අඩි තුනක් පමණ ගැඹුරැති ගල් ළිඳෙන් පැන්පහසුවෙලා පින්වත් ඔබට මේ සටහන ලියන්නේ. ලා අඳුර පැතිරීගෙන එන, පරිසරය හරිම නිහඬයි නිහඬ පරිසරය තුළ ස්වභාවයෙන්ම ගුප්තභාවයක් තිබෙනවා. පරිසරය ගුප්තභාවයෙන් යුක්ත වුණත්, අප තුළ වැඩෙන්නාවූ සප්තබොජ්ඣංග ධර්මයන් නිසා කැලයේ නිහඬ ගුප්තභාවයත්, ආලෝකවත් නිහඬභාවයක් බවට පත්කොට දෙනවා. පංචනීවරණ යටපත් වූ සිතක් තුළ ගුප්තභාවයක් කෙසේ තිබෙන්නද,.සතර මහා ධාතුවේ අනිත්‍යභාවය පිළිබඳ සුන්දර කමටහන් ගොන්නක අත්දැකීම් පමණක්මයි ඉතිරි වෙන්නේ. පරිසරයේ නිහඬභාවයට, සිතේ නිහඬභාවයත්, එකතුවන තැන, ගලාගෙන එන සිතුවිලි පින්වත් පාඨක ඔබේ සිතත්, මොහොතක් හෝ සැනසිල්ලට පත්කරන සිතුවිලිමයි. සමාජයේ පවතින සම්මතයන්ට, නිහඬව, කීකරුභාවයෙන් යුතුව අභියෝගකොට, අසම්මතය කුණු කූඩයට දැමූ, භික්ෂුවගේ රැඩිකල් භික්‍ෂු ජීවිතයට, තව කොපමණ ආයුෂ තිබේද කියන ප‍්‍රශ්නය ඉදිරියේ, භික්ෂුව තබන්නේ ප‍්‍රශ්නාර්ථයක් පමණක්මයි.

මංමුළා වූ ලෝකයාට, පාර කියන්නට යනකොට, හදිස්සියකදී දුවන්න, පාරකුත් සූදානම් කොටගත යුතු, තෘෂ්ණාවේ කරවටක් ගිලූණු සමාජයකයි, අපි අද ජීවත් වෙන්නේ. සියල්ලේම තීරකයා සංස්කාරම වෙන ලෝකයක, අතීත පටිච්චසමුප්පන්න සංස්කාරයන්ට, අතහැර දැමූ භික්ෂු ජීවිතයක අනාගත බලාපොරොත්තු නැති වර්තමානයක්, පමණක් භික්‍ෂුව තුළ ඉතිරිවී තිබෙනවා. ඒ බලාපොරොත්තුවලින් හිස්වූ වර්තමානය තුළ සිටිමින්, භික්ෂුව පින්වත් ඔබට දිගුකරන්නේ, සම්මා සම්බුද්ධ ශාසනයේ අතු, කොළ, දලූ, රිකිලි, නොවේ මේ ඔබට කරුණාවෙන් දිගුකරන්නේ සද්ධර්මයේ සැබෑම අරටුවයි. භික්ෂුවට අවශ්‍ය පින්වත් ඔබව, ආශ්වාදයෙන් මත්කොට තැබීම නොවේ.

ප‍්‍රඥාවෙන් ඔබව අවදි කිරීමයි. මේ යන ගමනේදී පින්වත් ඔබට පුළුවන් සත්පුරුෂභාවයෙන් හෝ අසත්පුරුෂභාවයෙන් භික්ෂුව තල්ලූකොට දමන්නට. එතැනින් භික්‍ෂුව වර්තමානය තුළ නැවතිලාමයි සිටින්නේ. කල්ප ගණනාවක් පටිච්චසමුප්පන්නව අනුන් නිසා සංසාරයේ භවයෙන් භවය දුවන ජීවිත අපි මේ ජීවිතයේදී අම්මාගේ උණුසුම කෙරෙහි මවු කිරි කෙරෙහි සෙල්ලම්බඩු වලින් ආරම්භ කළ තෘෂ්ණාවේ දිවිල්ල, තුළින් ලැබූ ජය, පරාජයත්, සැප දුක් වේදනාවන් සියල්ලක්ම අනිත්‍ය වී ගියා නම් තවත් දුවලා තේරුමක් නැහැ. පින්වත් ඔබ මේ දුවන්නේ කුමක් දිනන්නද, කුමක් ලබන්නද, මේ වස්සානයේ නිහඬ පරිසරය, පින්වත් ඔබට ආරාධනා කරනවා, මේ ගැන සිතන්නය කියලා. වස් කාලය වේගයෙන් ගෙවී යනවා, ඒ කියන්නේ අපේ ආයුෂත්, වේගයෙන් ගෙවී යනවා සංස්කාරයන්ගේ කුරිරු ස්වභාවය, සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය, සංස්කාරයන්ගේ බියකරු ස්වභාවය, ධර්මානුකූලව ජීවිතයට එකතුකොට නොගත් ගෞරවනීය පින්වතුන්, භික්ෂුවට කියනවා කල්පයක් ආයුෂ වැඩසිටින්නය කියලා. සද්භාවයෙන් කරන ඒ ප‍්‍රාර්ථනය, තුළ මෝහයේ ආශ්වාදය සැගවිලා තිබෙනවා. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් කිසිම මනුෂ්‍යයෙකුට, දෙවියෙකුට, මාරයෙකුට ජීවිතක්‍ෂයට පත් කරන්න බැහැ. එය දසපාරමී ධර්මයන්ගේ ශක්තියෙන් ලැබූ බුදුරජාණන් වහන්සේට පමණක් සතු බලයක්.

එවැනි උත්තමයකුට පමණයි කල්පයක් ආයුෂ වැඩිසිටීවා කියන අර්ථය අර්ථවත් වෙන්නේ. මෙලොවට බිහිවුණ දිනයේ පටන්ම, සංස්කාරයන්ගේ අනිත්‍ය, දුක්ඛ, අනාත්මභාවය අත්දැකීමෙන්ම හඳුනන භික්ෂුව, අසත්පුරුෂ පින්වතුන්ගේ මතුපිටින් පෙනෙන, සුදු පැහැය, යට සැගවුණු පැහැය, අත්දැකීම් තුළින්ම හොඳින් හඳුනනවා. මේ විෂමතාවන් කාගේවත් වැරදි නොවේ, පටිච්චසමුප්පන්නව භික්ෂුව විසින්ම සිදු කොටගත්තාවූ අතීත අකුසල් සංස්කාරයන්ගේ ප‍්‍රතිබිම්බයයි. ලෝකය විෂම වුවද, පින්වත් ඔබ ලෝකය සතුටින් පිළිගන්න. ඔබ ඔය ලබන්නේ ඔබම වැපිරූ ගොයමේ අස්වැන්නය.

සමාජයේ පුරුද්දක් බවට පත්වීගෙන යන ඕපදූප කතාකිරීම ගැන සටහන් තබන්න ගිහිල්ල, සංස්කාරයන්ගේ රුදුරුභාවය ගැනයි අවසානයේ සටහන් වූයේ. පින්වත් ඔබ ඒ ගැන සිතන්න එපා. ඕපාදූප කතාකරනවා කියන්නේත් සංස්කාර රැස්කොට ගැනීමක්ම වෙනවා. ඒ කියන්නේ ඕපාදූපත්, සංස්කාරත්, හේතුඵල ධර්මයක්ම වෙනවා.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වචී සංස්කාර වශයෙන් දේශනා කොට තිබෙන්නේ විතක්ක, විචාර කියන අර්ථයන් දෙකයි. වචී සංස්කාර කියලා කියන්නේ වචනයක් ප‍්‍රකාශ කිරීමට පෙරාතුව ඵස්සය තෘෂ්ණාවෙන් තෙත් කිරීමේ මූල බීජමය අවස්ථාවයි. ඵස්සය හේතුවෙන් ඇතිකොට ගන්නාවූ විතර්කය, තමන්ගේ තෘෂ්ණාවට අදාළව පෝෂණය කිරීම විචාරය වෙනවා.

මේ විතක්ක විචාර දෙක තාවකාලිකව නිරෝධය වෙන සුන්දර අවස්ථාවක් ධර්මයේ සඳහන් වෙනවා. එම සුන්දර අවස්ථාව තමයි, සමාධි භාවනාවේදී ඒ කියන්නේ ආනාපානසති භාවනාවේදී, සකස්කොට ගන්නාවූ විතර්ක විචාරයන්ගෙන් තොර පී‍්‍රතිය සහිත දෙවැනි ධ්‍යාන ඵලය, සහ මින් ඉදිරියට ඇති ධ්‍යානඵලයන් පළමුවැනි ධ්‍යානඵලයේදීත් උදරය තුළ අරමුණු වෙන සියුම් සුළං රැල්ල සංසිඳී නොමැති හෙයින් පළමුවැනි ධ්‍යාන ඵලයේදී ද එම යෝගාවචර පින්වතා, විතර්ක විචාර පී‍්‍රතිය සහිතවයි පළමුවැනි ධ්‍යානඵලය තුළ ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ආනාපානසති භාවනාවේදී පළමුවැනි ධ්‍යානය තුළත්, විතර්ක විචාර සහිතවයි එම පින්වතා සිටින්නේ. පළමුවැනි ධ්‍යාන ඵලයේදීත් විතර්ක විචාර සහිත නම්, කාමච්ඡුන්දයන් තුළ ජීවත්වන පින්වතුන්ගේ සිතීම සහ කතාකිරීම, නතර කිරීම කරන්න පුළුවන් දෙයක් නොවේ. ඒ නිසාමයි, බුදුරජාණන් වහන්සේ, වචනය සංවර කර ගැනීමට අදාළව, තීරණාත්මක මාර්ග අංගයක් වන සම්මා වාචාවත්, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ, තුන්වැනි අංගය හැටියට පනවන්නේ සම්මා වාචා කියලා කියන්නේ මුසාවාදා, පිසුනාවාචා, පරුෂාවාචා, සම්පප්ප‍්‍රලාපයන්ගෙන් වැළකී ජීවත්වීම සමාජගතවී ඇති ඕපාදූප කතාකිරීම සහ ඕපාදූප ඇසීම කියන කාරණය තුළ ඉහත සම්මා වාචාවන්ට අයත් අර්ථයන් හතරම ඔබ අතින් සම්පූර්ණයෙන්ම දුර්වල වෙන්න පුළුවන්.

පින්වත් ඔබ තවමත් උතුම් සෝවාන්ඵල අවබෝධයට පත් නොවූ නිසාම ඇතිවන ඖෂධ නොමැති මානසික ව්‍යාධිය හේතුවෙන් සකස්වන අධිමානය සහ හීනමානය නිසා කතාකරන සෑම ඕපාදූප කතාවක් හේතුවෙන්ම සම්මා වාචාවන් දුර්වල වෙනවා. සම්මා වාචාවන් දුර්වල වෙන්නේ සම්මා සංකප්ප දුර්වල නිසයි. ඕපාදූප සොයන ඕපාදූප කතාකරන ඕනෑම පින්වතකුට, ක්‍ෂණිකව කේන්ති යනවා, විවේචනය, පළිගැනීම, නපුරුකම, ජීවිතය තුළ තිබෙනවා. අනුනට හිංසාකාර වෙනවා. ඒ කියන්නේ සම්මා සංකප්ප දුර්වලයි, මේවා ධර්මයේ සුන්දර හේතුඵල ධර්මයන්, සම්මා සංකප්ප දුර්වල වෙන්නේ ඇයි, එකම ධර්මානුකූල හේතුව සම්මා දිට්ඨිය දුර්වලයි. තවම බුදුරජාණන් වහන්සේගේ වචනයට කීකරු නැහැ, ආර්ය අෂ්ටාංගික මාර්ගයට ගරු කරන්නේ නැහැ කර්ම කර්මඵල විශ්වාසය, තවම ඇතිවී නැහැ. මිච්ඡා වාචාවන්ගේ, ආදීනවය දකින්න දැනුමක් නැහැ. දුරකථනය කනේ තියාගෙන, දුරකථන බිල් ගෙවමින් සල්ලි දීලා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරට යනවා. පි‍්‍රයසාදයේදී, අවන්හලේදී, මඟුල් ගෙදරදී, මරණගෙදරදී, කාර්යාලයේදී, නිවසේදී රස කරමින් ඕපාදූප කතා කිරීමෙන්, ඕපාදූප ඇසීමෙන් සමස්ත ආර්යඅෂ්ටාංගික මාර්ගයම අපෙන් ඈත්කොට ගන්නවා.

පින්වත් ඔබ ඕපාදූප නමැති මිච්ඡා වාචාවන්ගේ ආශ්වාදයට යටවීමට පෙරාතුව මේවායේ ආදීනවය නුවණින් දකින්න, පින්වත් ඔබේ විනෝදාංශය බවට පින්වත් ඔබේ විවේකයේ ආශ්වාදය හැටියට පින්වත් ඔබේ පුරුද්දක් බවට පින්වත් ඔබේ රාජකාරියක් බවට ඕපාදූප කතාකිරීම සහ ඇසීමට ඔබ යොමු වුණොත් ඔබේ විනෝදාංශය බවට පත්වෙන්නේ මිච්ඡා වාචාවන් තුළින් අකුසල් රැස්කොට ගැනීමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරවීමයි. ඒ නිසාමයි, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට දේශනා කරන්නේ කතාකරනවා නම් ශ‍්‍රද්ධාව, ශීලය, දානය, මෛති‍්‍රය ආදී ධර්මයක්ම කතාකරන්න එසේ නොමැතිනම් නිහඬව සිටින්න කියලා. ධර්මයේ සඳහන් වෙනවා සුන්දර නිහඬභාවයක්.

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.