භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අරහං ගුණයේ මහිමත්වය.

“බුද්ධොපි බුද්ධස්ස භණෙය්‍ය වණ්ණං
කප්පම්පි චෙ අඤ්ඤමහාසමානෝ
ඛීයේථ කප්පෝ චිරදිඝමන්තරේ
වණ්ණෝ න ඛීයේථ තථාගතස්ස”

යනුවෙන් බුදුන් වහන්සේ විසින් අනිකක් නො වදාරමින් කල්පය මුළුල්ලෙහි රෑ දවල් දෙකෙහි නො නවත්වා බුදුගුණම වදාළේ ද දීර්ඝ කාලයකින් කල්පය ගෙවීයන නමුත් බුදුගුණ කිම අවසන් නොවන බව දක්වා තිබේ. අනන්ත වු බුද්ධ ගුණස්කන්ධයෙහි සාමාන්‍ය ජනයාට දත හැකි බුදුගුණ ඇත්තේ ස්වල්පයකි. එබැවින් සාමාන්‍ය ජනයාගෙන් බුදුගුණ දන්නවුන් දන්නේ ද ඒවායන් ඉතා ස්වල්පයකි.

සකළ ලෞකික මහජනයාගේ ම බුදුගුණ දැනීමට වඩාත් මහත් වු බුදුගුණ එක් සෝවාන් පුද්ගලයකුට ඇතය යි ද, සෝවාන් පුද්ගලයන් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් සකෘදාගාමී පුද්ගලයකුට ඇතය යි ද, සකෘදාගාමී සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අනාගාමී පුද්ගලයකුට ඇතය යි ද, අනාගාමින් සියයකට දහසකට ඇති බුදුගුණ දැනුමට මහත් දැනුමක් එක් අර්හත් පුද්ගලයකුට ඇතය යි ද, සාමාන්‍ය රහතන්ගේ බුදුගුණ දැනුමට මහත් දැනුමක් අසූමහා ශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, අසූමහා ශ්‍රාවකයන් වහන්සේලා අතරින් ද මහා කාශ්‍යප අනුරුද්ධ මහා කච්චානා මහා කොට්ඨිත යන මහා තෙරුන් වහන්සේලාට බුදුගුණ පිළිබඳ අතිරේක දැනුමක් ඇතය යි ද, ඒ සතර මහාතෙරුන් වහන්සේලාගේ දැනුමට වඩා වැඩි දැනුමක් අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට ඇතය යි ද, උන්වහන්සේලා අතරින් ද සැරියුත් මහා තෙරුන් වහන්සේට මහත් වූ බුදුගුණ දැනුමක් ඇතය යි ද, සැරියුත් මහා තෙරුන් වහන්සේට වඩා වැඩි බුදුගුණ දැනුමක් පසේ බුදුන්වහන්සේ කෙනෙකුට ඇතය යි ද, ඉදින් සක්වල පුරා සිවූරු කොණින් සිවුරු කොණ ගැටෙන සේ පසේ බුදුවරයන් වැඩ හිඳ බුදුගුණ සිතන අවස්ථාවක් වී නම් ඒ අවස්ථාවෙහි සක්වළ පුරා වැඩ ඉන්නා සියලූ පසේ බුදුවරුන්ගේ බුද්ධගුණඥාණයට මහත් වු බුද්ධගුණඥාණයක් එක් ලොවූතුරා බුදුකෙනෙකුට ඇතැය යි ද සම්පසාදනීය සුත්‍ර අටුවාවෙහි* දක්වා ඇත්තේ ය.

තෙරුවන් සරණයි
සුවපත් වෙත්වා.