සාමාන්‍යයෙන් ලෝකයේ සුවඳ හමන්නේ සුළං හමන දිශාවටමයි. නමුත් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ සුළං හමන දිශාවටත් ප්‍රතිවිරුද්ධ දිශාවටත් හමනවා. මේ ගැන එදා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේයි.
අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට පසෙකින් වැඩ සිටියා. ඉන්පසු ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.
ස්වාමීනී, සුවඳ උපදවන දේවල් තුනක් තියෙනවා. ඒවායේ සුවඳ හමාගෙන යන්නේ වාතය හමා යන දිශාවටමයි. එයට ප්‍රතිවිරුද්ධ දිශාවට නොවේ.
ඒ තුන මොනවාද? මුල්වලින් හමන්නා වූ සුවඳ, අරටුවෙන් හමන්නා වූ සුවඳ හා මල්වලින් හමන්නා වූ සුවඳයි. ස්වාමීනී, යම් සුවඳක් සුළඟ හමායන දිශාවටම හමාගෙන යයි නම්, ප්‍රතිවිරුද්ධ දිශාවට හමා නොයයි නම් ඒ සුවඳ උපදවන දේවල් තුන මෙයයි.
ස්වාමීනී, යමක සුවඳ සුළඟ හමන දිශාවටත් හමායනවා නම්, ප්‍රතිවිරුද්ධ දිශාවටත් සුවඳ හමායනවා නම්, අනුවාත පටිවාත යන දිශාවන්ට සුවඳ හමා යනවා නම්, එබඳු වූ යම්කිසි සුවඳ උපදවන දෙයක් තියෙනවාද?”
“පින්වත් ආනන්ද, යමක සුවඳ සුළඟ හමන දිශාවටත් හමායනවා නම්, ප්‍රතිවිරුද්ධ දිශාවටත් සුවඳ හමායනවා නම්, අනුවාත පටිවාත යන දිශාවන්ට සුවඳ හමා යනවා නම්, එබඳු වූ යම්කිසි සුවඳ උපදවන දෙයක් තියෙනවා.”
“ස්වාමීනී, යමක සුවඳ සුළඟ හමන දිශාවටත් හමායනවා නම්, ප්‍රතිවිරුද්ධ දිශාවටත් සුවඳ හමායනවා නම්, අනුවාත පටිවාත යන දිශාවන්ට සුවඳ හමා යනවා නම්, එබඳු වූ සුවඳ උපදවන දෙය කුමක්ද?”
“පින්වත් ආනන්ද, යම්කිසි ගමක වේවා, නියම්ගමක වේවා, ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ශ්‍රී සද්ධර්මය සරණ ගියා නම්, ආර්ය සංඝයා සරණ ගියා නම්, ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකී සිටිනවා නම්, නුදුන් දේ ගැනීමෙන් වැළකී සිටිනවා නම්, කාමමිත්‍යාචාරයෙන් වැළකී සිටිනවා නම්, බොරුකීමෙන් වැළකී සිටිනවා නම්, මත්වීමටත්, ප්‍රමාදයටත් හේතුවන මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටිනවා නම්, සිල්වත් නම්, කල්‍යාණ වූ ගතිගුණ ඇත්නම්, දුරුකරන ලද මසුරුමල ඇති සිතින්, දන්දීම පිණිස අත්හළ, දන් දීම පිණිස දෑත් සෝදාගත්, අත්හැරීමෙහි ඇලුණු, ඉල්ලා පැමිණීමට සුදුසු වූ, දන්බෙදීමෙහි ඇලී සිටින්නා වූ ජීවිතයක් ගෙවනවා නම්, ඔහුගේ ගුණ ඒ ඒ දිශාවන්හි ශ්‍රමණ බ්‍රාහ්මණයන් වර්ණනා කරනවා. ‘අසවල් ගමේ, අසවල් නියම් ගමේ ස්ත්‍රියක් ඉන්නවා. නැත්නම් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බුදුරජණන් වහන්සේ සරණ ගිහිනුයි ඉන්නේ. ශ්‍රී සද්ධර්මය සරණ ගිහිනුයි ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිනුයි ඉන්නේ. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකිලයි ඉන්නේ. නුදුන් දේ ගැනීමෙන් වැළකිලයි ඉන්නේ. කාමමිත්‍යාචාරයෙන් වැළකිලයි ඉන්නේ. බොරුකීමෙන් වැළකිලයි ඉන්නේ. මත්වීමටත්, ප්‍රමාදයටත් හේතුවන මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලයි ඉන්නේ. සිල්වත්, කල්‍යාණ වූ ගතිගුණ ඇති, දුරුකරන ලද මසුරුමල ඇති සිතින් යුතු, දන්දීම පිණිස අත්හළ, දන් දීම පිණිස දෑත් සෝදාගත්, අත්හැරීමෙහි ඇළුණු, ඉල්ලා පැමිණීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇළුණු ජීවිතයක් ගෙවන්නේ’ කියලා.
මිනිසුන් නොවන දෙවිවරු පවා ඔහුගේ ගුණධර්ම ගැන පැහැදීමෙන් කතා කරනවා. ‘අසවල් ගමේ, අසවල් නියම් ගමේ ස්ත්‍රියක් ඉන්නවා. නැත්නම් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බුදුරජණන් වහන්සේ සරණ ගිහිනුයි ඉන්නේ. ශ්‍රී සද්ධර්මය සරණ ගිහිනුයි ඉන්නේ. ආර්ය සංඝයා සරණ ගිහිනුයි ඉන්නේ. ඒ වගේම ප්‍රාණඝාතයෙන් වැළකිලයි ඉන්නේ. නුදුන් දේ ගැනීමෙන් වැළකිලයි ඉන්නේ. කාමමිත්‍යාචාරයෙන් වැළකිලයි ඉන්නේ. බොරුකීමෙන් වැළකිලයි ඉන්නේ. මත්වීමටත්, ප්‍රමාදයටත් හේතුවන මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකිලයි ඉන්නේ. සිල්වත්, කල්‍යාණ වූ ගතිගුණ ඇති, දුරුකරන ලද මසුරුමල ඇති සිතින් යුතු, දන්දීම පිණිස අත්හළ, දන් දීම පිණිස දෑත් සෝදාගත්, අත්හැරීමෙහි ඇළුණු, ඉල්ලා පැමිණීමට සුදුසු වූ, දන් බෙදීමෙහි ඇළුණු ජීවිතයක් ගෙවන්නේ’ කියලා.
පින්වත් ආනන්ද, යමක සුවඳ සුළඟ හමන දිශාවටත් හමායනවා නම්, ප්‍රතිවිරුද්ධ දිශාවටත් සුවඳ හමායනවා නම්, අනුවාත පටිවාත යන දිශාවන්ට සුවඳ හමා යනවා නම්, මේ තමයි ඒ සුවඳ උපදවන දෙය.”
න පුප්ඵගන්ධෝ පටිවාතමේති
න චන්දනං තගරමල්ලිකා වා
සතඤ්ච ගන්ධෝ පටිවාතමේති
සබ්බා දිසා සප්පුරිසෝ පවාති
මල් සුවඳ ප්‍රතිවිරුද්ධ දිශාවට හමා යන්නේ නෑ. සඳුන්, තුවරලා, සමන් මල් සුවඳ වුණත් හමා යන්නේ නෑ. නමුත් සත්පුරුෂයන්ගේ සුවඳ නම් ප්‍රතිවිරුද්ධ දිශාවට හමායනවා. සත්පුරුෂයා හැම දිශාවේම සුවඳක් ලෙස හමායනවා.
ගන්ධජාත සූත්‍රය – අංගුත්තර නිකාය