ඉකිබිඳින වස්සානය.

සුගතියට අදාළ කාමලෝකයන්ගෙන් එකක් වන මනුෂ්‍ය ලෝකයේ, පිංවත් මනුෂ්‍යයින් වැඩියෙන්ම පිං සිදුකොට ගන්න, සුන්දර පිනෙන් පිරුණු වස්සානයයි මේ ගෙවීයන්නේ. නමුත් ඒ සුන්දර පිනට මොකද වුණේ, එම පින් සොරු අරගෙන ගියාද. එහෙත් නැතිනම් අපේම අසිහිය නිසා, අපිම ලෝභ, ද්වේෂ, මෝහ සොරුන්ට බිලිදුන්නා ද? මෙය සටහන් භික්ෂුව ධර්මානුකූලව සටහන් තබනවා, අපේ කඨින පිංකම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් සම්මා දිට්ඨි, සම්මා සංකප්ප සහ සම්මා ආජීවයන් වැඩෙන ආකාරයට සිදුකොටගෙන නැහැය කියලා. අපි කාට බොරු කළත්, සංස්කාරයන්ට බොරු කරන්න බැහැ. ඇත්තෙන් සහ බොරුවෙන්ම උපදින සංස්කාර, සංස්කාර හේතුවෙන්ම සකස්වෙන විඤ්ඤාණය නිවැරදි දැනීම් ජීවිතගත කරනවා.

පසුගිය දිනක භික්ෂුව දානමය පිංකමකට සහභාගිවුණා. භික්ෂුව සිදුකළ පැයක පමණ අනුශාසනාවෙන් පසුව, බන්දේසියක තැබූ අටපිරිකරක් සහ සම්මාදන් කරන ලද මුදල් නෝට්ටු ගොඩක් සමග, එම බන්දේසිය භික්ෂුවට පූජා කළා. භික්ෂුව මේසය මත තබන්න යැයි දැනුම් දුන්නා. පිංකමට සහභාගි වූ ගිහි පැවිදි පිංවතුන් හැමෝම සාධුකාර දුන්නා.

මේ සිද්ධිය සිදු වෙද්දී භික්ෂුව ධර්මයේ උපේක්ෂාවෙන්ම සද්ධර්මය දෙසම බැලූවා. උතුම් සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ අහිංසක සත්පුරුෂ දෑස්වලින්, රූටා වැටෙන උණුසුම් කඳුළු, භික්ෂුව මනසින්ම පිසදා දැමුවේ, ගිහි පැවිදි පිංවතුන්ලාගේ සාධුකාර මධ්‍යයේමයි. අපේම අතීත අකුසල් සංස්කාර නිසාම, වර්තමානයේ සාධුකාර මධ්‍යයේත්, අපිට සිද්ධවෙලා තිබෙන්නේ, උතුම් සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ නෙතින් ගලන කල්‍යාණමිත‍්‍ර භාවයේ කඳුළු ලෝකයාට සොරෙන් පිස දැමීමටයි. අපේ සැපය උදෙසා, අපේ භව නිරෝධය උදෙසා තිබෙන කල්‍යාණමිත‍්‍ර ධර්මතාවයන් හඬවන්න එපා.

පසුගිය දවසක භික්ෂුව වායුසමනය කළ බස්රථයක වැඩියා. භික්ෂුව වැඩසිටි ආසනයේම තවත් ස්වාමීන් වහන්සේනමක් වැඩ සිටියා. වරකාපොළ නගරය කිට්ටුවෙනකොට, කජු විකුණන වෙළෙඳ මහත්මයෙක්, කජු පැකට් අතේ එල්ලාගෙන, බස් රථයට ගොඩවෙලා, බැඳපු කජු, ටේස්ට් කජු, රුපියල් සීයයි පැකට්ටුවක් කියලා කියන්න පටන්ගත්තා. වේලාව සවස පහට පමණ ඇති. භික්ෂුව අසලම වැඩසිටි ස්වාමීන්වහන්සේ තම බෑගයෙන් රුපියල් සියයේ කොල දෙකක් එම වෙළෙඳ මහතාට දිගුකොට කියනවා, මල්ලි ටේස්ට් දෙකක් දෙන්නය කියලා. කජු කෑම ලේසි වුණත්, සම්මා දිට්ඨිය මරාගෙන පින, කෑවොත්, භව අතීසාරය නම් නියතයක්ම වෙන්න පුළුවන්.

අවිද්‍යාවේ මූල බීජයෙන් සකස් වෙන තෘෂ්ණාව විසින්, මඟ සහ නොමඟ යන දෙකටම ඉහළ තබන්නේ, අපේ අසිහිය නිසාමයි. ලෞකික ප‍්‍රඥාව දුර්වල පිංවතා ශීලයේ අර්ථයන් දුර්වල කොටගන්නවා වගේම, ශීලය වුවමනාවෙන්ම ආරක්ෂාකොට ගන්නා පිංවතා, ශීලය මගේ කොටගෙන, ශීලය තුළ මම සිටිනවා යැයි දකිමින්, තමා ඔසවා තබමින්, අනුනව පහත්කොට දකිමින් ශීලයේ සක්කායදිට්ඨිය මුවහත්කොට ගන්නේ, ලෞකික ප‍්‍රඥාවට පල නොකියා පලා බෙදමින්මයි. අවසානයේ මඟත්, නොමඟත් දෙකම, දුකටම මඟක් කොටගන්නා අපි, අවසානයේ ආවඩන්නේ ප‍්‍රමාදීභාවයටමයි.

පිංවත් ඔබට, භික්ෂුව මේ සටහන තබත්දී, භික්ෂුවගේ කුටියේ දොරකොඩ කවුදෝ සිහින් හඬින් හඬනවා, භික්ෂුවට ඇසෙනවා තොරතෝංචියක් නැතිව ඇය ඉකිගසනවා. ඔබ කවුද කියලා භික්ෂුව විමසද්දී ඇය කියනවා, මම වස්සානයයි කියලා. වස්සානය ගෙවී යන මේ නිමේෂයේ දී, සතුටින් සිනාසිය යුතු ඇය, ඇයි මේ හඬා වැටෙන්නේ. ඉකිගසමින් ඇය අපි හැමෝටම චෝදනා කරනවා. ඒ අහිංසකාවිය ඉකිගසමින් කියනවා, ගිහි පැවිදි අපි හැමෝම, ඇයගේ ආත්ම ගරුත්වය විනාශ කළාය කියලා. ඇය නොනවත්වාම කියාගෙන යනවා.

බුදුරජාණන්වහන්සේ වස්සානය ලෝකයට බිහිකළේ, උතුම් විනය ධර්මයන් පනවා හොඳින් පෝෂණය කළේ, ඇය සුරැකිව පෝෂණය කරලා, අපිට භාරකළේ, මිච්ඡා දිට්ඨියෙන් ඇයව කෙළෙසන්න නොවේ. මිච්ඡා සංකප්පයන්ගෙන්, මිච්ඡා ආජීවයන්ගෙන්, ඇයව කෙළෙසන්න නොවේ, උතුම් සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ, සම්මා ආජීවයන්ගේ අර්ථයන්ගෙන් ඇයව පෝෂණය කරන්නයි. ඇයව උපයෝගී කොටගෙන පිනෙන් සහ කුසල් ධර්මයන්ගෙන් ලෝකය සශ්‍රීක කරන්නයි. වර්තමානයේ මොකක්ද මේ වෙලා තිබෙන්නේ. කොරෝනා අකුසලය විසින් වස්සානය පරාජය කරලා. පිංවත් ඔබලා පිනෙන් සහ කුසල් ධර්මයන්ගෙන්ම උපන් වස්සානයේ ආත්මගරුත්වය තුට්ටු දෙකටම ඇද දැම්මා. කඨින පිංකම්, කඨින පෙරහැර, කඨින වස්ත‍්‍ර පූජාවන්, සාංඝික දානමය පිංකම්, කොරෝනා අකුසලය වියරුවෙන් ඩැහැගෙන හමාරයි. දැන් අපිට ඉතිරිවෙලා තිබෙන්නේ, අපේම සම්මා දිට්ඨියේ, සම්මා සංකප්පයන්ගේ සහ සම්මා ආජීවයන්ගේ බරපතළ දුර්වලභාවයන් නැමති ප‍්‍රමාදීභාවය, චාම් පිංකමක්, සරල පිංකමක්, වියදම් අඩු පිංකමක් ආදී වූ අකුසල් සංස්කාර හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ, අකුසලයේ බටර් තැවරූ, සුරතල් වචනවලින් සැනසීම පමණක්ම යැයි, වස්සානය නැමැති ඒ අහිංසකාවිය, කුටියේ දොරකොඩ ඉඳන් භික්ෂුවට කියමින් ඉකිබිඳිනවා.

වස්සානයේ ඇය, නඟන චෝදනාවන් ඉදිරියේ භික්ෂුව කුමක් නම් ඇයට කියන්නද? කල්‍යාණමිත‍්‍රයෙක් කතා කරද්දී කොහේ වරදක් දකින්න ද? භික්ෂුව තවමත් තමන් ඉදිරියේ තම ආත්මගරුත්වය අහිමි කළ නිසාම, ඉකිබිඳින වස්සානයේ ඇයට මතක් කළේ, සියලූ සංස්කාරයෝ අනිත්‍යයි කියලා. බුදුරජාණන්වහන්සේත් පිරිනිවී ගියා, උතුම් ධර්ම රත්නය සහ සංඝරත්නය, යම් දවසක අතුරුදහන් වෙලා යාවි, වස්සානයේ පිංවතිය, ඔබ වස්සානයේ සැබෑම අර්ථය නිත්‍ය වශයෙන් දකින්න එපාය කියලා. ඇය දිග සුසුමක් හෙළනවා භික්ෂුවට ඇසුණා. ඇයගේ මනසේ ඇඳුණ අනිත්‍ය සංඥාවේ ලේන්සුවෙන්, තම ඵස්සයේ කඳුළු පිසදාගත් ඇය, පෙනී නොපෙනී, ඈතින් ඈතට යන්න ගියා. යහපත් දේවල් අපිව හැරගියොත්, අයහපත් දේවල් අපි බිලිගනීවි. කරුණාකර ඊළඟ වස්සානයට පෙරාතුව දුක තුනීකරන සෘජු මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කෙරෙහි සිහිය ඇතිකොට ගන්න.

(උපුටා ගැනීම 2020.11.01 දිවයින ඉරිදා සංග්‍රහය)