ඇලහැර සංඝ සාකච්ඡාව.

ගෞරවණීය රන්මුතුගල බුද්ධවංශ ස්වාමින් වහන්සේ :-

ගෞරවණීය අරියඥාණ ස්වාමීන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡාවක් සිද්ධ කිරීමටයි අපේ බලාපොරොත්තුව. ඒ නිසා ආරම්භයක් වශයෙන් ඔබ වහන්සේට ආරාධනා කරමින් අපි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස..!!!

මේ සියළුම ස්වාමීන් වහන්සේලා වහ වහා මේ සසර දුකින් එතෙර වීම පිණිස ගුණ පිළිවෙත් පුරන භාවනානුයෝගී ස්වාමීන් වහන්සේලා වශයෙන් මේ ස්වාමීන් වහන්සේ සමඟ අත්දැකීම් හුවමාරු කරගෙන ධර්මය ගැන සාකච්ඡා කරමින් මේ කටයුත්ත ඉදිරියට ගෙන යන ලෙස සාකච්ඡාවට සහභාගීවන ස්වාමීන් වහන්සේලාගෙන් ගෞරව පූර්වකව ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය :-

ගෞරවණීය ස්වාමීන් වහන්ස, පැවිද්දකු විසින් ධර්ම මාර්ගයේ නිර්වාණය කරා යන ගමන කෙටියෙන් පැහැදිලි කරදෙන හැටියට අපි ඉල්ලා සිටිනවා, ගෞරවණීය අරියඥාණ ස්වාමීන් වහන්සේ….!

පිළිතුර :-

අවසර නායක හාමුදුරුවනේ, අවසර ස්වාමීන් වහන්ස, පැවිදි ජීවිතය තුළ අපි ශක්තිමත් භාවයට පත් වෙන්න, පැවිදි ජීවිතයේ අර්ථය අපේ ජීවිතයට ලබාගන්න අපි මුලින් ම කරන්න ඕනේ මේ සංසාර භය කියන කාරණය නිරතුරුව දකින්න වෙනවා. සංසාර භය දැක්ක තැනදී අපට මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන කියන චිත්තය අපි සකස් කරගන්න ඕන. මොකද සංසාර භය කියන දේ අපි දකිනවා අඩුයි හැම විටම.

මම පුංචි කාලේ මගේ අම්ම තාත්ත මට කිවුවේ තව අවුරුදු දෙදාස් පන්සීයකින් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ පහළ වෙනවා කියලා. අවුරුදු පන්දාහෙන් පන්දාහට බුදුවරු පහළ වෙනව කියල තමයි මගේ ගුරුවරු මගේ අම්ම තාත්තා මගේ තරුණ කාලෙදී පවා වයස අවුරුදු විස්ස විසිදෙක වයසෙදිත් අපට කියල දුන්නේ. ඉතින් ඒ නිසා අපි ඇත්තට ම සංසාර භය කියන කාරණය කොතනකදි වත් දැක්කේ නැහැ. ඒ නිසා මේ පැවිදි ජීවිතය තුළ අපි ශක්තිමත් භාවයෙන් ඉදිරියට යන්න නම් අපේ මූලික කමටහන විය යුත්තේ මේ සංසාර බිය කියන එක මතු කරල ගන්නයි. මොකද අපට මේ ලැබිල තියෙන්නේ අපේ භව ගමනේදී අප ලැබුවා වූ දුර්ලභම අවස්ථාවක්.

අපට පේනව ඉතා වේගයෙන් ශාසනයේ සන්දිට්ඨික ගුණයන් පරිහානියට පත්වෙලා යනව කියලා. චතුරාර්ය සත්‍යය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, පටිච්ච සමුප්පාදයෙහි තියෙන්නා වූ අර්ථයන් ඒව වේගයෙන් පිරිහීමට යනවා කියන කාරණය අපි දකිනවා. ඉතින් මෙහෙම මේ ශාසනය ඉදිරියේදී පිරිහීමට පත්වෙලා ගියොත් අපට සමහර විට ඊළඟ ජීවිතයේදී අපට මේ ධර්මය දකින්න, ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව නැතිවෙන්න පුලුවන්. අපි දන්නව ඊළඟ බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියන කාරණය. නමුත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලයේ වනවිට මනුෂ්‍යාගේ පරමායුෂ අවුරුදු අසූදාහක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම නම් වර්තමානයේ මනුෂ්‍යයාගේ පරමායුෂ වන අවුරුදු හැත්තෑව අසූවක ආයුෂත් එක්ක අනාගතයේදී දුස්සීල භාවය විසින් අවුරුදු දහයක් බවට පත්වන පරමායුෂත් එක්ක ගලපල නැවතත් මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු අසූදාහක් දක්වා ඉහළට යන්න නම් අවම වශයෙන් අවුරුදු ලක්ෂ දහයක්වත් ගත වෙනවා.

ඒ කියන්නේ මේ ආයුෂ ගෙවී යන ක්‍රමය අනුව බලද්දී, අපේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේදී පරමායුෂ අවුරුදු එකසිය විස්සක් වුණා. නමුත් මේ වෙනකොට එය අවුරුදු හැත්තෑවකට විතර අඩු වෙලා තියෙනවා. එහෙම නම් අවුරුදු දෙදාස් හයසීයක කාලයක් තුළ අවුරුදු පණහක ආයුෂ අඩුවීමක් සිද්ධ වෙලා තියෙනවා. මේ ආකාරයෙන් අපි ගණනය කරල බලද්දී අවුරුදු අසූදාහක් ආයුෂ තියෙන මනුස්සයො බිහිවෙනවා කියන්නෙ අවම වශයෙන් තව අවුරුදු ලක්ෂ දහයකවත් අබුද්ධෝත්පාද කාලයකින් පසුවයි ඊළඟට මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එහෙනම් එතනදීම අපි දකිනව සංසාර භය කියන කාරණය. මේ ජීවිතයේදී අපට මෙතනින් නතර වෙන්න බැරි වුණොත්, අවම වශයෙන් සෝවාන් ඵලයට පත්වෙලා හරි සසර කතරින් එතෙරවීමට බැරි වුණොත්, අසමත් වුණොත් ඊළඟට අපට ලැබෙන උපතේදී ධර්මය දකිනවා කියන කාරණය පිළිබඳ ව කිසි විශ්වාසයක් තියන්න බෑ, ශාසනය පරිහානියට පත් වන වේගය අනුව. එතනින් බැරි වුණාට පස්සේ තව අවුරුදු ලක්ෂ දහයක් වෙනකම් අබුද්ධෝත්පාද කාලයක් තුළයි අපට ජීවත් වෙන්න තියෙන්නේ. ධර්මයක් අපේ කණට ඇහෙන්නේ නෑ. ඇස ගැටෙන්නේ නැහැ. සංඝයා කියන දෙයක් නෙත ගැටෙන්නේ නෑ. ඒ සංසාර භය අපි නුවණින් මතු කරලා ගන්න ඕන. ඒ සංසාර භය නුවණින් මතු කරලා ගන්න ඕන වගේ ම අපේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේට පෙරාතුව බුද්ධත්වයට පත් වෙච්ච, කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කොච්චර නම් කාලයකට පෙරාතුව ද බුද්ධත්වයට පත් වුණේ කියන කාරණය අපි මතු කරල ගන්න වෙනවා.

එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ අපේ පරමායුෂ අවුරුදු විසිදාහයි. එහෙනම් බලන්න අවුරුදු විසිදාහක් පරමායුෂ තිබ්බ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ ඉඳල අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන කොට පරමායුෂ අවුරුදු එකසිය විස්ස දක්වා අඩුවෙලයි තිබුණේ. එහෙනම් අවුරුදු විසිදහසක පරමායුෂ ඉඳන් අවුරුදු එකසිය විස්ස පරමායුෂ දක්වා අඩුවෙන්න අවම වශයෙන් අවුරුදු ලක්ෂ පහක් වත් ගතවෙනව මේ ආයුෂ ගෙවී යන වේගය අනුව. ඒ කියන්නේ මීට අවුරුදු ලක්ෂ පහකටත් ඉස්සෙල්ල තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙලා තියෙන්නේ. එහෙනම් බලන්න මම පුංචි කාලෙ මගේ අම්ම තාත්ත කොයි සා නම් මෝහයක්ද කියල දීලා තියෙන්නේ කියලා, ඒගොල්ලන්ගේ නොදන්නා භාවය නිසාම. ඒ නිසා මේ සංසාර භය අපි නුවණින් මතු කරලා ගන්න වෙනව.

අපි මේ ජීවිතය ලැබුවේ ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය පහළ වෙන්න ඉස්සෙල්ල අවුරුදු ලක්ෂ පහකට වැඩිය වූ අබුද්ධෝත්පාද කාලයක් පසු කරලයි. එහෙනම් බලන්න ඒ සා අබුද්ධෝත්පාදක කාලයක් පසු කරලා අපිට මේ ජීවිතය, මේ වටිනා ජීවිතය ලබාගන්න අපි දක්ෂ භාවය සකස් කර ගත්තාය කියන තැනදී, අපේ දක්ෂ භාවය තමා තුළින් මතු කරලා ගන්න වෙනවා. මම කොයි තරම් දක්ෂයෙක්ද කියන කාරණය තමයි මෙතනදී මතුකරලා ගන්න වෙන්නේ. ඒ වගේ ම මෙතනින් මේ ජීවිතය නිවැරදි කර ගන්න බැරි වුණොත් ධර්මය දකින්න, ධර්මය අවබෝධ කරගන්න බැරි වුණොත් අපි අනාගතයේදී මුහුණ දෙන අවුරුදු ලක්ෂ දහයකට වැඩි වූ ඒ අබුද්ධෝත්පාද කාලය පිළිබඳ සංසාර භය අපි සකස් කර ගන්න වෙනවා.

ඒ වගේ ම මේ මාර්ගයේ යද්දී හැම වෙලාවෙම මගේ ජීවිතයේ, මගේ පැවිදි ජීවිතයේ මම ථේර, ථෙරී ගාථා පොත නිතර කියවපු කෙනෙක් ගිහි කාලෙදි. මේ ගාථා පොත කියවද්දී රහතන් වහන්සේ කියන්නා වූ චරිතය, රහතන් වහන්සේලාගේ ගුණයන් පිළිබඳව චිත්‍රයක් මගේ මනසේ ඇඳිලා තිබුණා. මම ගොඩාක් ආසා කළා, ථේර, ථෙරී ගාථා පොත කියවන්න. ඒ වගේ නිරතුරුවම මගේ පැවිදි ජීවිතයේදී මම හැම වෙලාවෙම දැක්කා ශාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, උන් වහන්සේලා පිරිනිවන් පෑවත් උන්වහන්සේලාත් එක්ක අපි මනසින් ජීවත්වුණා. නිරතුරුවම උන් වහන්සේලාගෙන් කමටහන් ගත්තා අපි. උන්වහන්සේලා පිරිනිවන් පාල ඉවරයි. ඒ වුණාත් අපි දක්ෂ වුණා අපේ පැවැත්ම උදෙසා අපේ අනාගතය උදෙසා නිරතුරුවම උන්වහන්සේලාත් එක්ක මනසින් ජීවත් වෙන්න.

ඒ නිසා මේ ගමන යද්දී අපි නිරතුරැවම දකින්න ඕනෑ අපේ ඉලක්කය මොකක්ද කියන කාරණය. ඒක අධි මාන්නයක් තුළ සකස් කරගත්ත ඉලක්කයක් විය යුතු නැහැ. මේ ඉලක්කය තුළ බුදුරජාණන් වහන්සේ අපට මුලින්ම දේශනා කරන්නේ සතර අපායෙන් මිදෙනවාය කියන කාරණයයි. සතර අපායෙන් මිදුණාය කියන්නේ අපි ධර්මය දැක්කාය කියන කාරණයයි. චතුරාර්ය සත්‍යය අවබෝධ කළාය කියන්නේ අපි ධර්මය අවබෝධ කළාය කියන කාරණයයි. එහෙනම් අපි මේ මාර්ගය තුළ ඉස්සෙල්ලාම අපි පත්වෙන්නේ කොතනටද කියන කාරණය දැනගන්න ඕන. සතර අපායෙන් මිදීම කියන කාරණයයි අපි තුළින් ඉස්සෙල්ලාම සකස් කර ගත යුත්තේ. ඒ නිසා අපි තවම සතර අපායෙන් මිදිලා නැත්නම් අප තුළ ඉලක්කයක් ඇතිකර ගන්න ඕන මම මේ ජීවිතයේදී සතර අපායෙන් මිදෙනවා කියන කාරණයට.

මොකද අපි තවම සතර අපායෙන් මිදිල නැත්නම් අපි එක පාරටම “මම චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නවා” කියන ඉලක්කය ඇති කර ගන්න ගියොත් අපි තුළ හදිස්සිය ඉක්මන් භාවය කියන කාරණය සකස් වෙන්න පුළුවන්. ඒ වගේ ම අප තුළ අධිමාන්නය කියන කාරණයකුත් එතනදී සකස් වෙන්න පුළුවන්. ඒ නිසා අප තුළින් ම තවම අපට විශ්වාසයක් නැත්නම් තවම මේ ජීවිතයේ මම සතර අපායෙන් මිදුණේ නෑ කියලා අපේ ඉලක්කය ඇති කර ගන්න ඕනේ සතර අපායෙන් මිදෙනවා කියන කාරණයට මයි. පැවිදි ජීවිතයට පත් වුණාට පස්සේ මගේ තුළ එක් ඉලක්කයක් තිබ්බා. මම සෝවාන් වෙනවද සකෘදාගාමී වෙනවද, අනාගාමී වෙනවද අරිහත් වෙනවද කියන කාරණයක් මට තිබ්බෙ නෑ. මට තිබුණේ එකම එක බලාපොරොත්තුවයි. “මම මැරෙන වෙලාවට, මගේ ඇස්දෙක පියවෙන වෙලාවට ඇලීම් ගැටීම් උපේක්ෂාවන් ගෙන් තොරව මේ හුස්ම ටික පිටවේවා” කියන අධිෂ්ඨානය විතරයි තිබ්බේ. ඒ අරමුණේ, ඒ ඉලක්කය ඔස්සේ තමයි මම මගේ ගමන ඉස්සරහට අරගෙන ගියේ.

ඒ නිසා මට මාර්ග ඵල උන්මාදය කියන කාරණය කොතනකදි වත් මතු වුණේ නෑ. එතනට කියන නම මොකක්ද කියලා හිතන්නවත් කවදාවත් මම ගියේ නැහැ. ඒ නිසා හැම වෙලාවෙම මගේ තුළ තිබුණ අධිෂ්ඨානය තමයි මැරෙන වෙලාවේ ඇලීම් ගැටීම්වලින් තොරව, උපේක්ෂාවන්ගෙන් තොරව මේ හුස්ම ටික පිට වේවා කියන කාරණය. ඒ නිසා එතන මට ගොඩාක් ලේසි වුණා. ඒ අධිෂ්ඨානය ඇතිකර ගද්දිම මා තුළ නිහතමානී භාවය කියන කාරණය සකස් වුණා. අධිමාන්නය කියන කාරණයෙන් බැහැර වන ස්වභාවය සකස් වුණා.

ඒ නිසා නිරතුරුවම මේ ධර්ම මාර්ගය තුළ ඉස්සරහට යද්දී මනසින් අතීතයේ වැඩ සිටි රහතන් වහන්සේලාත් එක්ක ජීවත් වෙන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ අය කොයි ආකාරයට ද ජීවත් වුණේ, කොයි ආකාරයට ද ඇවතුම් පැවතුම් දැක්වූයේ, ඒ ආකාරයට මම ජීවත් වෙනවා ය කියන චිත්තය අපි සකස් කර ගන්න ඕන. එහෙම සකස් කරගෙන සමහර වෙලාවට අපි උන්වහන්සේලා එක්ක මනසින් කතා කළා, මනසින් අදහස් හුවමාරු කරගත්තා. අපි නිරතුරුවම දැක්කා උන්වහන්සේලා අපි දිහා බලා ඉන්නවාය කියලා. ඒ නිසා අපි කොයි වෙලාවකවත් ශීලයෙන් වත් දුර්වල වෙන්න අවස්ථාවක් සලසල දුන්නේ නැහැ. ඒ වගේ මාර්ගය තුළ මේ කාරණා අපට සකස් කරලා දෙන්නෙ කුමක්ද..? සංසාර භය විසින්මයි.

මේ සංසාර භය නොදකින කෙනා කවදාක්වත් මේ සංසාරයෙන් ගැලවෙන්න ඕන කියන චිත්තය, කාරණය සකස් කර ගන්නේ නෑ. මොකද එයා එක්කෝ ශීලය තුළ ඇලිල ඉන්නවා. එහෙම නැත්නම් එයා සමාධිය තුළ ඇලිල ඉන්නවා. මේවා විදර්ශනා නුවණින් දැකල කවදාක්වත් මේවයින් වෙන්වෙලා ප්‍රඥාව කියන කාරණය අපට වැදගත් කියන කාරණය සකස් කරගන්න යන්නේ නෑ. ඒ නිසා සංසාර භය මයි පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීම උදෙසා අප තුළ මතු විය යුතු පළමුවන ශ්‍රේෂ්ඨම කාරණය. මේ සංසාරය තුළ ඇති වෙන්නා වූ බිය දැකලා මයි අප තුළ ජවය කියන කාරණය, වීර්යය කියන කාරණය සකස් කර ගන්නේ. එතකොට මේ සංසාර භය සකස් කරලා දෙන්නේ කුමකින්ද..? ශ්‍රද්ධාව තුළින්මයි. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුළ මයි අපි සංසාර බිය කියන කාරණය සකස් කර ගත්තේ.

මේ සංසාර බිය දැක්කට පස්සේ තව දුරටත් මේ සංසාරයේ රැඳෙන්න ඕන කියන කාරණයක්, චිත්තයක් අපට තිබ්බේ නෑ. මොකද අපි කවදා හරි දවසක මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා, යම් සන්ධිස්ථානයකට එන වෙලාවේ අපිට ඇත්ත වශයෙන් ම අපේ ජීවිතය මරණයට දාන්න සිද්ධ වෙනවා. ජීවිතය මරණයට දාල තමයි කවදාහරි අවබෝධය කියන කාරණය අපට සාක්ෂාත් කර ගන්න වෙන්නේ. ජීවිතය මරණයට දානවා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අත හැරෙනවා කියන කාරණයයි. වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව, සඤ්ඤාව කෙරෙහි තියෙන තෘෂ්ණාව, චේතනාව කෙරෙහි, විඤ්ඤාණය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණාය කියන කාරණයයි ජීවිතය මරණයට දැම්මාය කියන කාරණයෙන් දකින්නෙ. ජීවිතය මරණයට දාන්න අපි කවදාහරි දක්ෂ නැත්නම් කවදාක්වත් අපට අවබෝධය කියන කාරණයට යන්න සිද්ධ වෙන්නේ නැහැ. මොකද පංච උපාදානස්කන්ධය අපට අවබෝධයෙන් අතහැරෙන්න සිද්ධ වෙනවා.

එහෙනම් ජීවිතය මරණයට දානවා කියන තැනට අපි පත් වෙන්නෙ සංසාර බිය විසින්මයි. ශ්‍රද්ධාවේ ඵලය විසින්මයි අපව කවදාහරි එතනට යොමු කරලා තිබෙන්නේ. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුළ මූලිකම කාරණය බවට පත් වෙන්නේ ශ්‍රද්ධාවමයි. මොකද ශ්‍රද්ධාව විසින්මයි සංසාර බිය කියන කාරණය අප තුළ සකස් කරලා දෙන්නේ. ඒ නිසා පැවිදි ජීවිතයේ අපි දක්ෂ වෙන්න ඕන නිරතුරුව ම කමටහනක් හැටියට මේ සංසාර බිය කියන කාරණය ම නිරතුරුව දකින්න. මොන දේ දැක්කත් තිරිසන් සතෙක් දැක්කත් ඒ තිරිසන් සතා තුළින් අපි සංසාර භය කියන කාරණය දකින්න ඕන. මළ කඳක් දැක්කත් ඒ මළ කඳ තුළින් අපි සංසාර භයයි දකින්න ඕන. රෝගියෙක් දැක්කත් ඒ රෝගියා තුළින් අපි සංසාර භයයි දකින්න ඕන.

මම සංසාරෙ කොච්චර නම් රෝගී බවට පත් වෙලා මේ විදිහට ජීවත් වෙන්න ඇද්ද..? මම මැරිලා ගොඩ ගැසූ මළ කඳක් එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් මළ කඳක් දකිද්දී, රෝගියෙක් දකිද්දී, යාචකයෙක් දකිද්දී අපි ඒවා තුළින් සංසාර භයමයි සකස් කර ගන්න ඕන. අපි ඉදිරියට දකින්නා වූ හැම රූපයක්ම දකිද්දී ඒ රූපය තුළින් සංසාර භය සකස් කරගන්න අපි දක්ෂ වෙන්න ඕන. අපි දැක්කොත් කොතනක හරි දුශ්ශීල ස්වාමීන් වහන්සේ නමක්, අපි කරන්නේ උන්වහන්සේ එක්ක ගැටෙන එක. ගැටීම නෙවෙයි කළ යුත්තේ. අපි ඒ තුළිනුත් සංසාර භයයි සකස් කර ගන්න ඕන.

මම සංසාරෙ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිල මේ වගේ දුශ්ශීල භාවයට පත්වෙලා කොච්චර නම් සාසන මම අහිමි කරගන්න ඇත්ද කියලා සංසාර භය ඒ තුළින් අපි සකස් කර ගන්න ඕන. ඒ නිසා අපි අසන දකින හැම දෙයක් තුළින් ම මේ සංසාරය කෙරෙහි බිය ඇති කර ගන්නා වූ ස්වභාවය ඇතිකර ගැනීම මම හිතනවා පැවිදි ජීවිතයේදී අපට ගොඩක් උපකාරී වෙනවා මේ භවය කෙරෙහි තියෙන්නා වූ තෘෂ්ණාවෙන් මිදෙන්න…!!!

(නැවත ස්වාමීන් වහන්සේ සංඝයා වහන්සේලා අමතමින්) “අපි ඔක්කොම කතා කරමු. මං විතරක් නෙවෙයි. මං දන්න දෙයක් තියෙනව නම් කියන්නම්. දන්නෙ නැත්නම් නෑ කියලා කියන්නම්.” යනුවෙන් පැවසූහ.

(මෙතැන් සිට සාකච්ඡාව අවසන් වන තුරු සියළුම ප්‍රශ්න විමසන ලද්දේ සාකච්ඡාවට සහභාගී වූ ස්වාමීන් වහන්සේලා විසිනි.)

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – මහ රහතුන් වැඩිමග ඔස්සේ,
2012 වර්ෂයේදී ආර්ය පුත්‍රයන් වහන්සේලා සමඟ
ගෞරවණීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් ඇලහැර කිරිඔය ආරණ්‍ය සේනාසනයේදී පවත්වන ලද ධර්ම සාකච්ඡාව, අන්තර් ජාලයෙන් උපුටාගෙන විජේ ගුණවර්ධන මහතා සහ රත්නා ගුණවර්ධන මහත්මිය විසින් සම්පාදනය කරන ලද මෙම දහම් පොත කොටස් වශයෙන් අද දින සිට මෙම පිටුව ඔස්සේ, ඔබ සැමගේ ධර්මාවබෝධය උදෙසා පිළිගන්වමු..!