භික්ෂුව වැඩ සිටින ගම්මානයේ, කුඹුරු යායේ ගොයම මේ දිනවල කිරි වදිනවා. තාරුණ්‍යයේ ඕජාවෙන් මොනවට තිරිහන් වූ ලා කොළ පැහැයෙන් නලියන යොවුන් වියේ වී කරල්, ගොයමේ ආශ්වාදය ගැන, පුංචි බණ කතාවක් කියලා දෙනව කියලයි භික්ෂුවට සිතෙන්නේ. ඒත් ඒ බණ කතාව, ගමේ කාටවත්ම ඇසෙන්නේ නැහැ. ගමේ පින්වත් ගොවි මහත්වරුන්, බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන බලා සිටින්නේ, ගොයම පැසී අස්වැන්න කපලා ගෙදරට ගන්න. ස්වභාවධර්මය අපිට තිළිණ කරන, බණ කථා නොඅසන අපි, අනිත්‍ය වූ ආශ්වාදයන්ට බැඳිලා යන්නේ, ආශ්වාදයේ කෙටි ස්වභාවයත්, ආදීනවයන්ගේ දීර්ඝභාවයත් නොදන්නා අවාසනාව නිසාමයි.
අග්ගඥ්ඥ සූත‍්‍රයට අදාළව ලෝකය නැවුම්ව නැවත හටගත් කාලයේ පටන්, රස ඕජාවෙන් පරිපූර්ණ වූ නැවුම් පොලවේ, ස්වභාවිකවම ඇල් සහල් හටගත්තා. උදෑසන හටගත් ඇල් සහල් වල අස්වැන්න, සවස නෙලා ගන්න තරම්, පටිච්චසමුප්පන්න අපි පිංවන්ත වුනා.
අවාසනාවේ මහත කියන්නේ. එක දවසෙන් අස්වැන්න ලැබුන ඇල් සහල් මහ පොලවෙන් අතුරුදහන් වී යන්නේ, අතීතයේත් අපි, ආශ්වාදයේ කෙටිභාවයත්, ආදීනවයේ දීර්ඝභාවයත් නොදැක්ක නිසාමයි. අතීතයේ පටිච්චසමුප්පන්නව ඔබත්, මමත් බැඳී ගිය ඒ ආශ්වාදයේ මර තොණ්ඩුව, මේ භද්‍ර කල්පයේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා තුන් නමකගේ උතුම් සම්මා සම්බුද්ධශාසන පසු කරමින් පැමිණ, මේ නිමේෂයේදිත් පිංවත් ගොවි මහත්වරුන් කිරිවදින තරුණ ගොයම දෙස බලාගෙන ලබන්නේ, කෙටි ආශ්වාදයේ මිරිඟුවක් පමණක්මයි. පිංවත් ගොවි මහත්වරුනි, දෑස් පියාගෙන මොහොතක් දකින්න, මේ නැවුම් ලෝකය හටගත් අළුත, එක දිනකින් අස්වැන්න කපාගත් ඇල්සහලේ පටන්, මේ දක්වා පැමිණි පටිච්චසමුප්පන්න භවගමන මොනතරම් නම් දුරක්ද කියලා, මේ ඔබ දකින දුර, අතීත භව ගමනේ ඔබ ගෙවාගෙන පැමිණි දුරෙන්, දිය බිඳුවක් පමණක්මයි.
බුදුරජාණන් වහන්සේ ජීවමාන වැඩ සිටිය සමයේ, අගහිඟකම් වැඩි නිසාම, පැවිදිවෙච්ච ගොවි මහත්මයෙක් සිටියා. මේ ගොවි මහත්මයා තමන් ලැබූ පැවිදිකම ආරක්ෂා කොටගැනීමට නොහැකිවේ යැයි ඇති වූ සැකය නිසාම, ගිහි ජීවිතයේදී තමන් සතු, එකම වත්කම වූ ගොවිතැන් කළ උදැල්ල සඟවා තබලයි, පැවිදිවෙන්න ආරාමයට ගියේ. සැකය යනු පංචනීවරණයක්ය කියලා මේ ගොවි මහත්මයා දැනගෙන සිටියේ නැහැ. කාලා, බීලා, හොඳින් ජීවත්වෙන්නයි පැවිදි භාවයට පත්වුණේ.
හොඳින් දානය වළඳලා වැඩසිටිනකොට, එම ස්වාමීන් වහන්සේට කාමයන් මතු වෙන්න පටන් ගත්තා. නැවත ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමේ කැමැත්ත සිත තුල බුර බුරා නැගුණා. තමන් රැක ගත යුතු ශීලයෙන්, කාමච්ඡුන්දයන්ට අවහිර වෙද්දී, ව්‍යාපාදය ඇති වුණා. ධර්මය කෙරෙහි, ප‍්‍රතිපදාව කෙරෙහි, ශීලය කෙරෙහි කේන්තිය ඇති වුනා. ඒ නිසාම සිත හැකිලූනා, කුස පිරෙන්න ආහාර වළඳා බත් මතින්, අඩ සිහියෙන් කාමච්ඡුන්දයන්ම සිහිපත් කළා. ගොවිකම අතහැර දමා, එහෙත් උදැල්ල සඟවා තබා පැවිදි වූ එම භික්ෂුවට, අවසානයේ ඉතිරි වුණේ, විසිරුණු සිතක්. ඒ විසුරුණු සිත, චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සැකය ඇති කොට දුන්නේ, සුළි සුළඟක් වගේ මහා වේගයකින්.
දුකට හේතුව තෘෂ්ණාව යැයි දකින්න තරම් නුවණ නොමේරූ මේ ස්වාමීන් වහන්සේ, සැපය සොයාගෙන තෘෂ්ණාවේ නාමයෙන් උපවැදිභාවයට පත් වී, තමන් සඟවා තබා පැමිණි උදැල්ල, සඟවා තැබූ තැනින් රැගෙන නැවත ගිහි ජීවිතයක් ගත කළා. අවස්ථා තුනකදීම උදැල්ල සඟවා පැවිදි වූ මෙම ස්වාමීන් වහන්සේ අවසානයේ උදැල්ල විනාශ කොට දමා, පැවිදිභාවයට පත්වී, උතුම් ධර්මයේ අවබෝධයන් ජීවිතයට එකතු කොට ගත්තා යැයි ධර්මයේ සඳහන් වෙනවා.
බුදුරජාණන්වහන්සේ ජීවමානව වැඩසිටියදී උදැල්ල සඟවා පැවිදි වූ ස්වාමීන් වහන්සේගේ කතාව සටහන් තබත්දී, භික්ෂුවට අතීතයේ සිදුවීමක් මතකයට පැමිණියා. වැඩිවියට පත්වෙලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේනමක්, කුටියෙන් නික්ම යද්දී, තම බඩුබාහිරාදිය සමග, ගෙවී ගිය උදළු තලයකුත් රැගෙන ගියා. උන්වහන්සේ අකීකරු බවක් පෙන්වූ නිසා, භික්ෂුව, උදළුතල උපාදානය ගැන අවවාද කරන්න ගියේ නැහැ. ගෙවීගිය උදළු තලයක් අතහැරගන්න බැරි අපි කෙසේ නම්, මේ වියරු පංචඋපාදානස්කන්ධ ලෝකය අතහැර ගන්නද.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෘෂ්ණාව වනාහි තුවාලයකි කියලා. මේ තුවාලය අවිද්‍යාව නමැති විශබීජයෙන් නිරතුරුවම පැසවනවා, ඔඩුදුවනවා. පටිච්චසමුප්පන්නව කල්ප සියක් කෝටි ප‍්‍රකෝටි ගණනක්, ඔඩුදුවපු තුවාලයක්, මේ ජීවිතය කියන්නේ. අතීතයේ කාම භව, රූපි භව, අරූපි භවයන්හි සිත් සේ ඔඩුදිව්වාවූ තුවාලයක් මේ ජීවිතය කියන්නේ. පිංවත් ඔබට මේ පරණ තුවාලය ගැන කලකිරීමක්, නොඇලීමක් තවමත් ඇතිවෙලා නැතිද. පිංවත් ඔබ මේ නිමේෂයේදීත් පිං කරමින්, මේ තෘෂ්ණාවේ දුර්ගන්ධය හමන තුවාලය වටා අවිද්‍යාවේ සුවඳ විලවුන් තවරා ගැනීමක් පමණක්ම නේද, කරමින් සිටින්නේ. පිංවත් ඔබ මොහොතක්වත් සිතුවාද, මේ අවිද්‍යාවේ සුවඳ විලවුන් නමැති සංස්කාරයෝ, ඔබගේ තෘෂ්ණාවේ තුවාලය, තව තවත් ඔඩුදුවන විශබීජයක්ය කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දුකට එකම හේතුව පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවයි කියලා. දුකට එකම හේතුව තෘෂ්ණාව වුවත්, පිංවත් ඔබ තෘෂ්ණාව ඉලක්ක කරන්න එපා. තෘෂ්ණාව ඉලක්ක කලොත්, තෘෂ්ණාව නිසාම, තෘෂ්ණාව ඇතිවෙන්න පුළුවන්. පිංවත් ඔබ ඉලක්ක කළ යුත්තේ, තෘෂ්ණාව නිරෝධය කරන, ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අපේ පටිච්චසමුප්පන්න අවිද්‍යාව බලවත් නිසාම, ධර්මානුකූල ඇත්ත, අවිද්‍යා අඳුරේ ගිලිලයි තිබෙන්නේ, මේ අවිද්‍යා අඳුරෙන් වැසී තිබෙන, පංචඋපාදානස්කන්ධ ලෝකයේ ඇත්ත දකින්න නම්, ඔබ දැල්විය යුතු මුල්ම පහන් ආලෝකය, ලෞකික ප‍්‍රඥාවට අදාල සම්මා දිට්ඨිය සහ සම්මා සංකප්පයි.
ඉහත ලෞකික ප‍්‍රඥාවට අදාල අංගයන් දෙකයි පින්වත් ඔබව, නිවැරදිව, ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළට ස්ථානගත කරන්නේ. ලෞකික ප‍්‍රඥාවට අදාලව සම්මා සංකප්පයන්, විශේෂයෙන්ම නෙක්ඛම්ම සංකප්පය තෘෂ්ණාව යම් පාලනයකට නතු කොටගෙන, ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල නැගී සිටීමට ඔබට ශක්තියක් ලබා දෙනවා.
තෘෂ්ණාව හේතුවෙන්ම සකස්වෙන උපාදාන ධර්මයන්ගේ ආශ්වාදයට ඔබ බැඳුනොත්, ආශ්වාදයම නැවත නැවත දැක්කොත්, ශීලයේ වේවා, කුසල් ධර්මයන්ගේ වේවා, සමාධියේ වේවා, ආශ්වාදයම ලැබුවොත්, ඒ බැඳියාම හෙවත් උපාදානය හේතුවෙන්, ඔබට නැවත උරුම වන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක් ගොන්නේ හට ගැනීමමයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහා ගසක්, පොළව යටට ඇදී යන්නා වූ මුල් ද, සතර වටේට ඇදී යන්නා වූ මුල් ද සිය ඕජාව ගස සිසාරා ගෙන ගොස්, ඒ මහා ගස, ඒ ආහාර ඇත්තේ, දීර්ඝ කාලයක් පවතින්නේය කියලා. පිංවත් ධර්ම මාර්ගයේ ගමන් ගන්නා අපිද, උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය, ශීලයේ, පිනේ, සමාධියේ, කුසල්ධර්මයන්ගේ, ආශ්වාදය පිණිස උපයෝගී කොටගතහොත්, එම උපාදාන ධර්මයන්ගේ ආශ්වාදය භවයමයි සුවසේ පෝෂණය කරන්නේ කියලා.
පිංවත් ඔබ ප‍්‍රියභාවයට පත්වෙන යම් ධර්මතාවයන් වේද, එය ශීලය වේවා, සමාධිය වේවා, පිංකම් වේවා මේ සෑම ප‍්‍රිය දෙයක්ම, මේවා තුළින් රැස්වෙන සෑම සංස්කාරයක්ම, අනිත්‍ය වශයෙන්, දුක වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න. ජාති, ජරා, ව්‍යාධි, මරණ වශයෙන්ම දකින්න. භව දුක උපද්දවන ධර්මයන් වශයෙන්ම දකින්න. එවිටයි පිංවත් ඔබ සිදුකරන සියලූම කුසල් ධර්මයන්, විදර්ශනාමය ප‍්‍රඥ්‍යාවේ වැඞීමට උපකාරවෙන්නේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පව් කරන කෙනෙකුට, මෙලොව සැපසේ වාසය කරන්න පුළුවන් නම්, පරලොව සැපසේ ජීවත් වෙන්න පුළුවන් නම්, බුදුරජාණන් වහන්සේ පිංවතුන්ලාට, අකුසල් ප‍්‍රහාණය කිරීම ගැන මෙතරම් වර්ණනා කරන්නේ නැහැය කියලා. දශ අකුසල් ධර්මයන් සිදු කිරීමෙන් මෙලොව සහ පරලොව දුක් පීඩා සහිත සතර අපා දුකමයි අයිතිවෙන්නේ.
දශ කුසල් ධර්මයන් වැඞීමෙන් මෙලොවත්, පරලොවත් දුකක් නම් ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ පිංවතුන්ලා උදෙසා, දශ කුසල් ධර්මයන් මෙතරම් වර්ණනා කරන්නේ නැහැ. දශ කුසල් ධර්මයන්මයි මෙලොව සහ පරලොව සැපයම ලබාදෙන්න. නමුත් ගෞරවණීය පින්වතුනේ, අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මුල් අදියරේදී ජීවිතයට එකතු කොටගත්, ලෞකික ප‍්‍රඥ්‍යාව, ලෝකොත්තර ප‍්‍රඥ්‍යාවත්, එසේත් නැතිනම් විදර්ශනාමය ප‍්‍රඥ්‍යාවක් බවට පත්කොට ගන්න ඕනේ. ඒ සඳහායි බුදුරජාණන් වහන්සේ අකුසල් ප‍්‍රහාණය කිරීමත්, දශ කුසල් ධර්මයන් වැඞීමත් තුලින් අපිව සූදානම් කරන්නේ.
දශ අකුසල් ධර්මයන් ප‍්‍රහාණය කරමින්, දශ කුසල් ධර්මයන් වඩමින්, සියලූම කුසල් සහ අකුසල් සංස්කාරයෝ, අනිත්‍යයි, දුකයි, අනාත්මයි වශයෙන් දැකීමෙන් පමණක්මයි, විදර්ශනා ප‍්‍රඥ්‍යාව අපි තුළ මෝදුවෙන්නේ.
පිංවත් ඔබ බොහෝම වීර්යෙන්, අකුසල් ධර්මයන් දුරු කරමින්, හරි හරියට කුසල් ධර්මයන් වඩමින්, මෙයයි සම්මා සම්බුද්ධ ශාසනය කියලා නම් පමණක් සිතන්න එපා. මෙතනත් සම්මා සම්බුද්ධ ශාසනයේම අර්ථයක් තමයි. නමුත් ශාසනයේ සැබෑම අරටුවට නම්, තව දුරක් යන්න තිබෙනවා. ලෞකික සම්මා සමාධිමත් සිතෙන් විදර්ශනාමය ප‍්‍රඥ්‍යාව මතුකොටගෙන, ඥාණදර්ශන, විමුක්තිය දෙසට අපේ ඡුන්දය ඇතිකොටගන්න ඕනේ.
සත්පුරුෂ පිංවත් ඔබ, ඔබගේ ජීවිතය තුළින් දශ අකුසල් ධර්මයන් ප‍්‍රහිනය කරමින්, දශ කුසල් ධර්මයන් වඩමින්, අකුසල් සංස්කාරයන්ට නොගැටී, කුසල් සංස්කාරයන්ට නොඇලී, සංස්කාරයන්ගේ අනිත්‍යභාවයම නුවණින් දකින්න දක්ෂවෙන්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් පිංවතෙක් කිරි නුග ගසක් කපයිද, එම කිරි නුග ගසේ පොත්තෙන් කිරි වැගිරෙනවාය කියලා. එසේ කිරි වැගිරෙන්නේ, එම කිරි නුග ගසේ, කිරි තිබෙන නිසාමයි කියලා. යම් ගිහි පිංවතෙක් ඇසෙන් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, මනස රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අසංවර කොට ගන්නවා නම්, එයින් අදහස් වෙන්නේ, තමන් තුළ රාග, ද්වේශ, මෝහ ධර්මයන් තිබෙනවාය කියන කාරණයයි.
අද උදෑසන පිණ්ඩපාත මඩුවේදී සුදු ඇඳුමෙන් සැරසී සිටි කැපකරු මහත්මයා, දානය, පූජාකිරීමට පැමිණි පිරිස අතර ටිකක් නොසන්සුන්ව හැසිරුණා. ඊට හේතුව තමයි කැඳ දානය භාරගත් පිංවතා, තවමත් පැමිණිලා නැහැ. භික්ෂුව කැපකරු මහතාගෙන් විමසුවා, මොකක්ද ප‍්‍රශ්නය කියලා. එවිට කැපකරු මහතා කියනවා, බලන්නකෝ වේලාව හයයි තිස්පහත් වෙලා, තවම මේ කැඳ භාරගත් නිවසේ අය පැමිණ නැහැනේ කියලා. කැපකරු මහතාව සන්සුන් කිරීමේ බලාපොරොත්තුවෙන්, භික්ෂුව හැමෝටම ඇසෙන්න ප‍්‍රකාශ කළා, මහත්තයෝ, අතීත භව ගමනේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක් ප‍්‍රමාද වූ අපිට, මේ විනාඩි පහ මොන ප‍්‍රමාදයක් ද මහත්තයෝ කියලා.
කැඳ දානය භාරගත් මහත්මයාගේ ප‍්‍රමාදභාවය නිසා, මහත්මයා ප‍්‍රමාදී භාවයට පත්වෙන්න එපා. කැඳ අවශ්‍ය වෙන්නේ නැහැ. පිණ්ඩපාත දානය බෙදන්නය කියලා. අපි තුළ සැඟවුණු කාම, රාග, පටිඝයන් විනාඩි පහේ ප‍්‍රමාදයේදීත් ඇවිස්සිලා එන්නේ, අප සතු විදර්ශනාත්මක ප‍්‍රඥ්‍යාවේ, විමංසාවේ දුර්වලභාවයන් නිසාමයි.
2020 අගෝස්තු 30 වන ඉරු දින
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි
සියළුම ලිපි සඳහා පිවිසෙන්න: www.maharahathunwadimagaosse.org