ආර්ය අෂ්ඨාංගික මාර්ගය හැමෝටම එකම කාලසටහනක් වෙන්න බැහැ.

ගිහි ජීවිතයේදී මා තුළ සැගව වැඞී තිබූ මමත්වයේ කුණු හැව මගේ ජීවිතයට බලවත් ප‍්‍රශ්න මතුකළ අවස්ථා ගොඩක් තිබුණා. මා තුළ තිබූ සක්කාය දිට්ඨියේ තීව‍්‍ර භාවයමයි, මාව සක්කාය දිට්ඨියේ නිරෝධය දෙසට යොමුකළේ. මට මතකයි මා රාජකාරි සිදුකළ ආයතනයක ප‍්‍රධානියා, මට කියනවා ලලිත් ඔයා ඔයාගේ කේන්තිය අඩුකර ගන්නේ නැතිනම් ඔයාට අනාගතයේ කිසිම දෙයක් හරියන්නේ නැහැය කියලා. ඒ කතාව අහලා එදා මට නැවත කේන්තියක්මයි සකස් වුණේ.

භික්‍ෂුව මේ සටහන ලියන ආසනයේ වාඩි වෙලා ඔබ දකිනවා ගිහි ජීවිතයේදී මම රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි මොන තරම් කුණු පෙරේතයෙක්ද කියලා. මම එම කුණු පෙරේතකම මා තුළින්ම නිහතමානීව, කෘතවේදීව, මතුකොට ගන්නේ මා උදෙසා මා තුළ තිබූ ශ්‍රේෂ්ඨ, කල්‍යාණ මිත‍්‍රභාවය නිසාමයි. භික්‍ෂුව ඉහත කුණු පෙරේතයෙක් කියන වචනය භාවිත කළේ පින්වත් ඔබේ මමත්වයේ කුණු හැවට ධර්මානුකූලව අභියෝග කිරීමට අවශ්‍ය ශක්තිමත් ප‍්‍රවේශයක් ලබා ගැනීම සඳහාමයි.

භික්‍ෂුව ඉහත සටහන තබනකොට පිංවත් ඔබට සිතෙන්නට පුළුවන්. අනේ මම ළග ඔය කියන විදිහේ සක්කාය දිට්ඨියක් නැහැය කියලා. ඔබ තුළ සකස් වුණ ඒ පාපී මිත‍්‍රත්වයේ සිතුවිල්ල සක්කාය දිට්ඨියේම ඵලයක් බව තේරුම් ගන්න, පින්වත් ඔබ දක්‍ෂ වෙන්න. සක්කාය දිට්ඨිය තමන් තුළ නැහැය කියන අර්ථය තුළත්, සක්කාය දිට්ඨිය බැසගෙන සිටිනවා. සක්කාය දිට්ඨියේ මේ ඇස්බැන්දුම් නිසාමයි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිනකට කස පහරවල් තුන්සියය (300) බැගින් අවුරුදු තුන්සියයක් (300) තියුණු කස පහරවල් දිනපතා ලබලා හරි සක්කාය දිට්ඨිය නිරෝධය කරගන්නටය කියලා. පින්වත් ඔබ මගේ කොටගෙන සුරතල් කරන, ඵස්සය අසලම කාමරයක් තනාදී පෝෂණය කරන සක්කාය දිට්ඨියේ වියරු භාවය තේරුම් ගැනීමට ඉහත උපමාව පිංවත් ඔබට උපකාරයක් වේවි.

මෙය සටහන් තබන භික්‍ෂුවට ගිහි ජීවිතයේදී පංච ශීලය ආරක්‍ෂා කිරීමෙන් සද්ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් බෝධි පූජා තැබීමෙන්, පින්කම් සිදුකිරීමෙන්, අනුනට උපකාර කිරීමෙන්, සක්කාය දිට්ඨිය සියුම් කොට ගන්නවාය කියන කාරණය මිරිගුවක්ම වුණා. මා තුළ පිනට අදාළව ආයුෂය, වර්ණය, සැපය, බලය, වැඩෙනකොට, තරාදියේ අනෙක් පැත්තෙන් සක්කාය දිට්ඨියයි වැඩිවුණේ.

ඉහත සක්කාය දිට්ඨියේ ඇස්බැන්දුම මම හඳුනාගත් නිසාම මා, මට නිරතුරුවම විවෘත භාවයෙන් මා සමග මා තුළ ඇති මමත්වයේ දැඩි භාවය ගැන සංවාදයෙහි යෙදුණ අවස්ථා ඕනෑ තරම් මගේ ජීවිතයේ තිබෙනවා.

මම එදා පංචඋපාදානස්කන්ධය යනු රූප, වේදනා, සඤ්ඤා, සංස්කාර, විඤ්ඤාණ වශයෙන් දැනගෙන සිටියේ නැහැ. නමුත් මගේ සක්කාය දිට්ඨියේ අත්දැකීම් තුළින්ම මම තේරුම් ගත්තා මගේ මමත්වයේ දැඩි භාවයට හේතුව මගේ රූපයට සහ අනුනගේ රූපයන්ට මා තුළ ඇති ඇලීම සහ ගැටීමය කියලා. මම සක්කාය දිට්ඨිය හිස්කොට ගතහොත්, අනුන්ගේ සක්කාය දිට්ඨිය මට ප‍්‍රශ්නයක් නොවන බව මම තේරුම් ගත්තා. තමා තුළ සක්කාය දිට්ඨිය පුරවාගෙන තිබෙන නිසාමයි අනුන්ගේ සක්කාය දිට්ඨියත්, අනුන්ගේ අවබෝධයත් අපට ප‍්‍රශ්නයක් වෙන්නේ. භික්‍ෂුව ගිහි ජීවිතයේදී තමා තුළ තිබුණ දැඩි භාවයට කියන ධර්මානුකූල නම සක්කාය දිට්ඨිය කියලා දැනගෙන සිටියේ නැහැ. භික්‍ෂුව පැවිදිවෙන අවස්ථාවේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ මාර්ග අංග අට පිළිවෙළට කියන්නට දන්නේ නැහැ. නමුත් ගිහි ජීවිතයේදී ආර්ය අෂ්ඨාංගික මාර්ගය ලෞකික වශයෙන් හොඳින් වැඞී තිබුණ බව භික්‍ෂුව අද දන්නවා. ලෞකික මාර්ගය වැඞී තිබූ නිසාමයි මට එදා පුළුවන් වුණේ සක්කාය දිට්ඨියේ අනතුර මා තුළින් මතුකොට ගැනීමට අවශ්‍ය සම්මා සතිය ඇතිකොට ගැනීමට. ඒ වගේමයි යම් රූපයක් ගුරු උපදේශයකින් තොරව විදර්ශනාත්මකව විඳීමේ හැකියාවක් මට එදා තිබුණා. රූපයක් විදර්ශනාත්මකව විඳීමේ හැකියාව මට ලැබුණේ අතීත පටිච්චසමුප්පන්න පුහුණුවක් නිසා බව භික්‍ෂුවට හොඳටම විශ්වාසයි.

එකිනෙකාගේ පටිච්චසමුප්පන්න සංස්කාර ධර්මයන්, අපි එකිනෙකාට වෙනස් අත්දැකීම් ධර්ම මාර්ගයේදී සකස්කොට දෙනවා. අපි හැමෝගේම නිවන් මාර්ගය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වුණත් අපි හැමෝටම එකම කාලසටහනක්, එකම අච්චුවක් වෙන්න බැහැ.

අතීතයේ පුංචි සෝපාක රහතන් වහන්සේ චුල්ලපන්ථක රහතන් වහන්සේ සුනීත රහතන් වහන්සේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කොටගත් වෙලාවේ එම උත්තමයන් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ අංග අට පිළිවෙළට දේශනා කිරීමට දැනගෙන නොසිටි බව භික්‍ෂුවට විශ්වාසයි. නමුත් එම උත්තමයන් පරිපූර්ණ වශයෙන් අවබෝධ කළේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයයි. එම උත්තමයන් තුළ වැඞී තිබුණේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. සම්මා ගුණ සහ සම්මා විමුක්තියයි. එකිනෙකාගේ විවිධ අතීත සංස්කාර විවිධ අත්දැකීම් ඔස්සේ අපිට එකම චතුරාර්ය සත්‍ය අවබෝධයට යොමුකරනවා. එම නිසා කවදාකවත් භික්‍ෂුවට ඔබ වෙන්න බැහැ. ඒ වගේමයි ඔබට භික්‍ෂුව වෙන්නත් බැහැ. භික්‍ෂුව භික්‍ෂුවගේ අතීත සංස්කාරයන්ගේ ඵලයකි. ඔබ ඔබේ අතීත සංස්කාරයන්ගේ ඵලයකි. එම නිසාම අනුකරණයන්ගෙන් තොරවයි කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය ඔස්සේ පිංවත් ඔබ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කොටගත යුත්තේ.

භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතය තුළදී හෝ ගිහි ජීවිතයේදී ධර්ම මාර්ගය වැඞීමේදී කිසිවෙක් අනුකරණය කරලා නැහැ. මා මතුකොට ගත් සංස්කාර ඔස්සේ සකස් වන දැනීම්වලට අදාළවයි ඉදිරියට පැමිණියේ. නමුත් පැවිදිවූවාට පසුව අතීත රහතන් වහන්සේලාගේ ජීවිත පූර්වාදර්ශයන් කොට ගත්තා.

මගේ ගිහි ජීවිතයේදී මා තුළ ඝනව වැඞී තිබූ සක්කාය දිට්ඨිය තුනීකොට ගැනීමට ගුරු උපදේශයකින් තොරවම මාව යොමුවුණේ මගේ අතීත සංස්කාර හේතුවෙන් දැනීම සකස් වුණේ රූපය අත්විඳීමෙන්ම එහි තිරසරභාවය, අනිත්‍ය භාවය, පිළිකුල, අසුභය දැකීම කියන ඉතාමත් අනතුරුදායක දිශාවටයි. ගිහි ජීවිතයේදී ඊට නිදහස මට තිබුණා. මා තුළ ඝනව වැඞී තිබූ මමත්වය දැඩි භාවය තුනී කිරීමට වෙනත් විකල්පයක් පිළිබඳ දැනීම් මට සත්‍ය වූයේ නැහැ. තරාදියේ එක පැත්තකට විඳීම කියන අර්ථයත්, තරාදියේ අනෙක් පැත්තට සිහිය කියන අර්ථයත් සමබරව යොදාගෙන මාරයාගේ ගිහි බන්ධනයන්ට කොටු නොවී රූපයේ නීරසභාවය විඳීමේ අනිත්‍යභාවය හඳුනාගැනීමේ වෙනස්වීම අත්දැකීම් තුළින්ම දකිමින් උතුම් පැවිදි ජීවිතයට අනතුරකින් තොරව ගොඩවෙන්න භික්‍ෂුවට උපකාරක ධර්මයන් සකස්කොට දුන්නේ භික්‍ෂුවගේ අනිත්‍යවන අතීත කුසල් සංස්කාර හේතුවෙන් සකස්කොට දුන් දැනීම්මයි. සතිය සිහිය නමැති වේවැලෙන් කීකරු කොටගත් විඤ්ඤාණය නමැති මැජික්කරුවාමයි. පංචඋපාදානස්කන්ධය කෙරෙහි දැඩි තෘෂ්ණාව නමැති භූමිතෙල්වල ශක්තිය හීනකොට දවනකොට සක්කාය දිට්ඨිය නමැති පහනේ ආලෝකය අඩුවී නිවී යනවා.

සක්කාය දිට්ඨිය නිරෝධය කිරීමේ මාර්ගය වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. එම නිසා පිංවත් ඔබ තමා තුළින් සක්කාය දිට්ඨිය හඳුනා ගනිමින් තමා තුළින්ම සක්කාය දිට්ඨිය පිළිකුල් කරමින්, ඔබේ සක්කාය දිට්ඨියේ පිළිකුල් බව පිළිකුල් භාවනාවට ලක්කරන්න. සක්කාය දිට්ඨිය නිරෝධ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය ශක්තිමත් කොට ගන්න. ශීලයේ යම් දුර්වලභාවයක් තිබෙනවා නම් පසුගාමී වෙන්න එපා. එහෙම දුර්වල සිතක් සකස් වෙනවා නම් එය ඔබගේ අකුසලයක ඵලයක්. එම දුර්වලභාවය අකුසල් සංස්කාරයක ඵලයක් බව හඳුනාගෙන තව තව ආර්ය අෂ්ඨාංගික මාර්ගයම ශක්තිමත් කොටගන්න. මෙහිදී ලෞකික ප‍්‍රඥාවේම අදාළ සම්මා දිට්ඨියත් සම්මා සංකප්පයනුත් කෙරෙහි ඔබේ අවධානය සහ පුහුණුව ශක්තිමත් වෙන්න ඕනේ. නෙක්ඛම්ම සංකප්පයයි ඔබේ පුහුණුවේ ජවය ඔබට ශක්තිමත්කොට දෙන්නේ.

ලෞකික ප‍්‍රඥාවෙන් ඔබ පෝෂණය වෙන කොට ශීල විශුද්ධියත් (සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, චිත්ත විශුද්ධියත් (සම්මා වායාමෝ, සම්මා සති, සම්මා සමාධි) ඔබ තුළ ශක්තිමත් වෙනකොට, ඔබ යොමුවෙන්නේ වැරදි ආත්මීය දැක්මෙන් පින්වත් ඔබ පිරිසිදු වෙන දිට්ඨි විශුද්ධිය වෙතටයි. මේ සඳහා පින්වත් ඔබ පටිච්චසමුප්පාද ධර්මයේ සමුදය, නිරෝධය, වශයෙන් මෙනෙහි කිරීම සජ්ඣායනය කිරීම අත්‍යවශ්‍ය සාධකයක් වෙනවා. ඒ වගේමයි කායානුපස්සනාවට අදාළව කාය, වේදනා, චිත්ත, ධම්ම කියන ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය ධර්ම කාරණයක් වෙනවා. මේ සක්කාය දිට්ඨිය නිරෝධය කිරීමේ මාර්ගයේදී ඔබගේ මව, පියා, බිරිඳ, ස්වාමි පුරුෂයා, පුතා, දුව, පෙම්වතා, පෙම්වතිය, ඔබට ඇලීම් ගැලීම් සකස්කොට දෙන සෑම රූපයක්ම නිහඬ කමටහන් බවට පත්කොට ගැනීමට ඔබ දක්‍ෂ විය යුතුයි. මේ සියල්ල ඉදිරියේ පිංවත් ඔබ නිහඬ විදර්ශකයෙක් විය යුතුයි. නමුත් මෙතනදී ඔබ අදක්‍ෂ වුණොත් එම නිහඬ විදර්ශනාවද පෙරළා ඔබේ සක්කාය දිට්ඨියම පෝෂණය කිරීමේ පෙර ගමන්කරු වෙන්න පුළුවන්. ඒ නිසාමයි ලෞකික ප‍්‍රඥාවේ ශක්තියත් විශේෂයෙන්ම නෙක්ඛම්ම සංකප්පත්, මධ්‍යස්ථ වීර්යයත් ගැන භික්‍ෂුව ලිපියේ ඉහතින් සටහන් තැබුවේ.

රාජගිරියේ අරියඥාණ හිමි