අශ්‍රද්ධාව තුලින් පෝෂනය වන වීර්‍යය, ක්‍රියාත්මකභාවයෙන් බලවත් වෙනවා.

මිනිසුන් මරණ, සතුන් මරණ, සත්ව හිංසාකරන යාගභූමිවල යාගකරුවන්ටත් වීර්යය කියන කාරණය හොඳින් පිහිටලා තිබෙනවා. කොටින්ම ඔවුනට ඇත්තේ අධිවීර්යයක්. මේ අධිවීර්යයක් සකස්වෙන්නේ රූපය කෙරෙහි ඇතිකොටගත් දැඩි තෘෂ්ණාව හේතුවෙන්. රූපය ඇසුරෙන් සකස්වෙන පංචඋපාදානස්කන්ධයට ඇති දැඩි තෘෂ්ණාව හේතුවෙන්. මිනිසුන්ගේ තිරිසන් සතුන්ගේ මරණ අඳෝනාවන් තුලින් තම ජීවිතයට තම ඥාති වර්ගයාගේ ජීවිතවලට ආයුෂ වර්ණය සැපය බලය සොයන මේ අයව වීර්යය විසින් අකුසලයෙන් අකුසලයටමයි ඇද දමන්නේ. මොවුන්ගේ වීර්යය පෝෂණය වී ඇත්තේ අශ්‍රද්ධාව තුලින්මයි. අශ්‍රද්ධාව තුලින් පෝෂණය වන වීර්යය ක්‍රියාත්මකභාවයෙන් බොහෝම බලවත් වෙනවා.

සත්වයාට සංසාරික භව ගමනේදී කල්ප ගණන් සතර අපායන්හි ප්‍රමාදභාවයට පත්කරවන්නේ අසද්ධාවෙන් පෝෂණය වුණ වීර්යයේ හේතුඵල ධර්මයෙන්මයි. අශ්‍රද්ධාව තුලින් සකස්වෙන මිත්‍යාදෘෂ්ටිය නිසා රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසාම අසීමිත ඇලීම් සහ ගැටීම් දෙසට ඔබව යොමුකරනවා. එහි ඵලය දුස්සීලභාවයමයි. දුස්සීලභාවයේ ඵලය සතර අපායමයි. පින්වත් ඔබ බොහෝම විවේකීව පරිස්සමෙන් සිතන්න ඕනේ. ඔබ ඔය ඉටුකරන වගකීම් ඉටුකිරීම උදෙසා ගන්න වීර්යය අවංකවම ශ්‍රද්ධාවෙන්ද අශ්‍රද්ධාවෙන්ද පෝෂණයවෙලා තියෙන්නේ කියලා. වර්තමාන ලෝකයේ මනුෂ්‍යයන් තුල බොහෝ විට ක්‍රියාත්මක වන වීර්යය අශ්‍රද්ධාව තුලින්ම සකස්කොටගත් වීර්යයක්.

අශ්‍රද්ධාව තුලින්ම සකස්කොටගත් අධීවීර්යය නිසාම ප්‍රභූ ජීවිතයක් ගතකොට මියගිය මහත්මයෙක් මරණින් මතු ලැබූ උපත ගැන එක්තරා, භික්ෂුවක් සමාධියෙන් අරමුණු කොට බලනවා. එවිට ඒ ව්‍යාපාරික ප්‍රභූ මහත්මයා මරණින් මතු ඌරු කුලයක උපත ලබලා. හොඳින් නුවණින් ධර්මානුකූලව මෙනෙහි කරන්න. තම ප්‍රභූත්වය ආරක්ෂාකොට ගැනීම සඳහා සිදුකළ යාගයන්ගේ ඵලයයි මේ ඌරු ජීවිතය. ඇයි මේ ඌරු කුලයක ඉපදුනේ..? නැවත නැවත හිංසාවට ලක්වෙමින් මැරුම් කන්න. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. තිරිසන් සතුන් වෙලා උපදින සතුන් මැරෙන මොහොතේ එම සත්ව සංඥාවම එම සත්ව රංචුවම උපාදානය කොට ගන්නා නිසා ආත්ම භාව 500 යක් පමණ එම කුලයේම උපදිනවා කියලා. ඌරා මැරෙන වෙලාවේ ඌරු රංචුවමයි උපාදානය වෙන්නේ. එම නිසා ඊරියකගේ කුසකම නැවත ප්‍රතිසන්ධිය සකස්කොට ගන්නවා. ඒ කියන්නේ නැවත නැවත හිංසාවට ලක්වෙමින් මැරුම් කන්න.

ඕනෑම ඌරෙක් ස්වාභාවික ලෙස වයසට ගොස් මැරෙන්නේ නැහැ. මැරිලා වළදමන්නේ නැහැ. හිංසාවට ලක්කරලාමයි මරන්නේ. තිරිසන් සතුන්ගෙ න් වැඩියෙන්ම හිංසාවට පත්කොට මරණ සතා තමයි ඌරා. හිසට පොලුවලින් ගහලා මස තලනවා. පණපිටින් සිටියදීම පණ ගැහෙන ගමන්ම සමේ රෝම පුළුස්සනවා. මේ සතුන් මැරෙන්න පෙරාතුව ඇයි මේ තරම් දහ දුක් විඳින්නේ. අතීත භවයන්හිදී මනුෂ්‍යයින් ප්‍රභූන් වශයෙන් ඉපදිලා තම ආයුෂ වර්ණය සැපය බලය උදෙසා අශ්‍රද්ධාවේ වීර්යයෙන් පවත්වපු මිනිස් යාගයන් සත්ව යාගයන් නිසාමයි. ප්‍රභූ ව්‍යාපාරික ජීවිතයක් ලබලා එම ප්‍රභූභාවය නිසාම සියළු යස ඉසුරු සම්පත් ලබලා සුඛෝපභෝගී ජීවිත ගතකරලා මැරෙන මොහොතේ එක නිමේෂයක ප්‍රමාදයකින් ඌරු කුලයක පිළිසිඳගන්නවා. අශ්‍රද්ධාව තුලින් සකස්වෙන වීර්යය ගැන පින්වත් ඔබ ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. මේවා කියවලා මෙය සටහන් තැබූ භික්ෂුවට හිංසා කිරීමට නොවේ සිතිය යුත්තේ. තමා තමාට හිංසාකරගන්නා වූඅශ්‍රද්ධාවේ වීර්යයෙන් අප්‍රමාදව මිදී තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්කොට ගැනීමයි.

තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඔබ තුල සකස් වෙන්නේ කල්‍යාණමිත්‍ර ඇසුරත් සද්ධර්මශ්‍රවණය කිරීමත් තුලින්මයි. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීම තුලින්මයි. වීර්යය කියන වචනයට සැබෑම වටිනාකම සැබෑම අර්ථය ලබාදෙන්නේ ශ්‍රද්ධාව විසින්. ශ්‍රද්ධාවේ අර්ථයෙන් පෝෂණය වුන වීර්යය ඔබේ ඉලක්කය සකස්කොට දෙන්නේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලටමයි. ඒ හේතුව නිසාමයි ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ ජීවිතය තුලදීම ධර්මාවබෝධයෙන් සැනසීමට අවශ්‍ය නම් ශ්‍රද්ධාව වීර්යය හිරි ඔතප් කියන කාරණා තුනයි ඔබ වැඩිය යුත්තේ කියලා දේශණා කරන්නේ. භාවනා කරන පින්වතුන්ලාත් මේ කාරණය බොහොම හොඳින් සිහියට ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මරත්නය සංඝරත්නය පිළිබඳව කියවීමෙන් හැදෑරීමෙන් අපි ලබන දැනුම ශ්‍රද්ධාව නොවේ. ශ්‍රද්ධාව සකස්වීමට දැනුම ඉවහල් වෙනවා. මේ දැනුම ශ්‍රද්ධාව වශයෙන් හඳුනාගෙන භාවනාවන්ට යොමුවුණ විශාල පින්වතුන්ලා පිරිසක් සමාජයේ සිටිනවා.

යම් පින්වතෙක් භාවනාව හුදු කායික මානසික සුවයක් ලබාගැනීම සඳහා පමණක් නම් සිදුකරන්නේ ශ්‍රද්ධාවේ අවශ්‍යතාවයක් මතු වෙන්නේ නැහැ. නමුත් පින්වත් ඔබ සසර දුකෙන් එතෙර වීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය උදෙසා නම් භාවනා කරන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටයි ඔබ මුල් තැන දිය යුත්තේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවටයි ඔබ මුල් තැන දිය යුත්තේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි සම්මා දිට්ඨිය ඔබ තුල සකස් කර දෙන්නේ. සම්මා දිට්ඨියෙන් තොරව සම්මා සතියක් සම්මා සමාධියක් ගැන සිතීම විහිළුවක් වෙනවා. මෙතනදී ඔබ උපේක්ෂාව තුල සිටිමින් ලෝකය තුල දුකත් සැපත් අතර දෝලනය වීම පමණක්මයි සිදුවන්නේ. ලෝකයෙන් මිදීම දෙසට ගමන් කරන්නේ නැහැ. ලෝකයෙන් මිදීමට නම් චතුරාර්ය සත්‍ය ධර්මයේ මුල්ම ආර්ය සත්‍යය වන පංචඋපාදානස්කන්ධය දුකය කියන කාරණය දුකට හේතුව තෘෂ්ණාව කියන කාරණය භාවනා කරන පින්වතා දැනගන්න ඕනේ.

තෘෂ්ණාව ප්‍රහාණය කිරීමේ මාර්ගයයි භාවනාව කියන කාරණය තුලින් දැන ගන්න ඕනේ. ඒ දැකීම ඔබ තුල සකස්කොට දෙන්නේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව තුලින් සකස්වෙන පංචඋපාදානස්කන්ධය අනිත්‍යයි කියන දැක්ම ඔබ තුල නැත්නම් භාවනාව තුලිනුත් ඔබ ආශ්වාදයක්මයි බලාපොරොත්තු වන්නේ. මෙතනදී ඔබ සුවසේ නින්දයන්නයි ශරීරය ප්‍රසන්නභාවයෙන් පවත්වාගෙන යන්නයි සමාජයේ හැමෝටම ප්‍රිය වෙන්නයි මෛත්‍රී භාවනාව වඩන්නේ. ගැටළුකාර සංකීර්ණ සිතිවිලිවලට විවේකයක් ලබාදීම උදෙසායි ඔබ අනාපානසති භාවනාව වඩන්නේ. සමාජය කෙරෙහි ඇති ගැටීම් හීන කරගැනීම උදෙසායි ඔබ සතර සති පට්ඨාන ධරම්යන් වඩන්නේ. මේ සෑම ඉලක්කයකම තිබෙන්නේ ආශ්වාදයක්මයි. ඉලක්කයන් ආශ්වාදයක් බවට පත්වෙන්නේ චේතනාව අශ්‍රද්ධාවෙන් පෝෂණය වුණ නිසාමයි. තෙරුවන් කෙරෙහි අචල ශ්‍රද්ධාව තුලින් ඔබ ඇතිකරගන්නා ඉලක්කය ආශ්වාදය ආදීනවය විනිවිද දකිමින් නිස්සරණය දෙසට ඔබව යොමුකරනවා.

පින්වත් ඔබ මේ ජීවිතයේදීම උතුම් සද්ධර්මයේ සැබෑම අර්ථය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුලට අර්ථවත්ව ප්‍රවිශ්ට වීමට නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මරත්නයේ සංඝරත්නයේ සැබෑම ගුණයන් ඥාණයන් පිළිබඳව ඇතිකරගන්නා අචල ශ්‍රද්ධාව මූලිකම සුදුසුකම වන බව බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ ධර්මය තුලින්ම තේරුම් ගත යුතු වෙනවා..!!!

තෙරුවන් සරණයි …!!!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් “අතහැරීම 04” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…