සද්ධර්මයේ ළදරු භාවයන් තුළ අප පසුවෙන නිසාම, අවිද්‍යාව අපිව නිරතුරුවම රවට්ටනවා. සැප සොයාගෙන අපි තෘෂ්ණාව පසුපස දුවන්නේ කොරොනා වැළඳුනු රෝගියෙක් දැක, දුවන නිරෝගී මනුෂ්‍යයෙක් වගේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, විඤ්ඤාණය කියන්නේ මැජික් කරුවෙක්ය කියලා, විඤ්ඤාණය කියන්නේ මායාවක්ය කියලා. තරුණ පිංවතෙක් භික්ෂුවට ප‍්‍රශ්නයක් යොමු කළා, විඤ්ඤාණයට ඇයි මැජික්කරුවෙක්ය කියලා කියන්නේ කියලා. විඤ්ඤාණයට ඇයි මායාවක්ය කියන්නෙ කියලා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අවිද්‍යාව හේතුවෙනුයි සංස්කාර රැස්වෙන්නේ කියලා, සංස්කාර හේතුවෙනුයි විඤ්ඤාණය සකස්වෙන්නේ කියලා. අවිද්‍යාව කියන්නේ චතුරාර්ය සත්‍යය නොදැනීම. දුක කියන්නේ කුමක්ද කියලා, ඔහු දන්නේ නැහැ, දුකට හේතුව තෘෂ්ණාව කියලා ඔහු දන්නේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කළ යුතු බව ඔහු දන්නේ නැහැ. ඊට මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය බව ඔහු දන්නේ නැහැ.
එම පිංවතා දුකට හේතුව තෘෂ්ණාව යැයි නොදන්නා නිසාම, වරෙක ඔහු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට ඇලෙනවා. තවත් වරෙක ඔහු රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන්ට ගැටෙනවා. තවත් වරෙක ඔහු පංචඋපාදානස්කන්ධ ධර්මයන් ඉදිරියේ උපේක්ෂා සහගත වෙනවා.
හොඳට සිනාවෙලා ඔබ සමඟ කතා කරන පිංවතා, මොහොතකින් ඔබට ද්වේශයෙන් පහර දෙනවා.
පිංවත් ඔබගේ කරට අත දමාගෙන ආදරය කරන පිංවතා, මොහොතකින් ඔබේ ගෙල මිරිකා මරාදමනවා. පිංවත් ඔබට පිය සෙනෙහස දක්වන පිංවතා මොහොතකින් ඔබව බලවත් ලිංගික අපචාරයන්ට ලක්කරනවා, රුපියල් දහදාහක සහන මල්ලක් ඔබට දෙන්නම් කියන දේශපාලන නායකයා බලයට පැමිණි පසු තිබෙන සහනත් කපා දමනවා. ඉතාමත් උවමනාවෙන් පංචශීලය සමාදන්වෙන පිංවතා, මොහොතකින් එම ශිල්පද දුර්වල කොටගන්නවා.
පිංවත් ඔබ සිතන්නකෝ, එක විනාඩියකදී ඔබ තුළ කුසල් සිත් සහ අකුසල් සිත් කොපමණ නම් සකස්වෙනවාද කියල. පිංවත් ඔබම දකින්නකෝ එක විනාඩියකදී යහපත් දැනීම් සහ අයහපත් දැනීම් ඔබ තුළ කොපමණ නම් සකස්වෙනවාද කියලා.
අවිද්‍යාව නිසා පින සහ පවත්, අවිද්‍යාව නිසාම, කුසල් සහ අකුසල් ධර්මයන් අතරත් මනුෂ්‍යයා දෝලනය වෙන්නේ, පුදුමාකාර වේගයකින්, තෘෂ්ණාව බීජය කොටගෙන සකස්වෙන, ඇලීම් ගැටීම් සහ උපේක්ෂාවේ විවිධත්වය එකිනෙකට වෙනස් වූ සංස්කාරයන්, පටිච්චසමුප්පන්නව අපිට අයිතිකොට දෙනවා. අපිම රැස් කොටගන්නා කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ විවිධත්වයයි අපි තුළ එකිනෙකට වෙනස් දැනීම් හෙවත් විඤ්ඤාණයන් සකස් කොටදෙන්නේ.
අපිම ජීවිතවලට එකතු කොටගන්නා කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ ක‍්‍රියාකාරීත්වයෙන් අපේ දැනීම් හෙවත් විඤ්ඤාණය ක්ෂණිකව වෙනස් වෙලා යන්නේ, මැජික්කරුවෙක් පිංවත් ඔබට හාවෙක් පෙන්වා එම හාවා පරවියෙක් කොට පෙන්වන වේගයෙන්මයි. එම නිසාමයි සංස්කාරයන් හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය මැජික්කරුවකුට උපමා කරන්නේ කියලා භික්ෂුව විශ්වාස කරනවා.
බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණයේ ගොදුරු බිම වශයෙන් හඳුන්වන්නේ රූප, වේදනා, සංඥා, සංස්කාර ධර්මයන්ය. රූපය කියන්නේ නිරතුරුවම ජරා, ව්‍යාධි, මරණයන්ට පත්වෙන අනිත්‍යවූ, දුක්වූ, අනාත්මවූ ධර්මතාවයක්ය. වේදනා, සංඥා, සංස්කාර ධර්මතාවයන් ද මොහොතින් මොහොත වෙනස්වී යන්නේ මායාවක් ලෙසින්මය.
දෙමාපියන්ගේ දෙපා වැඳ උදෑසන නිවසින් පිටවුන පාසල් දරුවා, හදිසි අනතුරකින් මියයන්නේ මායාවක් ලෙසින්මය. ධර්මයේ ඇසින් නොබැලූවොත්, සිතාගන්නවත් බැරි මෙවැනි මායාවන් කොතෙක් නම් අපේ ජීවිත තුළ සිදුවී තිබෙනවාද. එ් නිසාම සංස්කාර හේතුවෙන් සකස් වෙන විඤ්ඤාණය මායාවක් යැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. වේදනා, හඳුනාගැනීම්, සංස්කාර වෙනස් වී යන්නේද සිතා ගන්න බැරි මායාවක් වගේමයි.
බුදුරජාණන් වහන්සේ විඤ්ඤාණය මැජික්කරුවෙක්, මායාවක් යැයි දේශනා කොට තිබියදීත්, අපි තවමත් එම මැජික්කරුවා, මායාකරුවා මම යැයි ගන්නවා, මගේ කොට ගන්නවා, මගේ ආත්මය කොට ගන්නවා. සංස්කාර හේතුවෙන් සකස්වෙන දැනීම මම යැයිම ගන්නවා.
පිංවත් ඔබේම රූපය ගොදුරු බිම කොටගෙන පෝෂණය වෙන පටිච්ච්සමුප්පන්න විඤ්ඤාණය, ඔබට දැනීම් සකස්කොට දෙනකොට, ඔබ මෛත‍්‍රී බුදුරජාණන් වහන්සේ දැක නිවන් දකින්න යනවා. තවත් අවුරුදු දෙදහස් පන්සියයක් ගිය තැන, ගෞතම බුදුරජාණන් වහන්සේ රුවන්වැලි මහා සෑ සමිඳුන් අබියස ධාතු පරිනිර්වාණයක් බලාපොරොත්තුව භව ගමන දීර්ඝකොට ගන්නවා. තවත් සමහරු නියත විශ්වාසයකට පැමිණිලා ජීවත්වෙන්නේ, දැන් ඉතින් කිසිම ගිහි පැවිදි පිංවතෙකුට මාර්ගඵල අධිගමයන් ලබන්න බැහැය කියලා. තවත් පිංවත් සමහරු තම තමන්ගේ කෙල හැලෙන තෘෂ්ණාවන්ට ගැලපෙන ආකාරයට, විනය කාරණාවන් අර්ථ දක්වනවා. ධර්මය, විනය, ප‍්‍රතිපදාව සරලකොට, ලිහිල්කොට දක්වනවා, අවිද්‍යාව හේතුවෙන් සකස්වෙන විඤ්ඤාණය නමැති මැජික්කරුවා, මායාකරුවා කවදාකවත් ඇත්තක් නොවන මායාවන් තුළ අපිව අතරමංකොට දමා තිබෙනවා.
ගෞරවණීය පිංවත, ඔබ තුළ විඤ්ඤාණය හෙවත් දැනීම් සකස් වෙන්නෙ, පිංවත් ඔබට අවිද්‍යාව හේතුවෙන් නැවත සංස්කාර සකස් කොට ගැනීමට නොවේ, සංස්කාර සකස් වූ තැන, ඔබ නැවත පෝෂණය කරන්නේ පටිච්චසමුප්පන්නව ජාති, ජරා, ව්‍යාධි, මරණයන්මයි. පටිච්චසමුප්පාද ක‍්‍රියාවලිය ඔබ තව තව සක‍්‍රීයකොට ගන්නවා. පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියේ මහ මොළකරු විඤ්ඤාණයමයි.
සාරා සංඛ්‍ය කල්ප ලක්ෂ ගණනාවක්, කල්ප විනාශයන් දස දහස් ගණනක් ඔබව පටිච්චසමුප්පන්නව සංසාර භව ගමනේ රස්තියාදු කළ, තවමත් ඔබ නොහඳුනාගත්, බුදුරජාණන් වහන්සේ අපිට තමන් වහන්සේ විසින් දමනය කොට, පරාජය කොට, නිරෝධය කොට අපිට දේශනා කොට වදාළ, මහා මොළකරු වන පටිච්චසමුප්පන්න ”විඤ්ඤාණය”, පිංවත් ඔබ ඔබේ පාලනයට ගන්න. විඤ්ඤාණයේ පාලනයට ඔබ යටත් වෙන්න එපා. විඤ්ඤාණයේ පාලනයට ඔබ යටත්වෙන මොහොතේ, පිංවත් ඔබ අවිද්‍යාවේ සිරකරුවෙක් වෙනවා. ඔබ භවයේ බන්ධනාගාරගත වෙනවා. ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, ප‍්‍රියයන්ගෙන් වෙන්වීම, අප‍්‍රියයන් හා එක්වීම, පංචඋපාදානස්කන්ධ දුක ඇතුළු බරපතල දුක් සහිතවයි ඔබ බන්ධනාගාර ගතවෙන්නේ.
පටිච්චසමුප්පන්න විඤ්ඤාණය යනු ඔබේම වධකයායි, ඔබේම දුක් දෙන්නායි, ඔබේම මිනීමරුවායි. තවත් වරෙක ඔබේම අසත්පුරුෂ සුරතලායි, ආදරවන්තයායි. ආදරයේ නාමයෙනුත් මොහු රැස්කොට දෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණමයි. පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියේ මුලත්, මැදත්, අගත් තම ග‍්‍රහණයේම තබාගෙන සිටින විඤ්ඤාණය නමැති මහ මොළකරු පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව හේතුවෙන්ම පෝෂණය වන නිසා, තෘෂ්ණාව සියුම් කරන, තෘෂ්ණාව නිරෝධය කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් තුළින්මයි මේ දුකේ මහ මොළකරු පරාජයකොට දැමිය හැක්කේ.
මෙම විඤ්ඤාණය නමැති දුකේ මහ මොළකරු පිංවත් ඔබට හඳුනාගැනීමට අවශ්‍ය නම්, පිංවත් ඔබ ඇස් ඇති පුරුෂයෙක් වෙන්න ඕනේ. ධර්මයේ ඇස් ඇති පුරුෂයා කියලා කියන්නේ, ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවැරදිව ජීවිතයට එකතු කොටගෙන, සම්මා සතිය තුළින් සම්මා සමාධිමත් සිතක් ඇතිකොටගත් පිංවතාටයි. පංචනීවරණ ධර්මයන් තුනී වූ සම්මා සමාධිමත් සිතයි පිංවත් ඔබට සැඟවී, ඔබව ක‍්‍රියාත්මක කළ මේ විඤ්ඤාණය නමැති දුකේ මහ මොළකරු ඔබට මතුකොට පෙන්වන්නේ.
පිංවත් ඔබ සම්මා සමාධිමත් සිතින් විඤ්ඤාණය නමැති දුකේ මහ මොළකරු හඳුනාගත්තත්, පිංවත් ඔබ එම හඳුනාගැනීම ආශ්වාදයෙන් ගත්තොත්, ඔබ නැවතත් විඤ්ඤාණයටම කොටුවෙනවා. එ් නිසාමයි භික්ෂුව විඤ්ඤාණයට දුකේ මහ මොළකරු වශයෙන් නම් කළේ.
පිංවත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් සකස් කොටගත් සම්මා සමාධිමත් සිත, එම සමාධියේ ඇස, ප‍්‍රඥාවේ ඇසක් බවට පත්කොට ගන්න ඕනේ. එතකොටයි පින්වත් ඔබට හැකියාව ලැබෙන්නේ, මේ පටිච්චසමුප්පාද ක‍්‍රියාවලියේ, අස්සක් මුල්ලක් නෑරම තම බලය පතුරුවාගෙන සිටින, විඤ්ඤාණය නමැති දුකේ මහ මොළකරු, තෘෂ්ණාවෙන්ම පණ ලබන දුකේ මහ මොළකරු, නිවැරදිව දමනය කොට ගන්න.
පිංවත් ඔබ සම්මා සමාධිමත් සිතෙන් විඤ්ඤාණයේ පෝෂණයට උරදෙන, විඤ්ඤාණයේ පැවැත්ම ආරක්ෂා කරන, විඤ්ඤාණයේ ගොදුරු බිම් වන රූපය, වේදනාව, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන්ගේ, අනිත්‍යභාවයම, දුක්භාවයම, අනාත්මභාවයම නුවණින් දකින්න.
මෙම දුකේ නිමාවට හේතුවෙන, විඤ්ඤාණයේ බල අධිකාරියෙන් නිදහස් වෙන, සුන්දර ධර්මය තමයි සතරසතිපට්ඨාන ධර්මයන් වශයෙන්, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ.
පිංවත් ඔබ විඤ්ඤාණයේ මව්බිම වෙන ගොදුරු සොයන බිම වන රූපයම විදර්ශනා නුවණින්ම දකින්න. ඔබගේ ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයනුත්, දෙතිස්කුණුපයක්, සතරමහාධාතුවක්, අට්ඨිකසංඥාවක්, මරණානුස්සතියක් ඉරියව් පවත්වන අනිත්‍ය වූ කයක් වශයෙන්ම දකින්න. රූපය කෙරෙහි තෘෂ්ණාව වැඩිවෙන කොට ඉන් පෝෂණය වෙන්නේ විඤ්ඤාණය බවත්, විඤ්ඤාණය පෝෂණය වීමෙන් වැඩෙන්නේ ජාති, ජරා, ව්‍යාධි, මරණ බවත් නුවණින් දකින්න.
මහරහතුන් වැඩි මග ඔස්සේ.
2020.10.04 – දිවයින ඉරිදා සංග්‍රහය.