පිංවත් ඔබ සමාජයෙන් නැගෙන තියුණු චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් වීර්යයෙන් යුතුව ඉවසීමට පුරුදු විය යුතුයි. සමාජය තුළ ලෝභ, ද්වේශ, මෝහ අකුසල් මූලයන් වැඩි වශයෙන් වඩනවිට චෝදනා, විවේචන, නරක වචන, නපුරු ඉරියව් සමාජය තුළ වැඩිවෙනවා.
භික්‍ෂුවට මතකයි භික්‍ෂුවට එක්‌තරා ගමක පිණ්‌ඩපාතය වඩිනවිට වෙච්ච සිද්ධියක්. එදා භික්‍ෂුවගේ හිස රුවුල් වැවිලයි තිබුණේ. දැඩි අව්රශ්මියේ දහදිය දමාගෙන පෙරළා කුටියට වඩින භික්‍ෂුව දැකලා පාරේ එහා පැත්තෙන් සිටිය සද්ධාව අඩු මහත්මයෙක් අනෙක් කෙනාට කියනවා දැන් අපේ ගමට හිඟන්නො එනව වැඩියි කියලා. ඒ මහත්මයාගේ ඒ නපුරු වචන ඇසෙනවිට භික්‍ෂුව හදවතින් සිනාසුනා පමණක්‌මයි. සාරිපුත්ත මහ රහතන් වහන්සේ සිංහනාදයක් කරනවා. මම උදේට පාත්‍රය අරගෙන පිණ්‌ඩපාතයට කුටියෙන් එළියට බහින්නේ රොඩී රැහැක රොඩී දරුවෙක් පොල්කට්‌ටක් අරගෙන සිඟමන් බලාපොරොත්තුවෙන් රොඩී රැහැනෙන් එළියට බහිනවා වගේ කියල. පාරේ අයිනේ සිටිය අදාළ මහත්මයා භික්‍ෂුවට සිඟන්නෙක් කියල කියනවිට භික්‍ෂුවට සිතුනේ භික්‍ෂුව වෙනුවෙන් ඒ මහත්මයා සිංහනාදයක් කළාය කියලයි. අද වෙනවිට එම පිංවත් මහත්මයා භික්‍ෂුවට බොහෝම ගෞරවයෙන් දන් පූජා කරන මහත්මයෙක්.
දිනක් භික්‍ෂුව පිණ්‌ඩපාතය කරගෙන ප්‍රධාන මාර්ගයේ පෙරලා කුටියට පැමිණෙනවිට පිංවතුන් තුන්දෙනෙක් පාපැදිවලින් භික්‍ෂුව පසුකරගෙන විරුද්ධ දිශාවට ගියා. ටික දුරක් ගියාට පස්‌සේ මේ පිංවතුන් තුන්දෙනා එකටම තට්‌ටයෝ කියලා හයියෙන් කෑ ගැහුවා. මේ කාරණය ලියනවිටත් භික්‍ෂුවට සිනා යනවා. මේ සිනාවමයි එදා භික්‍ෂුවට තට්‌ටයා කියල කෑ ගසනවිටත් ඇතිවුණේ. මනුෂ්‍ය සමාජයේ තිබෙන ලොකුම දුර්වලකම තමයි අනුනගේ දෙය මගේ කරගැනීම. අනුන් තුළත් පුද්ගල සංඥාවන් දකිනවා. තමා තුළත් මම සිටිනවාය කියල දකිනවා. සක්‌කාය දිට්‌ඨිය කියන්නේ ඔය දුර්වලතාවයටයි. යම් පිංවතෙක් ඔබට චෝදනාවක්, අගෞරවයක්, පීඩාවක් කරනවා නම් එය ඔබ සංසාරයේ කරන ලද අකුසල් සංස්‌කාරයක විපාකයක් වශයෙන් දකිමින් එම ක්‍රියාව කර්මය කර්මඵල විශ්වාසයට භාරදෙන්න. අනුනගේ වැරදි ක්‍රියාවන් ඔබ මගේ කරගෙන අකුසල් දෙසට ගමන් කරන්න එපා. මේ ලෝකයේ සාධාරණම විනිශ්චය ලබාදෙන්නේ සංස්‌කාර ධර්මයන් තුළින් සකස්‌වන කර්මය, කර්මඵල විසිනුයි.
දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන්වහන්සේට දැඩි ආකාරයෙන් චෝදනා, විවේචන, පීඩා එල්ල කරනකොට බුදුරජාණන්වහන්සේ ඒවා උපේක්‍ෂාවෙන් යුතුව ඉවසුවේ කර්මය, කර්මඵල විශ්වාසයට අදාළව දේවදත්ත ලබන අවීචියේ දණ්‌ඩනය නුවණින් දකින ගමනුයි. අනුන් ඔබට කරන වැරදි වලට ඔබ දඬුවම් දෙන්න යන්න එපා. ඒවා වීර්යයෙන් ඉවසන්න. එවිට අනුන් නිසා ඔබ දඬුවමට ලක්‌වන්නේ නැහැ. ඒ නිසා ඔබ තුළ නැති ආස්‍රවයන් හටගන්නේ නැහැ. ඇති ආස්‍රවයන් වර්ධනය වෙන්නේ නැහැ.