අනිත්‍යතාව උපදවා ගන්නේ කෙසේ ද ?

ප්‍රශ්නය : –

ගෞරවනීය ස්වාමීන් වහන්ස අනිත්‍ය සංඥා වඩන හැටි පිළිබඳව විස්තර ටිකක් කියලා දෙන්න ස්වාමීන් වහන්ස. සාමාන්‍යයෙන් අපි අනිත්‍යභාව කිව්වහම දැන් අපි ඉර නැගල එනව බැහැල යනව දකිනවා. නමුත් කිසිම කලකිරීමක් ඇතිවෙන්නෙ නැහැනේ. මලක් ගත්තොත් පරවෙනවා දකිනවා. නමුත් ජීවිතාවබෝධයක් ඇති වෙනවද..?

මේ ගැඹුරට වඩා ගැඹුරු අනිත්‍යතාවක් දැකිය යුතු නිසානෙ. ඒ කියන අනිත්‍යතාව කොහොමද උපදවා ගන්නේ…? දියුණු කරන්නේ..? (ස්වාමීන් වහන්සේ නමකගේ ප්‍රශ්නයක්)

පිළිතුර :-

ස්වාමීන් වහන්ස, මම මතුකර ගත්තේ රූපයේ අනිත්‍යභාවය දකිමින් මයි. මොකද මට ගිහි ජීවිතයක් තිබුණා. මම ගිහි ජීවිතයේ බලාපොරොත්තු වෙච්ච ගොඩක් දේවල් තිබ්බා. මං ප්‍රාර්ථනා කරපු දේවල්. මම මෙහෙම වෙන්න ඕනෑ කියලා හිතපු අවස්ථාවල් ඕන තරම් තිබ්බ, ස්වාමීන් වහන්ස. එතකොට මං පැවිදි භාවයට පත්වෙලා, ස්වාමීන් වහන්ස මං හැම වෙලාවෙම ඒ රූපයන් මතු කරල ගත්තා.

මම දේශපාලනඥයෙක් වෙන්න කැමති වුණා නම් ස්වාමීන් වහන්ස, මම එක්තරා රාත්‍රියක දී සියලු දේවල් මතුකර කර මතුකර කර විදර්ශනා නුවණින් ගත්තා. දේශපාලනඥයා කියන චරිතය ගත්තා. ඒ දේශපාලනඥයො දේශපාලනය කරල බලයෙන් පිරිහිලා අවසානයේ ලෙඩ ඇඳේ වැටිල අංශභාගය හැදිල රෝද පුටුවෙන් යනව නුවණින්, මනසින් මෙනෙහි කරකර බැලුව, ස්වාමීන් වහන්ස. දේශපාලනඥයො අවසානයේ බෝම්බ වලට අහුවෙලා කුඩුවෙලා විසිරිලා, සවල්වලින් මේ කෑලි එකතු කරනවා මනසින් දැක්කා ස්වාමීන් වහන්ස. දේශපාලනය කරල අවසානෙදි පරාදවෙලා අඬනවා, කඳුළු සලනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, අපි මනසින් බැලුව ස්වාමීන් වහන්ස. එහෙම බලමින් බලමින් දේශපාලනඥයා කියන රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නැතිකර ගත්තා. එතනින් නැවතුණේ නෑ. ලෝකයටත් ගියා ස්වාමීන් වහන්ස.

එක්තරා රාත්‍රියක දී ඇමරිකාවෙ හිටපු ජනාධිපති කෙනෙක් අවසානයේ මානසික රෝගියෙක් හැටියට මිය පරලොව යනව මනසින් දැක්ක ස්වාමීන් වහන්ස. රජීව් ගාන්ධි කියන මහත්මයා බෝම්බයක් පිපිරිලා කෑලි කෑලිවලට විසිරිලා යන හැටි මනසින් දැක්ක. ඉන්දිරා ගාන්ධි කියන කෙනා වෙඩි කාල ලේ විලක් මැද වැටිල ඉන්නව මනසින් දැක්ක. ඊට පස්සේ ව්‍යාපාර ක්ෂේත්‍රය කියන දේ නුවණින් ගත්තා. ඒ ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කෝටිපති ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් විඳින සම්පත් විඳින සැපයන් මනසින් දැක්කා. ඒ ව්‍යාපාර බංකොලොත් වෙලා ඒ ගොල්ලො දුකට පත්වෙලා අඬනවා මනසින් දැක්ක. ඒ ව්‍යාපාර උපාදානය කරගෙන මැරිල සතර අපායේ දුක් විඳිනව මනසින් දැක්ක ස්වාමීන් වහන්ස. මේ විදිහට මේ හැම රූපයක්ම මතුකර ගනිමින් මතුකර ගනිමින් විදර්ශනා නුවණ සකස් කර ගත්ත ස්වාමීන් වහන්ස.

පන්සල්වල නායක ස්වාමීන් වහන්සේලා මහානායක ස්වාමීන් වහන්සේලා ඒ ඒ දේවල් උපාදානය කරගෙන ඉන්නවා මනසින් දැක්ක. ඒ උපාදානයන් නිසා ඒ ගොල්ලන් පත් වෙන්නා වූ අපහසුතාවන් පත්වෙන්නා වූ ප්‍රශ්න පිළිබඳව නුවණින් මෙනෙහි කර ගත්ත. මෙනෙහි කරමින් මනුස්ස ලෝකය තුළ තියෙන්නා වූ සියලුම උපාදානයන් කෙරෙහි තියෙන කැමැත්ත පිළිබඳව තියෙන උපාදානය අඩුකර ගත්ත ස්වාමීන් වහන්ස. නැවත නැවත නැවත නැවත නුවණින් මෙනෙහි කර කර බැලුව, තවත් මේ මනුෂ්‍ය ලෝකය කෙරෙහි තෘෂ්ණාවක් තියෙනවද කියලා. මොකද ඉඳිකටු තුඩක තරම් තෘෂ්ණාවක් යම් තැනක තිබ්බ නම් ඒ ඉඳිකටු තුඩක ප්‍රමාණය ප්‍රමාණවත් විඤ්ඤාණය එතන බැස ගන්න. ඒ නිසා ඉඳිකටු තුඩක වත් තෘෂ්ණාවක් තියෙනවද කියල නුවණින් මෙනෙහි කළා ස්වාමීන් වහන්ස.

මේ ලෝකයේ රජකම ගත්තත් ඒ රජ්ජුරුවොත් ජාති, ජරා, ව්‍යාධි මරණවලට ලක්වෙලා බියෙන් ජීවත් වන හැටි මනසින් දැක්ක. ජාත්‍යන්තරයටත් ගිහිල්ල මේ අවසාන මනුස්ස ලෝකය තුළ ඉඳිකටු තුඩක තරම් වත් තෘෂ්ණාවක් නෑ කියන තැනට එනකම්ම නුවණින් මෙනෙහි කර කර නුවණින් මෙනෙහි කර කර ගත්ත ස්වාමීන් වහන්ස. තමායි දන්නේ තමා තුළ මොන ආකාරයේ කෙලෙස් තිබ්බද කියලා. තමායි දන්නේ තමා තුළ මොන ආකාරයේ බලාපොරොත්තු තිබ්බද කියලා. මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර මෙනෙහි කර කර මනුස්ස ලෝකය තුළ ඉඳිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් නැහැයි කියලා එයා සැක හැරලා දැනගත්නකම් ස්වාමීන් වහන්ස මේ විදර්ශනාවන් වැඩුව. වැඩුණට පස්සේ එයා නිශ්චිතව දැනගත්ත දැන් මනුෂ්‍ය ලෝකය කෙරෙහි තෘෂ්ණාවක් නැහැයි කියන කාරණය, ස්වාමීන් වහන්ස. මේ මුළු රැයක් පුරාවට මේක වඩන්නේ. ඒ මනුස්ස ලෝකය කෙරෙහි තෘෂ්ණාවක් නැති වෙනකොට එයාට මනුස්ස ලෝකය කෙරෙහි තියෙන තෘෂ්ණාව අත හැරෙනවා.

ඊට පස්සේ එයා දිව්‍ය තල පීර පීරා මනසින් බලනවා ස්වාමීන් වහන්ස. දිව්‍ය තලවල කොතැනකවත් හෝ නිත්‍ය වූ ස්ථීර වූ සැපයක් තියෙනවද කියලා. එයා දකිනවා, ශක්‍රයා කියන රූපය, සතර වරම් දෙවියන් කියන රූපය, සුජම්පතී කියන රූපය මේ හැම දෙයක්ම නුවණින් මෙනෙහි කර කර දකිනවා. එයා දකිනවා, බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙනවා, දෙවියනුත් දිව්‍ය ලෝකවලින් චුත වෙන කොට මල් පරවෙනවා, දහඩිය දමනවා, අඬා වැටෙනවා, අප්‍රමාණ දුකට පත් වෙනවා කියලා. එයා දෙවියනුත් අප්‍රමාණ දුකට පත් වෙලා අඬා වැටිලා, සතර අපායන්ට පත් වෙනවා දකිනවා. දකිමින් දිව්‍ය ලෝකයේ කල්ප ගාණක් දිව්‍ය සැප වින්දත්, කවදාහරි ඒ අය සතර අපායට වැටෙනවා කියන කාරණය නුවණින් දකිනවා. දකිමින් නැවත නැවත නුවණින් මෙනෙහි කරමින්, මෙනෙහි කරමින්, දිව්‍ය තල කෙරෙහි එයාට ඉඳිකටු තුඩක තරම්වත් උපාදානයක්, කැමැත්තක්, තෘෂ්ණාවක් තියෙනවද කියලා බලනවා.

එයා දකිනවා. ශක්‍රයා කියන තැන හිත පිහිටුවන්න පුළුවන් කියලා. එයා ශක්‍රයා කියන රූපය නුවණින් අරගෙන නුවණින් විදර්ශනාවට ලක් කරමින්, ශක්‍රයාත් සතර අපායෙන් මිදිලා නැත්නම්, ශක්‍රයාත් නැවත සතර අපායට වැටෙන්න පුළුවන් කියන කාරණය නුවණින් දකිනවා. ස්වාමීන් වහන්ස, මගේ අත්දැකීමයි මම මේ කියන්නෙ. මෙහෙම දකිමින් දකිමින් එයා අවසානයේ දී බලනවා දිව්‍ය තලය කෙරෙහි එයාගෙ තෘෂ්ණාවක් තියෙනවද නැද්ද, ඉඳිකටුවක තුඩක තරම්වත් තෘෂ්ණාවක් තියෙනවද කියන එක. එයා සැක හැර දැන ගන්නවා දැන් දිව්‍ය තල කෙරෙහි තෘෂ්ණාවක් අතහැරුණා කියන එක.

ඊළඟට එයා බලනවා රූපාවචර, අරූපාවචර බ්‍රහ්ම තල පීර පීරා මනසින් බලනවා, මේවා තුළ නිත්‍ය වූ ස්ථීර වූ සැපයක් තියෙනවද කියලා. බ්‍රහ්ම තලවල කවදාවත් බ්‍රහ්මයො දෙන්නෙක් එකට ඉන්නෙ නැහැ. දිව්‍ය තලවල වගේ කණ්ඩායම් වශයෙන් බ්‍රහ්මයො කවදාවත් එකට ඉන්නෙ නෑ. බ්‍රහ්මයා හැමතැනම ඉන්නෙ එකලාව තනියම නැත්නම් එරමිණියා ගොතාගෙන නැත්නම් සක්මන් කරමින්. මොකද ඒ ගොල්ලො තුළ පංච නීවරණ නැහැ. පංච නීවරණ යටපත් වෙලා නිසා දෙන්නෙක් කථා කර කර ඉන්න තැනක් බ්‍රහ්ම ලෝකවල කොතැනකවත්

නැහැ. එයා බ්‍රහ්ම තල පීර පීර මනසින් රූපාවචර අරූපාවචර බ්‍රහ්මතල දකිනවා. දකිමින් එයා අවසානයේ දකිනවා මේ රූපාවචර අරූපාවචර දිව්‍ය බ්‍රහ්ම තලවල ඉන්න බ්‍රහ්මයෝත්. මේ බ්‍රහ්ම තලවලින් චුත වෙලා නැවත සතර අපායන්ට වැටෙනවා කියලා එයා සතර අපායන්වලට වැටෙන බ්‍රහ්මයන් නුවණින්, මනසින් දකිනවා. දකිමින් බ්‍රහ්ම තලවලට තියෙන තෘෂ්ණාව එයා අඩුකර ගන්නවා. එයා බලනවා ඉඳිකටු තුඩක තරම්වත් තෘෂ්ණාවක් බ්‍රහ්ම තල කෙරෙහි තියෙනවද කියලා. එයා දකිනවා මහා බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා කියලා. එයා නුවණින් මෙනෙහි කර කර මහා බ්‍රහ්මයා කියන රූපය විදර්ශනාවට ලක් කරනවා. එයා දකිනවා මහා බ්‍රහ්මයාත් සතර අපායෙන් මිදිලා නැත්නම් මහා බ්‍රහ්මයත් ආයෙමත් සතර අපායට වැටෙනවා කියන කාරණය දකිමින් බ්‍රහ්ම තලය කෙරෙහි තියෙන අවසාන කැමැත්තත් විදර්ශනාවට එයා ලක් කරනවා.

එහෙමනම් අවසානෙදි මොකක් ද වෙන්නෙ. මනුෂ්‍ය ලෝකය කෙරෙහි තියෙන තෘෂ්ණාවත්, දිව්‍ය තල, බ්‍රහ්ම තල කෙරෙහි තියෙන තෘෂ්ණාවත්, හිඳුණ තැන හිත පිහිටන්නේ නිවනෙයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වාමීන් වහන්ස. අනිත්‍යයි කියන සංඥාව මා තුළින් මා බැලුවෙ ඔය ආකාරයටයි ස්වාමීන් වහන්ස. මගේ ජීවිතයේ තෘෂ්ණාව කියන කාරණය හීන කර ගත්තෙ රූපය ඔය ආකාරයට අරගෙනයි. මොකද මම කැමති දේ, දන්න දේ, මගේ ස්වභාවය එකක්. තව කෙනෙක්ගේ, තව ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ කැමැත්ත තව එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ තමා තුළ තියෙන දේ, තමා ඒ මතුකර කර, මතුකර කර විදර්ශනා නුවණින් දකිමින් ඒවා සමාජයත් එක්ක, ලෝකයත් එක්ක බද්ධ කර ගනිමින් ඒවා කෙරෙහි තියෙන තෘෂ්ණාවෙන් අපි මිදෙන්න ඕනෙ.

අතුරු ප්‍රශ්නයක් :-

ස්වාමීන් වහන්සේ කියන්නෙ හිතට එන එන අරමුණක්ම අතහැරියා කියන අර්ථයෙන්ද..?

පිළිතුර :-

නැහැ. මෙතනින් මතුකර කර ගන්නවා ස්වාමීන් වහන්ස. මේකෙදි මතුකර කර, මතුකර කර ඒ රූප ගන්න ඕනෙ. මතුකරමින්, මතුකරමින්, මතුකරමින් සමහර විට මුළු රැයක් පුරා වෙන්න පුළුවන්. නින්දක් නැහැ. නින්දක් කියන කාරණය එදාට ජීවිතයට අදාළ නැහැ. අත්‍යවශ්‍ය නැහැ. මොකද එයා සංසාර බය පිළිබඳව හඳුනාගෙන සංසාරය පිළිබඳව දැඩි කලකිරීමකින් ඉන්නෙ. එයාට ඕනෙ මේකෙන් ගැලවෙන්න ඕන කියන කාරණය. ඒ කාරණය තුළ අරවගේ වඩමින්, වඩමින්, වඩමින් ස්වාමීන් වහන්ස, මනුෂ්‍ය තල, දිව්‍ය තල සහ බ්‍රහ්ම තල කියන තෘෂ්ණාවන්වලින් අපි සිඳුණා නම් සිත නැවත පිහිටන්න තැනක් නැහැ ස්වාමීන් වහන්ස…!!!

තෙරුවන් සරණයි…!!!

උපුටා ගැනීම – අතිපූජනීය රාජගිරියේ අරියඥාණ ස්වාමීන් වහන්සේ විසින් කරනු ලැබූ දහම් කරුණු, පැහැදිලි කිරීම් හා අන්තර්ජාලයෙන් උපුටා ගන්නා සාකච්ඡා මගින්, විජේ ගුණවර්ධන මහතා විසින් සකස් කළ “කාලේන ධම්ම සාකච්ඡා” නම් වූ දහම් පොතෙන් ඔබ සැමගේ ධර්මාවබෝධය සඳහා උපුටා පිළිගන්වමු…!!!

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…