මරණාස්මෘතියව හෙවත් මරණය ගැන සිහිය පැවැත්වීම.

මරණය, වෙන්වීම, වියෝව, නැතිවීම, අහිමි වීම, අලාභය, මේ ආදී සියලු ආසන්න හේතූන් ජීවිතයට පැමිනෙද්දි ඒ දෙස බැලිය යුතු ආකාරය, සිහිය පැවැත්විය යුතු ආකාරය පිලිබඳ ඉතාම සිත් කාවදින කථාපුවතක් මේ ලිපියට අන්තර් ගතයි. පුහු හිස් අරමුණු අරභයා ලොකුවට උත්සව ගෙන සම්භාෂණ පවත්වා පොත් එළිදක්වන මෙකල හිස් පුහු මතවාද සමාජගත කරන්නට වෙර දරන මෙකල මෙවැනි පුවතක් අසන්නට කියවන්නට ලැබීමද වාසනාවකි.

පෙර අප මහා බෝසතාණන් වහන්සේ එක් කලෙක බ්‍රාහ්මණ පවුලක ඉපිද ගොවිතැන් කරමින් ගිහි ජීවිතයක් ගත කළහ. උන් වහන්සේට එක දුවක් ද පුතෙක් ද සිටියහ. බෝසතාණෝ තම පුතා සුදුසු වයසට පැමිණි කලැ ඔහුට සුදුසු කුමරියක කැඳවා ගෙනවුත් දුන්හ. මෙසේ ඒ ගෙදර බෝසත් තුමා, ඔහුගේ භාර්යාව, පුතා, දුව, ලේලි හා මෙහෙකාරිය යැයි ඔවුහු සදෙනෙක් ම විසූහ. ඔවුනොවුන් කෙරෙහි ප්‍රේමයෙන් සමඟියෙන් සතුටින් කල් යැවූහ.

අප මහ බෝසතාණෝ ඉතිරි පස් දෙනාට මෙසේ අවවාද කරති. ඔබ හැම දෙනා අපට තිබෙන පරිදි නිති දන් දෙව්, සිල් රකිව්, පෝය දිනයන් හි අටසිල් රකිව්, නිතර මරණ සතිය වඩව් ඔබ හැම දෙනා මැරෙන බව නිති මෙනෙහි කරව්, මෙලොවැ හැම සතුන්ගේ ම මරණය නියතමැයි. ඒකාන්ත මැයි ජීවිතය අනිත්‍යයි. අස්ථිරයි. ඇතිවන සියල්ල නැති වන සුලුය. එබැවින් දිවා රෑ දෙකෙහි අප්‍රමාද වව්. ඔවුහු මැනැවැයි කියා බෝසතාණන්ගේ අවවාදය සතුටින් පිළිගෙන දාන සීල ගුණ දම් පුරමින් හැම ඉරියව්හිත් නිතර මරණ සතිය වඩති. හෙවත් මැරෙන බව නිතර ම සිහි කරති.

සිරිත් පරිදි අප මහ බෝසතාණෝ පුතා සමඟ වතු කුඹුරුවලැ ගොවිතැන් කරති. එක් දිනක් පුතා කෙත් වත්හි කුණු කසල රැස් කැරැ ගොඩක් ගසා ගිනි තැබුවේය. ඒ ළඟ පිහිටි තුඹසෙකැ සිටි විෂ ඝෝර සර්පයෙක් ඒ ගින්නෙන් නිකුත් වූ දුම් වැදීමෙන් කිපී තුඹසින් නික්ම බෝසතාණන්ගේ පුතුට තදින් ම දෂ්ට කළේය.
හෙතෙමේ එතැන ම මැරී වැටුණේ ය. බෝසතාණෝ හැරී බලා වැටෙන පුතු දැක, ගොනුන් නවත්වා එතැනට ගොස් ඔහු මළ බව දැන ඔසවා එක් ගසක් සෙවණේ හොවා රෙද්දක් පොරවා ඇඬීමක් හෝ විලාප කීමක් හෝ නො කළහ. බිඳෙන දේ බිඳිණ, මැරෙන දේ මැරිණ. සියලු සංස්කාරයෝ අනිත්‍යය හ. හැම ජීවිතයක් ම මරණින් කෙළවර වේ යනාදි වශයෙන් අනිත්‍ය ස්වභාවය ම මෙනෙහි කරමින් සී සෑම කළහ.

බෝසත්තුමා ඒ කුඹුර සමීපයෙන් යන එක් අසල් වැසි පුරුෂයකු දැක, යහළුවේ, ඔබ ගෙදර යන්නෙහි දැයි අසා ‘ඔව්’ යැයි කී විට එසේ නම් අප ගෙදරටත් ගොස් අද අප පෙර මෙන් දෙදෙනෙකුට නො වැ එක් කෙනෙකුට පමණක් ආහාර රැගෙන එන්නටත්, පෙර මෙහෙකාරිය පමණක් තනියෙම අහර ගෙනා සේ නො ගෙන, ගෙදර සිටින හතර දෙනාම සුදු වස්ත්‍ර හැඳ ගෙන සුවඳ මලුත් රැගෙන එන්නටත් මගේ භාර්යාව වූ බැමිණියට කියන්න යයි කීවේය.

හෙතෙමේ මැනැවැයි කියා පිළිගෙන එහි ගොස් බැමිණියට එලෙසම කීවේය. මේ පණිවිඩය ඔබට කවරකු විසින් කියන ලද දැයි බැමිණිය විමසූ විට බමුණා විසිනැයි ඒ අසල් වැසියා කීය. තම පුතා මළ බව ඕ දැන ගත්තාය. ඈට ඒ ගැන කම්පාවක් පමණවිත් නොවීය.

මෙසේ සුභිවිත (හොඳ හැටි පුරුදු කරන ලද) සිත් ඇති බැමිණිය සෙසු කීප දෙනාත් කැටුව සුදු වස්ත්‍ර හැඳ ගෙන සුවඳ මලුත් අහරත් රැගෙන කුඹුරට ගියාය. කිසිවකුගේ ඇඬීමක් හෝ වැලපීමක් හෝ නො වීය. බෝසත්තුමා මළ පුතා හුන් තැන හිඳ ගෙන අහර කැවේය.

ඉන් පසු කවුරුත් දර සොයා ගෙන චිතකයක් කොට මළ සිරුර එහි තබා සුවඳ මලින් සරසා ගිනි දැල්වූහ. කිසි කෙනෙක් එක ම කඳුළු බිඳක් වත් නො හෙලූහ. හැම දෙනාම මරණය පිළිබඳ භාවනා කොට හොඳට පළපුරුදු ඇත්තෝය.

මොවුන්ගේ පුණ්‍ය තේජසින් සක්දෙව් රජ ඒ සොහොන් භූමියට පැමිණ “තෙපි කුමක් කරන්නහු දැ’යි පළමු කොට බෝසතාණන්ගෙන් විමසුවේය. ඊට පිළිතුරු දුන් බෝසත් තුමා ස්වාමීනි, අප එක් මළ මිනියක් දවම්හයි කීය.

සක්දෙවි රජ :- තෙපි මළමිනියක් නො දවන්නාහුය. එක් මුවකු මරා පිසන්නහුයයි සිතමි.

බෝසත් තුමා :- නැත, ස්වාමීනි, මළ මිනිසකු ම දවම්හ.

සක්දෙව් රජ :- එසේ නම් සතුරකු වන්නට ඇත.

බෝසත් තුමා :- ස්වාමීනි, සතුරෙක් නොවේ. මගේ පුතාය.

සක්දෙව් රජ :- එසේ නම් අකීකරු නරක පුතකු වන්නට ඇත.

බෝසත්තුමා :- ස්වාමීනි, මගේ පුතා ඉතාම හොඳ දරුවෙකි.

සක්දෙව් රජ :- ඉතින් ඔබ කුමක් හෙයින් නො අඬන්නෙහි ද?

බෝසත් තුමා :- ස්වාමීනි, දිරාපත් වූ පරණ හැව අත හැර දමා යන සර්පයකු මෙන් මගේ පුතා ද සිය ශරීරය හැර දමා ගියේ ය. දවනු ලබන්නා වූ ඒ මළකුන ජීවත් ව සිටින අපගේ ඇඬීමක් හෝ වැලපීමක් හෝ නො දනී. ඔහුට යම් උප්පත්තියක් නියමිත ද ඔහු එතැන උපදින්නට ඇත. එහෙයින් මම ශෝක නොකරමි.

බෝසතාණන්ගේ බණ අසා බැමිණිය ළඟට ගිය

සක්දෙව් රජ :- අම්මේ, මේ මළ තැනැත්තා ඔබගේ කවරෙක් ද?

මවු බැමිණිය :- ස්වාමිනී, දසමසක් කුසෙහි පරිහරණය කොට තන කිරි පොවා අත් පා හදා වැඩූ මාගේ පුතාය.

සක්දෙව් රජ :- අම්මේ, පියා නම් පිරිමිකම නිසා නො අඬන්නේ ය. මවුවරුන්ගේ ළය නම් ඉතා මෙළොක් ය. ඔබ කුමක් නිසා නො අඬන්නෙහිද?

මවු බැමිණිය නො හඬන කරුණ මෙසේ කීවාය.

“අනබ්භිතො තතො ආග
අනනුඤ්ඤාතො ඉතො ගතො
යථාගතො තථා ගතො
තත්ථ කා පරිදෙවනා”

“ස්වාමීනි, මේ තෙමේ මගෙන් කැඳවීමත් නොලබා ම මෙහි අප ගෙදරට ආවේය. මෙයින් අස්වී යන විට ද මගෙන් අනු දැනුමකින් (අවසරයක්) නොගෙන ම ගියේ ය. කර්ම වේගයෙන් යම් සේ ආවේ ද කර්මානුරූප වැ එසේම ගියේ ය. ඉතින් එහෙම නම් කුමන හැඬීමක් ද?
(ඔහු ආවේ අපට නොකියාමය. ඔහු ගියේද අපට නොකියාමය. කර්මානුපව ආවාද ඒ ලෙසටම කර්මානුරූපීව ආපසු ගියා.ඉතින් කුමකට හඬන්නටද)

බැමිණියගේ කථාව අසා මළ තැනැත්තාගේ සොහොයුරිය වෙත ගොස් –
සක්දෙව් රජ :- දුවේ, මේ තැනැත්තා ඔබේ කවරෙක් ද?

සොහොයුරිය :- ස්වාමිනි, ඒ මාගේ සොහොයුරා ය.

සක්දෙව් රජ :- සොහොයුරියෝ නම් සොහොයුරනට බොහෝ ආදරය ඇත්තෝ ය. ඔබ කුමක් හෙයින් නො අඬන්නෙහි ද?

සොහොයුරිය :- ස්වාමීනි, ඉදින් මම අඬන්නෙමි නම් කෘශ (කෙට්ටු) වන්නෙමි. ඒ ඇඬීමෙන් මට කිසි පලක් නැත. මගේ ඇඬීම නිසා මගේ නෑදෑ හිතමිතුරනට ද සිතට දුකක් ඇති වේ

එහෙයින් නො අඬමි. සොහොයුරාගේ කථාව අසා මළ තැනැත්තාගේ භාර්යාව (ලේලිය) වෙත ගොස්:

සක්දෙව් රජ :- දුවේ, ඒ මළේ ඔබේ කවරෙක් ද?

ලේලි :- හිමියනි, ඒ මගේ සැමියා ය.

සක්දෙව් රජ :- දුවේ, සැමියා මළ කල්හි ස්ත්‍රීහු වැන්දඹුවෝ වෙති. ඔබ කුමක් හෙයින් නො අඬන්නෙහි ද?

ලේලි :- හිමියනි, ඇතැම් කුඩා දරුවෝ පුන් සඳ දැක ඉල්ලා අඬති. මිය ගිය අයකු උදෙසා ඇඬීමත් එබඳු ම මෝඩ ක්‍රියාවකි. එහෙයින් මම ද නො අඬමි.

ලේලිගේ කථාව අසා මෙහෙකාරිය වෙත ගිය.

සක්දෙව් රජ :- දරුව, මේ දවන තැනැත්තා නුඹේ කවරෙක්ද?

මෙහෙකාරිය :- ස්වාමීනි, හේ මාගේ ආර්ය පුත්‍රයාය. (හාම්පුතා)

සක්දෙව් රජ :- දරුව, ඒ හාම්පුතා නුඹට තළන්නට ඇත. ඒ නිසා නුඹ මොහුගේ මරණය ඉතා හොඳ යයි සිතා නො හඬන්නෙහිය යි මම සිතමි.

මෙහෙකාරිය :- ස්වාමීනි, එසේ නො සිතනු මැනවි. එසේ කීම නුසුදුසුය. මේ හාම්පුතා ඉවසන කරුණා මෛත්‍රී සිතැත්තෙකි. මොහු මට මා ඇති දැඩි කළ පුතකු වැනිය.

සක්දෙව් රජ :- නුඹ කුමක් හෙයින් නො අඬන්නෙහි ද?

මෙහෙකාරිය :- ස්වාමිනී, ඔසවා ගෙන යන මැටි කළයක් බිම වැටී හත් කඩකට බිඳුණු කල නැවත එය සන්ධි කොට ප්‍රකෘති (මුල්) තත්ත්වයට පමුණුවන්නට නො හැකි වන්නේ යම් සේ ද, එසේ ම මිය පරලොව ගිය තැනැත්තකු උදෙසා ඇඬීම, ශෝක කිරීම නිෂ්ඵල ක්‍රියාවකි.

සක්දෙව් රජ ඒ හැම දෙනාගේ ම දැහැමි කථා අසා පැහැදී, අප්‍රමාද වූ තොප විසින් මරණ සතිය වඩන ලදී. මෙතැන් පටන් සියතින් මෙහෙ නො කරව්. මම සක්දෙව් රජ වෙමි. මම තොපට අපමණ සත් රුවන් දෙන්නෙමි. තෙපි දන් දෙව්, සිල් රකිව්, පෙහෙවස් වසව්, (=අටසිල් රකිව්) අප්‍රමාද වව්, (නිතරම සිහියෙන් නුවණින් කටයුතු කරව්) යි අවවාද කොට බොහෝ ධනය දී දෙව්ලොවට ගියේ ය.

මරණානුස්සතිය වැඩීමෙන් මරණයක් පැමිණි කල ඇඬීමක් ශෝක වීමක් නොකොට හිත හදාගෙන ධෛර්යයෙන් සිටින්නට පිළිවන්කම මෙහි කැපී පෙනෙන තව ආනිසංසයකි.

තමහට පිහිට තෙමේ ම ය

‘පුත්තා මත්ථි ධනම්මත්ථි
ඉති බාලෝ විහඤ්ඤති
අත්තා හි අත්තනො නත්ථි
කුතො පුත්තා කුතො ධනං’

(ධම්මපදය)

බාලයෝ (ආඥානයෝ) මට දරුවෝ ඇත. මම ධනය ඇතැයි සිත සිතා දුකට වෙහෙසට පත් වෙති. තමාට තමන් වත් නැති කැලැ දරුවෝ කොයින් ද? ධනය කොයින්ද? සියලු දේ තාවකාලික ය.

අප මෙලොවට ආවෙත් තනියම ය. පරලොව යන්නෙත් තනියෙම ය. එනවිට ගෙනා දෙයක් නැත. යනවිට ගෙන යන දෙයක් නැත. තමන්ගේ ශරීරය පවා ගෙන යන්නට බැරිය. මෙහි දමා යා යුතුය. තමන් කරන පින් පව් අනුව කවුරුත් යති. ඉපිදැ ඉපිදැ ජාති දුක, ව්‍යාධි, දුක, මරණ දුක, පි‍්‍රය විප්‍රයෝග දුක ආදී අනන්ත දුක්වලින් පෙළෙති. පීඩා විඳිති. කර්මානුකූල වැ සසරැ ඇවිදිති.

හා ! යොබේබනා ජරා අන්තා
අහෝ ! හැම තරුණකම් දිරාපත්වීම් කෙළවර කොට ඇත්තේය.

හා ! විනාසා මහද්ධතා
අහෝ ! හැම මහත් වූ ධන රාශීහු වැනැසෙන ස්වභාව කොට ඇත්තා හ.

හා! සංයෝගා වියොගන්තා
අහෝ ! සියලු එක්වීම් වෙන්වීම් කෙළවර කොට ඇත.

හා ! මතන්තා සජීවකා
අහෝ ! ජීවත්වන සියල්ලෝම මරණය කෙළවර කොට ඇත්තාහ.

හා ! උන්නතා ඔනතන්තා
අහෝ ! හැම උඩඟුකම් යටත්වීම් කෙළවර කොට ඇත්තේ ය.

හා ! පියා සොක අන්තකා
අහෝ ! සියලු පි‍්‍රයකම් ශෝක කෙළවර කොට ඇත්තේය.

හා ! ථොමනා විනින්දන්නා
අහෝ ! සියලු ප්‍රසංසා නින්දා කෙළවර කොට ඇත්තාහ.

හා ! දුක්ඛා සබ්බසො සුඛා
අහෝ ! ලෞකික වූ හැම සුවයෝ සර්වප්‍රකාරයෙන් ම දුක් වන්නාහ.

උපුටා ගැන්මකි