බිඳුණ සිල් පදයක්, සිදුවුණා වූ අකුසලයක් නිතර නිතර සිහිපත් වෙනවා ද?

එය දුර්වල කර ගන්න දරුවෝ හේතු කාරණා දෙකක් තියෙනවා. එකක් තමා කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කරල දාන්න.

වයෝවෘද්ධ නෝනා කෙනෙකුයි මහත්තයෙකුයි ඇවිල්ලා මට කිව්වා “ස්වාමීන් වහන්ස අපි තරුණ කාලයේ අපි අතින් ගබ්සාවක් සිද්ධ වුණා. ඒ කාලයේ අපි ධර්මය දන්නේ නැහැ. නමුත් දැන් අපි ධර්මය දන්නවා. දැන් අපිට මේක හරිම පීඩනයක්” කියලා. මම ඇහුවා “ඔබලාට මේක නිතරම මතක් වෙනවාද?” කියලා. ඒගොල්ලො කිව්වා “ඔව් ස්වාමීන් වහන්ස අපිට මේක නිතරම මතක් වෙනවා ” කියලා.

මම කිව්වා “එහෙනම් ප්‍රශ්නය බරපතළයි. මොකද මැරෙන වෙලාවේ මේක මතුකරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඔබලා මොකක්ද කරන්න ඕනේ? මේ කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කරන්න. ඔබ ළමා රෝහලට යන්න. ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර සටන් කරන දරුවෝ ඉන්නවා. නමුත් සමහරවිට ඒගොල්ලන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් දෙන්න ඒ අම්මලා තාත්තලාට පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඔබ එතෙන්ට ගිහිල්ලා එවැනි දරුවන් දෙතුන් දෙනෙක් තෝරා ගෙන ඒ මරණාසන්න භාවයෙන් ඒගොල්ලො මුදවලා අවශ්‍ය වියදම් දරලා, බෙහෙත් අරන් දීලා ඒගොල්ලො සුවපත් කරන්න. සුවපත් කරලා ඔබ චිත්තයක් ඇතිකර ගන්න මගෙන් නැතිවුණා වූ දරුවාට මම ජීවිතයක් දුන්නා කියලා. එතකොට ඒ අකුසලය, ශක්තිමත් කුසලයකින් යටපත් වෙනවා” කියලා.

නමුත් ඔබ ඒ ක්‍රියාව කරලා ආයිමත් අර දේ ගැන හිතන්න ගියොත් තේරුමක් නැහැ. “චේතනාහං භික්කවේ කම්මං වදාමි”. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ ශක්තිමත් කුසලයෙන් අකුසලය යටපත් කළාට පස්සේ එතැනින් පස්සේ ඒ ප්‍රශ්නය විසදගන්න. ආයිමත් ඒ ප්‍රශ්නය ගැන හිතන්න යන්න ඕනේ නැහැ. මම ජීවිතය දුන්නා කියන තැන හිතන්න.

දැන් එක නෝනා කෙනෙක් ඇවිල්ල කිව්වා මම හරිම ආදරය කරන බල්ලෙක් ඉන්නවා. මේ බල්ලගේ තුවාලයක් ආවා. මේ තුවාලයට පණුවෝ ආවා. පණුවෝ ආවට පස්සේ මම තුවාලය සුද්ධ කරලා බෙහෙත් දානකොට අර පණුවො ටික ඔක්කොම මැරුණා.

දැන් මේ නෝනට ප්‍රශ්නයක් පණුවො මැරුණ එක. නෝනා අහනවා ” ස්වාමීන් වහන්ස, මේ පණුවො මැරුණ එකට මම දැන් මොකද කරන්නේ. මේ පණුවො ටික මැරුණ එක ගැන නිතරම මතක් වෙනවා” කියලා. මම කිව්වා “ඕක මතක් වෙනවා නම් ප්‍රශ්නයක්. හිත කියන්නේ මාරයා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මැරෙන වෙලාවට අපිට එවැනි අකුසලයක් මතුකරලා දෙන්න පුළුවන්. ඔය අකුසලය ඊට වඩා කුසලයක් කරලා නැතිකරලා දාන්න” කියලා.

ඉතින් ඕක කරන්නේ කොහොමද? චේතනාව සකස් කරගෙන කොහේ හරි පණුවො ඉන්න වළකට හරි ගිහිල්ලා ඒ පණුවන්ට කෑම ටිකක් දාලා අනේ මගේ අතින් නැතිවුණා වූ පණුවන් වෙනුවට තව පණුවො ටිකකට ජිවිතය දුන්නා කියලා හරි හිතන්න. මේවා කළ යුතුද නොකළ යුතුද කියන ප්‍රශ්නය නෙමෙයි. දැන් අපේ ප්‍රශ්නෙ අපි විසද ගන්න එපැයි. තේරුණාද?

පණුවන්ට කෑම දාන්න කියලා කිව්වට මනුෂ්‍යයෝ සමහරවිට මට හිනාවෙන්නත් පුළුවන්. නමුත් ප්‍රශ්නය තියෙන්නෙ ඔබේ හිතේනේ. ඔබයි මේ ප්‍රශ්නය ඉවර කරගන්න ඕනේ. ඒ නිසයි එවැනි පණුවන් ගැවසෙන කාණුවක් ළඟට හරි ගිහිල්ලා ඒගොල්ලන්ට කෑම ටිකක් දාලා මගේ අතින් අර සතුන්ට වුණා වූ අකුසලයට නැත්නම් පීඩාවට මම මේ සතුන්ට සරණක් වුණා ය කියලා අරක යටපත් කරලා දානවා. ඒක එකක්. ඒ කියන්නේ කළා වූ අකුසලය ශක්තිමත් කුසලයක් තුළින් යටපත් කරලා දානවා.

දෙවනි එක දරුවෝ අපෙන් සිල්පදයක් බිදිලා තියෙනවා නම්, අකුසලයක් සිද්ධ වෙලා තියෙනවා නම් දැන් ඒක සිද්ධ වෙලා ඉවරයි. දැන් කරන්න දෙයක් නැහැ. ඒ නිසා සිද්ධ වුණා වූ අකුසලය, සිද්ධ වුණා වූ සිල්පද බිදීම විදර්ශනා නුවණින් දකින්න.

දැන් මගෙන් සිල්පදයක් බිදිලා තියෙනවා නම් ඒ බිදුණු සිල්පදය මතකයට එන සෑම මොහොතක් පාසාම අපි අනිත්‍යයි කියලා දකින්න ඕනේ. ඒ බිදුණු සිල්පදය නිසා සකස් වෙන්නා වූ සංස්කාරය අනිත්‍ය වූ සංස්කාරයක්ය කියලා දකින්න. එතකොට මොකක්ද වෙන්නේ? බිදුණා වූ සිල්පදයත් අපි විදර්ශනා නුවණින් දැක්කා.

දැන් අංගුලිමාල මහ රහතන් වහන්සේ, අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන නවසිය අනූනවයක් කරලා තිබ්බේ. මුළු ශරීරයම ලෙයින් පෙගිලා තිබ්බා. ඇගිලි මාලේ ඇගිලි නවසිය අනූනවයක් තිබ්බා. මේ සා දරුණු සිල්පද බිදීමකට ලක්වුණු අංගුලිමාල තරුණයා බුදුරජාණන් වහන්සේ දෙන එක කමටහනින් උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ කළා.

කොහොමද අවබෝධ කළේ? වුණා වූ සෑම අකුසලයක් ම අනිත්‍ය සංඥාවෙන්, විදර්ශනා නුවණින් පංච උපාදානස්කන්ධයක් හැටියට දැක්කා.

ඒ නිසා එක පැත්තකින් කළාවූ අකුසලය ශක්තිමත් කුසලයකින් යටපත් කර ගන්න. අනිත් පැත්තෙන් නිරතුරුව ම වුණාපවූ අකුසලය එහෙම නැත්නම් සිල්පද බිදීම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරන්න.

ඒ වැරැද්ද සිහිපත් වන සෑම මොහොතකම ඒ සිත අනිත්‍යයි කියලා දකින්න. ඒ සිත අනිත්‍යයි, අනිත්‍යයි කියලා දකිමින් පුරුදු වෙනකොට ඒක අපෙන් මැකිලා යනවා. ආයෙමත් මතුවෙලා එන්නේ නැහැ.

එහෙම නැත්නම් කෙනෙක් කළා වූ අකුසලයක් නිතර මතක් වෙනවා නම් ඒක බරපතළ වූ අනතුරක් එයාගේ අවසාන චුති සිතට.