මේ රාත‍්‍රියේ සුළඟ හරියට සැරයි, සුළෙඟ් වේගයට කැලේ ගස් කොළන්වල අතු, ඇඹරෙන හඬින් පරිසරයම ඝෝෂාකාරී වෙලා, ඕනෑවට, එපාවට වැටෙන වැහි පොද, කුටියේ වහලය මතට වැටෙන ශබ්දය වරින් වර ඇසෙනවා. ස්වභාවධර්මය හරියට වේගවත් වෙලා, හරියට අකීකරු වෙලා. ස්භාවධර්මය මනුෂ්‍ය අපිට සැපවේදනාවන් සහ උපේක්ෂා වේදනාවන් ලබාදෙනවා හුඟාක්ම අඩුයි. අජීවී ස්වභාවධර්මය, සජීවී අපිට, දුක්වේදනාවන්ම වැඩිපුර ලබාදෙන්නේ, පිංවත් මනුෂ්‍ය අපේම අතීත අකුසල් සංස්කාර නිසාමයි.
පිංවත් මනුෂ්‍ය සමාජයේ ශීලයේ දුර්වලභාවයන් හේතුවෙන්, අකාලයේ මියැදෙන, මනුෂ්‍යයාගේ චිත්ත විශුද්ධිය, මනුෂ්‍ය සමාජයට වර්තමානයේ ඉතිරි කොටදි තිබෙන්නේ, ඉන්ද්‍රීය අසංවරභාවය පමණක්මයි. මනුෂ්‍යයින්ගේ දෝරේ ගලායන ඉන්ද්‍රීය අසංවරභාවය, ස්වභාවධර්මය පූර්වාදර්ශයට අරගෙන වගෙයි පෙනෙන්නේ. නරක යාළුවන් ආශ‍්‍රය කළොත්, අපි කවුරුත් නරක් වෙනවා. ඒ නිසාම ස්වභාවධර්මයේ කාලසටහන් නිරතුරුවම වෙනස්වීම් වලට ලක්වෙනවා.
සම්මා සම්බුද්ධ ශාසනයත්, ස්වභාවධර්මයත් අතර තිබෙන්නේ, බොහෝම සමීප සම්බන්ධතාවයක්. බුදුරජාණන් වහන්සේ තම ශ‍්‍රාවකයන්ට දේශනා කොට තිබෙන්නේ, ස්වභාවධර්මයේම කොටසක් වෙන්නය කියලා. තමාගේ අධ්‍යාත්මික සතර මහාධාතුවන්, ස්වභාවධර්මය නැමති බාහිර සතර මහාධාතුවන් යනු දෙකක් නොව එකක් වශයෙන් දකින්නය කියලා.
භික්ෂූන් වන අපි, කොන්ක‍්‍රීට් ගොඩවල් මඟහැරලා, ආරණ්‍යයකට, ශුන්‍යගාරයකට, රුක්ඛමූලයකට වඩින්නේ, අපිත් ස්වභාවධර්මයේම කොටසක් යැයි සැක හැර දැනගැනීමට අවශ්‍ය සම්මා සමාධිමත් සිතක් ඇතිකොට ගැනීම සඳහායි. සම්මා සමාධියෙන් තොරව, අපි දකින ලෝකය තුළ අවිද්‍යාව කැටිවෙලයි තිබෙන්නේ. ඒ නිසාම අපේ දැක්ම පිරිසිදු නැහැ. ශ්‍රී සද්ධර්මය නුවණින් මෙනෙහිකිරීමේ දුර්වලතාවය නිසාම, සතිය චංචලවයි තිබෙන්නේ. චංචල සතිය නිරතුරුවම, සම්මා සහ මිච්ඡුා දෙධර්මයන් දෙසට අපිව දෝලනය කරනවා. අපේ සතිය චංචල වෙත්දි සද්ධා, වීර්ය, සමාධි, ප‍්‍රඥා යන ධර්මතාවයනුත් චංචල වෙනවා. සෘනාත්මක දිශාවට මේ චංචලවීම් සිද්ධවෙන්නේ, ඔබේ ඵස්සය කම්පනය කරමින්, විඤ්ඤාණය දෙසට හමන තෘෂ්ණාවේ වියළි සුළං රැළි නිසාමයි.
යම් පිංවත් භික්ෂුවක් තම සම්මා සමාධිමත් සිත උපයෝගිකොටගෙන උතුම් සම්මා ඥානයන් දෙසටයි ගමන් කරන්නේ, උතුම් සම්මා ඥානයන් කෙරෙහි බැසගත් භික්ෂුවකගේ ජීවිතය ධර්ම පර්යේෂණාගාරයක් වෙනවා. එම භික්ෂුව බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවන් ගුරුතැන්හි තබා, නොයෙක් ධර්ම පර්යේෂණයන් සිද්ධකරනවා.
එම භික්ෂුව තම සමාධිමත් සිත උපයෝගීකොටගෙන, මිළ මුදල්, දේපළ, සමාජ සම්බන්ධතාවයන්, යාන වාහන, දායක කාරකාදීන්, මේ සියලූම සංඥාවන් ශුන්‍ය කොට දමනවා. සෑම සංඥාවකින්ම හිස් වෙනවා, උන්වහන්සේ තුළ දැන් තිබෙන්නේ කුටිය කියන සංඥාව පමණක්මයි. මෙතෙක් ජීවිතය කරක් ගැසූ, සංකීර්ණ පංචඋපාදානස්කන්ධ ලෝකයම ශුන්‍යකොට, සිත කුටිය කියන සංඥාව තුළ නැවතිලා. අනවශ්‍ය අවිවේකී සංඥාවන් සියල්ලෙන්ම බැහැර වූ සිත, කුටිය කියන සංඥාව තුළ, විවේකයේ උපරිමයට ඇවිල්ලා තිබෙන්නේ.
මෙම සටහන කියවන පිංවත් ඔබ, මේ මොහොතේ සද්ධර්මයක් කියවීමෙන්, නුවණින් මෙනෙහි කිරීමෙන්, ඔබ තුළ සකස් වී ඇති සමාධිමත් සිත උපයෝගීකොටගෙන, ඔය ආසනයේම වාඩිවෙලා, දෑස් පියාගෙන මොහොතක්, සියලූ සංඥාවන් ජීවිතයෙන් මොහොතක් හිස් කොට දමන්න. ඔබගේ ඥාතීන්, හිත මිතුරන්, රැකියා ව්‍යාපාර, අධ්‍යාපනය, මිළ මුදල්, රන්, රිදී මේ සෑම සංඥාවන්ගෙන්ම මිදී ඔබේ කුටිය, ඔබේ කාමරය කියන සංඥාව තුළ පමණක් සිටින්න.
බැඳීම්, වගකීම් වලින් බැහැර වූ කුටිය, කාමරය කියන සංඥාව තුළ පමණක් ස්ථානගත වූ ඔබේ විවේකී සිත, තව තවත් සමාධිය දෙසටම, සප්තබොජ්ඣංග ධර්මයන් දෙසටම ඔබව රැගෙන යන අපූරුව ඔබ දකින්න. බාහිර ලෝකයෙන්ම මිදී කුටිය කියන සංඥාව පමණක් දකින්න.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කුටි සංඥාව පමණක් දකින එම භික්ෂුව, මීළඟට එම කුටි සංඥාවෙන් බැහැරව, පඨවිය කියන සංඥාව තුළින් කුටිය දකිනවාය කියලා. දැන් එම භික්ෂුව කුටි සංඥාවෙනුත් මිදී පඨවි කියන සංඥාව තුළයි ස්ථානගතවෙලා සිටින්නේ. භික්ෂුවකගේ සම්මා ඥාණ නැමති ධර්ම පර්යේෂණාගාරයේදී මෙවැනි පර්යේෂණයන් නිරතුරුවම සිදුවිය යුතුව තිබෙනවා. මොකද සම්මා ඥාණයන්ගෙන් තොර විමුක්තියක් නොමැති නිසා.
බාහිර ලෝකයෙන්ම බැහැරවී, කුටි සංඥාවටත්, කුටි සංඥාවෙන් ද බැහැරවී පඨවිය කියන සංඥාවටත් පැමිණි එම භික්ෂුව, ඉන් ඉක්බිති, තමා අවට තිබෙන පරිසරය, ගහකොළ, සතා සිවුපාවුන්, මහපොළොව, කඳු හෙල්, ඉර හඳ තාරකා යැයි දකිනා සියළුම සංඥාවන් සිහිපත්කොට එම සෑම සංඥාවක්ම පඨවි කියන සංඥාවෙන් දකිනවා.
දැන් එම භික්ෂුව, මෙතෙක් තමන් සමඟ ජීවත් වූ සංකීර්ණ සම්මුති ලෝකය, සරල භාවයට පත් කරලා, පඨවිය කියන එකම සංඥාවක් තුලිනුයි ලෝකය දකින්නේ. එම භික්ෂුවගේ ඵස්සය අසලින්, තෘෂ්ණාව සැඟවී ගිහිල්ලා, ඇලීම් සහ ගැටීම් වලින් තොර ධර්මයේ උපේක්ෂාව, ඵස්සය වටා තාවකාලිකව වැට බැඳලයි තිබෙන්නේ.
උතුම් සද්ධර්මයේ ස්වාක්ඛාත ගුණය, වර්තමානයේ ඒහිපස්සිකව එම භික්ෂුව තමා තුළින්ම දකිනවා. භික්ෂුව ඉදිරිපිට බිත්තියේ එල්ලා තිබෙන ඔරලෝසුවේ තත්පර කටුව ඉදිරියට යනවා වගේම, එම භික්ෂුවගේ දැක්ම සිතුවිල්ලෙන්, සිතුවිල්ල වැඩෙන්නේ, පඨවිය කියන එකම අර්ථය තුළ ස්ථානගතවෙලයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පඨවි සංඥාව තුළ ස්ථානගතවී සිටින එම භික්ෂුවට, දැන් එම පඨවි සංඥාවන් අනිත්‍ය වශයෙන් දකින්නය කියලා. දැන් එම භික්ෂුව විදර්ශනාත්මක පඨවි සංඥාව තුළයි ජීවත් වෙන්නේ. එම භික්ෂුව ආධ්‍යාත්මික සහ බාහිර සියළුම රූප සංඥාවන් හිස්කරලා, සියළුම රූපයන් පඨවි සංඥාවෙන් දැකලා, දැන් එම පඨවි සංඥාවන් අනිත්‍ය වශයෙන් දකිනවා.
පඨවි සංඥාව තුළ “මම” කියලා “මගේ” කියලා දෙයක් නැති බව නුවණින් දකිනවා. අධ්‍යාත්මික සහ බාහිර රූපයන්ගේ ඇත්ත ඇති සැටියෙන් දකින එම භික්ෂුව, පඨවි ධාතුවේ අනිත්‍යභාවය දැකීමෙන්, විදර්ශනාත්මක සප්තබොජ්ජංගයන් තුළ මොනවට ස්ථානගතවී සිටින එම භික්ෂුව, තම විවේකී සංසිඳුණ සිත, ධ්‍යානගත සමාධියට යොමුකරනවා. උන්වහන්සේ රූපවචර ධ්‍යාන සිත්සේ අත්විඳිනවා.
දැන් උන්වහන්සේ පළිබෝධවලින් තොරව තමන් අත්දකින රූපාවචර ධ්‍යානයන්ද අනිත්‍ය වශයෙන් දකිනවා. මුල් වටයේ දී පඨවි ධාතුවේ අනිත්‍යභාවය මොනවට අත්දැක තිබූ එම භික්ෂුව, පඨවි ධාතුව ඇසුරේ වැඩෙන, රූපාවචර ධ්‍යානයන්ට තෘෂ්ණාවෙන් බැඳීයන්නේ නැහැ. අනිත්‍යභාවයට පත්වෙන පඨවි ධාතුව ඇසුරේ සකස්වෙන ඕනෑම ධර්මතාවයක්, අනිත්‍යයි කියන අර්ථය හැර, වෙනත් අර්ථයකට සිත වැඩෙන්නේ නැහැ.
දැන් එම භික්ෂුව තමා තුළින් සකස් වූ රූපාවචර සංඥාවන්ද ශුන්‍යකරමින්, අරූපාවචර ධ්‍යානයන්ට, රූප පළිබෝධයන්ගෙන් තොරව, සිත සිත්සේ මෙහෙයවනවා. එම භික්ෂුව, අරූපාවචර ධ්‍යානයන් කැමැති තාක් අත්විඳ එම අරූපාවචර ධ්‍යානයන්ගෙන් බැහැරවී, තමා අත්විඳි අරූපාවචර ධ්‍යානයන්ගේද අනිත්‍යභාවය නුවණින් දකිනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, යම් භික්ෂුවක් සියළු ආධ්‍යාත්මික සහ බාහිර රූප සංඥාවන් සියල්ලම ශුන්‍යකොට, පඨවිය කියන එකම අර්ථයට සියල්ලම අරගෙන, එම පඨවි සංඥාවන් අනිත්‍ය වශයෙන් දැකලා, ඇලීම් සහ ගැටීම් වලින් බැහැරවූ උපේක්ෂාසහගත සිතින් තමන් අත්දකින රූපාවචර සහ අරූපාවචර ධ්‍යානයන්ද අනිත්‍ය වශයෙන් සතරසතිපට්ඨාන ධර්මයන් තුළින් සහ පංචඋපාදානස්කන්ධ ධර්මයන් තුළින්ද දකියි ද, එම භික්ෂුවට තමන් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වුනාය කියන; දැක්ම, තමා තුළින් තමා දකිනවා, නියත විශ්වාසයට පැමිණෙනවාය කියලා.
භික්ෂුව ඉහත සටහන තැබුවේ සූත‍්‍රගත ධර්මය ඇසුරෙන්, පිංවත් ඔබේත් මගේත්, නිවන් මාර්ගයේ ශක්තිය උදෙසාය. කිකිළියක් තම බිත්තර හොඳින් ප‍්‍රවේශම් සහගතව, සුවසේ, ශරීරයෙන් මොනවට උණුසුම් කරලා, බිත්තරවල ආරක්ෂාවත්, බිත්තර රැක්ම උදෙසා පමණක් අවශ්‍ය අවම ආහාරයෙන්, අවම ජලයෙන් දිනකට එක වේලක් පමණක් යැපිලා, බිත්තර හොඳින් මෝරා, දින දහ අටක් පමණ ගතවෙත්දී, එම බිත්තර හොඳින් උණුසුම් වී, නියමිත පරිදි කිකිළි පැටවුන්, පා, නිය, අගින් හෝ මුව තුඩින් බිත්තර සිදුරුකොටගෙන, සුවසේ බැහැරට නික්මෙන්නා සේ, බුදුරජාණන් වහන්සේට කීකරු ශ‍්‍රාවකයින්, සංසාර බිය දැකලා, සංසාර දුක දැකලා, ආර්ය මාර්ගය කෙරෙහි විශ්වාසයෙන්, අනතුරු කෙරෙහි මනා සිහිනුවණින්, පංචඋපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාව, මධ්‍යස්ථ වීර්්‍යයෙන් යුතුව නිරෝධය කරලා, මෙතෙක් ජීවිතය උණුසුම් කළ, අවිද්‍යාවේ ඝණ අණ්ධකාර පටලය, අනිත්‍ය සංඥාවේ, පා, නිය, අගින් සිදුරුකොට, අවිධ්‍යාවේ ආලෝකයට නිරාවරණය වෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
කිකිළිය ආරක්ෂාකාරීව බිත්තර නොරැක්කා නම්, අපිට කුකුල් පැටවුන් බලාපොරොත්තු වෙන්න බැහැ. අපිත් අධික වීර්්‍යයෙන් හෝ හින වීර්්‍යයෙන් ආර්ය අශ්ඨාංගික මාර්ගය ජීවිතයට එකතුකොට ගතහොත්, අපේ ජීවිත තුළින් සත්තිස්බෝධිපාක්ෂික ධර්මයන් සුවසේ කලඑළි බහින්නේ නැහැ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පිංවත් ඔබ අනිත්‍ය වූ සතරමහාධාතුව “මගේ” කොට ගතහොත්, “මම” යැයි සිතා ගතහොත් ඒ ඔබ කැමැත්තෙන්ම පිළිගන්නේ දුකයි කියලා. පසුගිය දිනක භික්ෂුවට මුණගැසීමට පැමිණි කඩවසම් පෙනුමෙන් යුත් තරුණ මහත්මයෙක් ප‍්‍රකාශ කළේ, ස්වාමින් වහන්ස මගේ ශරීරය පුරා පිළිකාවක් පැතිරෙනවාය කියලා. ඒ පිංවත් මහත්මයාගේම වචනවලින් ඒ මහත්මයා කියනවා, මම තරුණ කාලයේ පටන් මේ රූපය මගේම යැයි රැවටිලා, ඒ රූපය නිත්‍ය, සැප, සුභ, ආත්මීය යැයි රැවටිලා, මේ රූපය ලස්සන කරන්න, ශක්තිමත් කරන්න, නිරෝගී කරන්න, ගොඩාක් කෘතිම ආහාර, විටමින් වර්ග, රූපලාවණ්‍ය ක‍්‍රමවේදයන් සිත්සේ ජීවිතයට එකතුකොට ගත්තා. මට තිබුණු එකම ආශාව සමාජය තුළ ලස්සනට කඩවසම්ව සිටින්න. අද මට තේරෙනවා මේ සියල්ල මිරිඟුවක්ය කියලා. අද මට ඉතිරිවෙලා තිබෙන්නේ, නිරෝගිභාවයේ මුල් කුණුවී උපන් පිළිකාවේ මුල් ඇදගත් ජීවිතයක් පමණක්මයි කියලා.
පිංවත් ඔබලා සෑම මොහොතකම ස්වභාවධර්මයෙන් ඈතට යනවා, ස්වභාවධර්මය නිත්‍යයි, සැපයි, සුභයි, ආත්මීයයි කියන සංඥාවන්ගෙන් ස්වභාවධර්මය වෙනස් කරනවා. පිංවත් ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන්නේ සතර මහාධාතුවෙන්ම සැදුණ ස්වභාවධර්මයේම කොටසක්. නාමරූප පච්චයා සළායතන කියන ධර්මථාවය ඔස්සේ ඔබට ලැබුණ ඇස, කන, නාසය, දිව, ශරීරය පිංවත් ඔබ මොනතරම් නම් අස්වාභාවික, කෘතිමභාවයන්ට පත්කොට ගන්නවාද.
ඇස, කන, නාසය, දිව, ශරීරයට ඔරොත්තු නොදෙන, දරාගැනීමට නොහැකි, කෘතිම ආහාරපාන, රූපලාවර්ණ, ඇඳුම් ආයිත්තම්, ආභරණ, ව්‍යායාම, සළායතනයන්ට බරක් කොට ගන්නවා, පීඩාවක් කොට ගන්නවා. අවසානයේ අපි ස්වභාවධර්මය විකෘතිකොටගෙන ජීවත්වෙන අස්වාභාවික මනුෂ්‍යයින් බවටයි පත්වෙන්නේ. මේ අවාසනාවන්ත අස්වාභාවික මනුෂ්‍ය ජීවිත, වර්තමානයේ අපිට ඉතිරිකොටදී තිබෙන්නේ, විසිරුණු සිතක් සහ රෝගී ජීවිතයක් පමණක්මයි.
පිංවත් ඔබ රූපය “මම” යැයි, “මගේ” යැයි, මගේ ආත්මය යැයි නොගෙන, රූපය සතරමහාධාතුවක් වශයෙන් දකින්න. එවිට පිංවත් ඔබට ධර්මානුකූලව ශක්තිය ලැබේවි. සම්මුති ලෝකය ඉදිරියේ ලස්සන වීමට, කඩවසම් වීමට යන මෝහමූලික අනුවනකමෙන් මිදී, ඔබේ ඇස, කන, නාසය, දිව, ශරීරය තුළින්ම ලෝකය දකින්න, ලෝකයේ කෙළවර දකින්න, ලෝකයේ නිරෝධය දකින්න. පිංවත් ඔබේ සළායතනයෝ පිළිකාවන්ට හේතුකාරණාවක් වීමට ඉඩනොදී, ඔබේ සළායතනයන් ලෝකයේ නිරෝධය උදෙසාම මෙවළමක් කොටගන්න.
2020 ජූලි 12 වන ඉරු දින-
මහ රහතුන් වැඩි මඟ ඔස්සේ…
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න…
තෙරුවන් සරණයි