භාවනාව සක්කාය දිට්ඨියට හොඳ ආහාරයක්.

පිංවත, සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස දකිද්දී, ලෝකය හරිම පහසුයි. ලෝකය හරිම සරලයි. පිංවත, සද්ධර්මයේ මුදුන් මුල වෙන්නේ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ. පිංවත, අධර්මයේ මුදුන් මුල වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙනවා නම්, ඒ ජීවිතය අවිද්‍යාව දිශාවටම නැමුණු, අධර්මයට බරවුණු ජීවිතයක්. යම් ජීවිතයක් දුක කෙරෙහි, දුකට හේතුව තෘෂ්ණාව කෙරෙහි සතිය සිහිය ඇතිකොටගත් ජීවිතයක් නම්, එම ජීවිතය ආර්ය අෂ්ටාංගික මාර්ගයට නැමුණු, සප්ත බොජ්ඣඬ්ඟයන් වැඩෙන, නිවන් මාර්ගයට බරවුණු ජීවිතයක්ම වෙනවා. පිංවත, අපි ජීවත්වෙන සමාජයේ වගකීම් දරන හුඟාක් දෙනෙකුගේ ජීවිත කාමච්ඡන්ද ආදී වූ පංච නීවරණයන්ගෙන්ම බර වූ ජීවිත නේද? පිංවත, අපේ සමාජය ඉදිරියට යන දිශාව හොඳටෝම පැහැදිලියි. අවිද්‍යාවේ වැරහැලි, සංස්කාරයන්ට අන්දවා පංච උපාදානස්කන්ධ ලෝකයේ අධර්මයේ සන්දර්ශන පෙන්වන අපි තවදුරටත් සමාජයේ සිදුවන වැරදි වලට බැණලා වැඩක් නැහැ. පංච නීවරණයන්ට පුළුවන් තවදුරටත් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව ලොකු මහත් කරන්න පමණක්මයි. පිංවත, පංච නීවරණයෝ ඊට අදාළ හැසිරීම් තුළ පමණක්මයි කටයුතු කරන්නේ. පිංවත, ඔබට මේ අධර්මයෙන් ජරාජීර්ණ වූ සමාජයේ යහපත් වෙනසක් අවශ්‍ය නම්, පංච නීවරණ ජන්ම ගති වලට තවදුරටත් චෝදනා නොකර සති සම්බොජ්ඣඬ්ඟයෙන් පෝෂණය වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයට නැමුණු ජීවිතයක් බවට ඔබගේ ජීවිතය පත්කොට ගන්න.

පිංවත, ඔබට මෙලොව හෝ පරලොව සැපය අවශ්‍ය නම්, පිංවත, ඔබට ලෞකික හෝ ලෝකෝත්තර සැපය අවශ්‍ය නම්, ඉහත සැපයන් ඔබට ලබා දෙන්න පුළුවන් සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ වැඩුණු ජීවිත වලට පමණක්මයි. පිංවත, ඔබත් සමාජ වගකීම් දරන නායකයෙක් නම්, තවදුරටත් ඔබගේ නායකත්වය අකුසලයෙන් දූෂණය කරන, කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව කියන පංච නීවරණ ධර්මයෝ නිවැරදිව හඳුනා ගන්න. පිංවත, භික්ෂුව පංච නීවරණයන් නිවැරදිව හඳුනා ගන්න යැයි සටහන් තැබුවත්, පංච නීවරණයෝ කෙසේ නම් පංච නීවරණයෝ හඳුනා ගන්න ද? අපි ජීවත්වෙන සමාජය දවසින් දවස අරාජිකභාවයෙන්ම පෙරට ගමන් කරන්නේ පංච නීවරණයෝ, පංච නීවරණයන්ට හඳුනා ගන්න නොහැකි නිසාමයි. පිංවත, පංච නීවරණ යම් තැනක ද එතැන තමාටත් අනුනටත් දුකටමයි පාර කියන්නේ. ජාති, ජරා, ව්‍යාධි දුකට හේතුව තෘෂ්ණාව යැයි නොදන්නා අවිද්‍යාවට ජවය, ජීවය දෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. පිංවත, අපේ පංච නීවරණ පිරුණු ජීවිත යළි යහ මගට ගැනීමට අවශ්‍ය නම්, සප්ත බොජ්ඣඬ්ඟයන් වඩන නායකයන් සමාජයට අවශ්‍යයි. මේ අතොරක් නැතිව සමාජගතවෙන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි අබමල් රේණුවක තරම්වත් නුවණක් නැති ඇත්තෝ අපිට කෙසේ නම් සැබෑ ලෞකික හෝ ලෝකෝත්තර සැපයන් ලබා දෙන්න ද? පිංවත, ඔබ ජීවත්වෙන බංකොලොත් ණයකාර සමාජයට වහ වහා විප්ලවීය වෙනසක් අවශ්‍යයි. ඔබ නොදකින රැඩිකල්වාදී වෙනසක් අවශ්‍යයි. එම විප්ලවීය වෙනස විය යුත්තේ, පංච නීවරණ රජ කරන සමාජ නායකත්වය වෙනුවට දුකට එකම හේතුව තෘෂ්ණාව යැයි දන්නා, සති සම්බොජ්ඣඬ්ඟයෙන් පෝෂණය වූ ධම්ම විචය බොජ්ඣඬ්ඟයට නැමුණු, සප්ත බොජ්ඣඬ්ඟයන් පුහුණු කරන සමාජ නායකයන්ට වගකීම් පැවරීමයි. පිංවත, තවදුරටත් අධර්මයේ නොමග වැඩෙන බොරු දේවල් කරමින් සිටින්නේ නැතුව, සමාජයේ ජීවත්වෙන චතුරාර්ය සත්‍යය ධර්මයන් කෙරෙහි සිහිනුවණ ඇති පිංවත් මනුෂ්‍යයෝ මේ විප්ලවීය වෙනසට සමගියෙන් අත්වැල් අල්ලා ගන්න. වැරදි කරන පංච නීවරණ ජීවිත වලට තවදුරටත් චෝදනා කරලා පවු පුරවා ගන්නේ නැතිව හේතුඵල ධර්මයන් තුළින් ඔබ ජීවත්වෙන සමාජය දකින්න. පිංවත, තෘෂ්ණාව වැඩි තැන දුක රජ වෙනවා.

පිංවත, තෘෂ්ණාව අවම වූ තැන ශෝක පරිදේව දුක අවම වෙලා සැපය කළ එළි බහිනවා. සමාජය තුළ ඔඩුදුවන ශෝක, පරිදේව දුක යම් පමණකට හෝ යටපත්කොට යළි ලෞකික සැපය ඔබට අවශ්‍ය නම්, තෘෂ්ණාව අඩු පිරිසක් අපේ නායකයෝ හැටියට කළ එළි බහින්නම වෙනවා.

පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් විමසුවා, ස්වාමීන් වහන්ස අනිත්‍ය සංඥාව වැඩීමේ දී සියල්ලම එපා වෙන්නේ ඇයි කියලා. පිංවත, අනිත්‍ය සංඥාව වැඩීමේ දී ඔබට සියල්ල එපා වෙන්නේ, පිංවත් ඔබ තුළ සියල්ලම එපා වෙනවා යැයි සකස්වෙන සිතුවිලි අනිත්‍ය වශයෙන් චිත්තානුපස්සනාවෙන් නොදකින නිසාමයි. පිංවත, මෙය සටහන් තබන භික්ෂුවට නම් කිසිම දෙයක් එපා වෙලා නැහැ. භික්ෂුව කිසිම දෙයක් යැයි සටහන් තැබුවේ අධ්‍යාත්මික සහ බාහිර පංච උපාදානස්කන්ධ ධර්මයෝමයි. භික්ෂුවගේ හැට වයස් පිරුණු අධ්‍යාත්මික රූපය දැන් ජරා, ව්‍යාධි, මරණයන්ට තෝතැන්නක් වෙලයි තිබෙන්නේ. ඒත් භික්ෂුවට රූපය එපා වෙලා නම් නැහැ. භික්ෂුව අධ්‍යාත්මික සහ බාහිර රූපයන් දෙස ධර්මයේ උපේක්ෂාවෙන්මයි දකින්නේ. අවිද්‍යා පච්චයා සංඛාරා. පිංවත, අපි දක්ෂ වියයුතුයි ජීවිතය එපාවීම වෙනුවට, ජීවිතය එපාවීමට හේතුව දකින්න. පිංවත, ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය ඔබ අවිද්‍යාවෙන් ගත්තොත්, ඔබ නිරෝධයට ඇලිලා ඔබ ජීවත්වීමට ගැටෙනවා. පිංවත, මේ තැන විදර්ශනාවේ බොහෝම ළදරු අංගවිකල ස්වභාවයක්. මෙවැනි විදර්ශනාවේ නොමේරූකම් වල දී ඔබ දක්ෂ වියයුතුයි, අනිත්‍ය සංඥාව වැඩීමට පෙරාතුව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ජීවිතයට එකතුකොට ගැනීමට. පිංවත, ජීවිතය කියලා කියන්නේ අවිද්‍යාව හේතුවෙන් ඉපදුනා වූ ධර්මතාවයක්. පිංවත් ඔබට ජීවිතය එපා නම්, ජීවිතය නොවේ ඔබේ ඉලක්කය විය යුත්තේ අවිද්‍යාවයි. පිංවත, අවිද්‍යාව නිරෝධය කරන මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය මිස, මිච්ඡා කළකිරීමෙන් ජීවිතයෙන් හෝ ධර්මයෙන් පලායෑම නොවේ.

පිංවත, භාවනාවේ දී පටිච්චසමුප්පාද ධර්මයෝ ඔබට මගහැරුණොත්, ඔබේ භාවනාව සක්කාය දිට්ඨියට හොඳ ආහාරයක් වෙනවා. සක්කාය දිට්ඨිය භාවනාවට ආහාරයක් වෙද්දී, තමන් පුහුණු කරන භාවනාව මම ය, මගේ ය, මගේ ආත්මය යැයි ගන්නවා. භාවනාව තුළ මා සිටිනවා, මා තුළ භාවනාව තිබෙනවා යැයි ගන්නවා. නෙක්ඛම්ම සංකප්පය වඳ බැහැපු මෙවන් භාවනාවන් හේතුවෙන් මානසික ව්‍යාධීන් උත්සන්න වෙන්න පුළුවන්. පිංවත, වේදනානුපස්සනාවෙන් තොරව වැඩෙන අපේ භාවනාව අපිව ඇලීම් සහ ගැටීම්වල සිරකරුවන් බවට පත්කරනවා. පිංවත, චිත්තානුපස්සනාවෙන් තොරව වැඩෙන අපේ භාවනාව, අපිව විතර්කයන්ගේ සිරකරුවන් බවට පත්කරනවා. පිංවත, ධම්මානුපස්සනාවෙන් තොරව වැඩෙන අපේ භාවනාව අපිව ධර්මතාවයන්ගේ සිරකරුවන් බවට පත්කරනවා. පිංවත, පංච උපාදානස්කන්ධ ලෝකය තුළ බැසගත්ත අවිද්‍යාවේ සිරකාර මානසිකත්වයෙන් ඔබව ගලවා දෙන්නේ සතර සතිපට්ඨාන ධර්මයෝමයි. පිංවත, ඔබ නිවන කෙරෙහි ඇලීමත්, භවය කෙරෙහි බැඳීමක්ම වෙනවා. ඵස්සය සෙවනේ සැඟවුණ අවිද්‍යාවේ මාර ධර්මයෝ විඳීම් විකසිත කරන්නේ උපේක්ෂාව අපෙන් සඟවලා. පිංවත, ඔබ නිවන කෙරෙහි ඡන්දය ඇතිකොටගත් පිංවතෙක් නම්, ඔබ නිවනට ඇලිලා භවයට ගැටෙන්න එපා. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධයත් හේතුඵල ධර්මයක් හැටියටම දකින්න. අවිද්‍යා නිරෝධා ජාති, ජරා, ව්‍යාධි, මරණ නිරෝධෝ. එම ධර්මතාවයත් අනිත්‍ය වූ ධර්මතාවයක් යැයි ධම්මානුපස්සනාවෙන් පිරිසිදු කොටගන්න. පිංවත, ඵස්සයේ අවිද්‍යාවෙන් සිත නිදහස් කොටගන්න. එතැනයි ආශ්වාදයත්, ආදීනවයත් මරා දැමූ සැබෑ නිස්සරණය තිබෙන්නේ. පිංවත, නිස්සරණය කියන්නේ ජයග්‍රහණයක් නොවේ. නිස්සරණය කියන්නේ හේතුඵල ධර්මයක්. ඔබ නිස්සරණය ජයග්‍රහණයක් කොටගත්තොත් නිස්සරණයේ නාමයෙන් ඔබ රැවටී තිබෙන්නේ ආශ්වාදයටමයි. පිංවත, අවිද්‍යාවේ මාර ධර්මයෝ තෘෂ්ණාවේ අත්දැකීම් වලින් බොහෝම ගොරහැඬියි. ඒ නිසාම සිතුවිල්ලෙන් සිතුවිල්ල හොඳින් සිහිය පිහිටුවා ගන්න ඕනේ.

පිංවත, පංච නීවරණ මන්දාරම අපේ ජීවිත අඳුරු කරද්දී, තොරතෝංචියක් නැතිව කෙලෙස් වැසි වසිනවා. පිංවත, කෙලෙස් වැසි වලට තෙමෙන්න අපි මොනතරම් නම් කැමති ද? ඵස්සයේ වළාකුළු වලට ඇඟිල්ලෙන් ඇනලා හරි කෙලෙස් වැසි වස්සවා ගන්න අපි හරිම දක්ෂයි. ආශ්වාදය මැදින් ආදීනවයම සොයාගෙන යන අපි අපේ නිස්සරණය කෙලෙස් වැසි වලින්ම සේදී යන්න හරිනවා. පිංවත, අපි නොදකින, එහෙත් අපි තුළම සකස්වෙන අධිකරණයක් තිබෙනවා. ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ මේ අධිකරණයේ ජූරි සභිකයන් වෙනවා. පිංවත, සෑම නිමේෂයකදීම අපිව විනිශ්චයට ලක් වෙනවා. අපි තුළ සකස්වෙන සෑම සිතුවිල්ලක් පාසාම සංස්කාර අධිකරණය අපිට දැනීම් තුළින් දඬුවම් නියම කරනවා. පිංවත, අපේ පියවි ඇසට නොපෙනෙන අරූපී ධර්මතාවයෝ අපිව විනිශ්චයට ලක් කරද්දී, අපි තවමත් මේ කාව ද රවටන්නේ? පිංවත, අපි රැවටෙනවා මදිවාට අපි අනුන්වත් රවට්ටනවා. පිංවත, අපේ අතීත පංච උපාදානස්කන්ධ ලෝකය දිගින්, පළලින්, උසින්, ගැඹුරින් මේ පරක් තෙරක් නොපෙනෙන විශ්වය තරමටම විශාලයි. ඒ අවිද්‍යාවේ සුවිශාලත්වයට මුල් වූ හේතුව වචන කිහිපයකට කැටිකොට කියනවා නම්, භික්ෂුව කියන්නේ තමා තමාව රවටා ගැනීම කියලාමයි. පිංවත, තවදුරටත් තමා තමාව රවට්ටවා ගන්න එපා. කෙලෙස් මඩ ගොහොරුවක හටගෙන, මඩෙහි නොතැවරී ලෝකයට විකසිතවෙන පියුමක් වෙන්න. උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා විමුක්තිය දක්වා දස පියවර සිහිනුවණින් තබන්න.

පිංවත, අවිද්‍යාව කෙරෙහි ලැජ්ජාව, බිය ඇතිකොට ගන්න. අවිද්‍යාවට මුල්වෙන පංච නීවරණයෝ සතුරෙක් නොව, හේතුඵල ධර්මයක් හැටියට දකින්න. තවදුරටත් රූපය සතුටින් පිළිගන්න එපා. රූපය අවිද්‍යාවටම භාර දෙන්න. එවිට ඵස්ස, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණයන් ඉදිරියේ අපි අසිහියට පත්වෙන්නේ නැහැ. පිංවත, අතීත සංස්කාර ඉදිරියේ ඔබ නෝන්ජල් වුණොත්, පින සහ පව යන දෙකම ඔබව පාලනය කරන්න පුළුවන්. පිංවත, පින ඔබව පාලනය කළොත් ඇසූපිරූභාවයන් වගේම, මහේශාක්‍යභාවයන් ඔබේ විඳීම් සමග ඔබව මුළාවට පත්කරන්න පුළුවන්. පිංවත, පිනේ මල් වැසි වලට අසිහියෙන් තෙමෙන්න එපා. පිනේ මල් වැසි වලට අපේ ඇඳුම් තෙත බරිත නොවුණත්, අපේ විඳීම් ඉදිරියේ නෙක්ඛම්මය වාෂ්ප වෙලා යන්න පුළුවන්. පිංවත, පිංවතුන්ලා දස දහස් ගණනක් මැද දී වුව ද, ඔබ තනි වෙන්න. ඔබ හුදකලා වෙන්න. තෘෂ්ණාව දෙවෙනියෙක් කොට ඔබ ළඟට ගන්න එපා. පිංවත, තනි යහනේ තනිව නිදන ඔබ, තෘෂ්ණාවේ දෙවෙනියෙක් ළඟට ගත්තොත් ඔබ ලෝකයත් සමගම නිදන්නෙක් වෙනවා.

අතිපූජනීය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.

උපුටා ගැනීම – 2023/04/30 දිවයින පුවත්පත.