බඹසරෙහි සහ සත්‍ය වචනයෙහි ආනුභාවය.

අපේ භාග්‍යවතුන් වහන්සේ දන් වැළඳුවේ ඉතා තුනී ගල් පාත්තරයක. ශෛලමය පාත්‍රා ධාතූන් වහන්සේ කියලයි ඒ පාත්තරේට කීවේ.භාග්‍යවතුන් වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා සත්සතිය වැඩඉන්නැද්දී සත්වෙනි සතියේ වැඩ උන්නේ රාජායතන කියන කිරිපලු රුක්සෙවනේ. ඔය කාලේ තපුස්ස – භල්ලික කියන සහෝදර වෙළෙන්දෝ දෙන්නෙක් උක්කලා ජනපදයේ හිටං කරත්ත පන්සියයක බඩු පටවාගෙන යද්දී අපේ භාග්‍යවතුන් වහන්සේ වැඩ හුන් තැනට කිට්ටුවෙන් තිබුණු පාරකයි යමින් උන්නේ.

මේ වෙළෙන්දන්ගේ ඤාති දේවතාවෙක් ඒ ඇත්තන්ට පෙනිලා හිට මෙහෙම කීවා.
“පින්වත්නි, ඔහේලා දන්නවැයි ආං මහා උත්තම මුනිරාජයෙක් ශ්‍රී සම්බුද්ධත්වයට පත්වෙලා අසවල් කිරිපලු රුක්සෙවනේ වැඩඉන්නවා. ඔහේලා ගොහින් උන්නාන්සේට අග්ගලායි මීපිඬුයි පිළිගන්වන්ට. පින් කරගන්ට” කිව්වා.

එතකොට ඒ සහෝදර වෙළෙන්දෝ දෙන්නා අග්ගලයි මීපිඬුයි ඇන්න හනික භාග්‍යවතුන් වහන්සේ ළඟට පිටත්වුනා. භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොළා.
“අනේ පින්වත් මුනිරජාණන් වහන්ස, මේ අග්ගලාත් මීපිඬුත් පිළිගන්නා සේක්වා!” කිව්ව.

ඒ අවස්ථාවේ අපේ භාග්‍යවතුන් වහන්සේ ළඟ පාත්තරයක් තිබ්බේ නෑ. භාග්‍යවතුන් වහන්සේ මෙහෙම හිතුවා. ‘බුදුවරු අතින් දානේ පිළිගන්නේ නෑ. මං දැන් මේ දානේ පිළිගන්නේ මොකේටද?’ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගත් සැණින් සතරවරම් දෙව්මහරජවරු ඇවිත් “අනේ භාග්‍යවතුන් වහන්ස, මේ පාත්තරයෙන් අග්ගලාත් මීපිඬුත් පිළිගන්නා සේක්වා!” කියා ශෛලම පාත්තරා සතරක් ම පූජා කළා. අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ පාත්තර සතර එක් පාත්තරයක් බවට පත්වෙන්ට කියා අධිෂ්ඨාන කළා. එතකොට තනි පාත්තරයක් පහළ වුනා. ඒ පාත්තරෙන් තමයි පළමුවෙන්ම අග්ගලයි මීපිඬුයි පිළිගත්තේ.

එදා පටන් භාග්‍යවතුන් වහන්සේ වැඩහුන් සතළිස් පස් අවුරුද්ද පුරා ම දන් වළඳා වදාළේ ඔය ශෛලමය පාත්තරයෙනුයි. භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවාට පස්සේ ඒ බුද්ධ පාත්තරයට රජදරුවෝ මහා ආදරයෙන් පූජා සත්කාර කළා. එක්තරා කාලයක දඹදිව දේවපුත්‍ර නමින් මහා නගරයක් තිබ්බා. ඔය නගරයේ තමයි ඒ පාත්‍රා ධාතූන් වහන්සේ වැඩහිටියේ.

දේවපුත්‍ර නගරයේ රජ්ජුරුවෝ මුල්වෙලා “පාත්‍රමහපූජා” නමින් මහා පූජාවක් පවත්වනවා. පාත්‍රමහපූජාවේදී රන්රිදී මුතුමැණික් ආදී සත්රුවනින් සරසාපු අලංකාර රථයක් පිළියෙල කරනවා. ඒ රථයේ මැද රනින් කැටයම් කළ කණුවක් මුදුනේ මුතුකුඩය යට පාත්‍රා ධාතූන් වහන්සේ වඩාහිඳින්ට සලස්වනවා. ඊට පස්සේ අලංකාරව සරසාපු සුදු ඇත්තු සතර දෙනෙකු ලවා අර කරත්තේ ඇදගෙන යමින් නගරය ප්‍රදක්ෂිණා කරනවා. ඔය විදිහට සත් දවසක් මහා පෙරහර පවත්වාලා හිට අන්තිම දවසේ තුන්යම් රාත්‍රියේ ම බණක් කියවනවා.

මේ අලංකාර පාත්‍රාමහා පූජෝත්සවය බලන්ට දඹදිව නොයේක් ජනපදවලින් මිනිස්සු එනවා. ඒ වගේම මනුස්ස වේශයෙන් දිව්‍යනාගයෝ, දිව්‍ය ගුරුලෝ, යක්ෂයෝ, සිද්ධ විද්‍යාධරයෝත් එනවා. එදා බණ අහන්ට ඇවිත් සිටිය දෙවඟනක් වාගේ ලස්සන කුමාරිකාවක්. එදා මනුස්ස වේශයෙන් හිටිය නාරජෙකුට මේ යොවුන් කුමාරිව දුටු ගමන් ඈව ම සහේට ගන්ට ඕනෑ කියලා මහා ආසාවක් උපන්නා. ඉතින් මේ මිනිස් වේශයෙන් හුන් නාගරාජයා ඈට නොයෙක් අයුරින් කරුණු කිව්වා. එතකොට ඈ “මොන කරදරයක් ද මේ…. අනේ මගේ පාඩුවේ ඉන්ට දෙන්ට. මං ඕවාට කැමති නෑ” කියා ප්‍රතික්ෂේප කලා.

මේ නාගරාජයාට හොඳටෝම කේන්ති ගිහින් මං මේකිව මෙතැන මරනවා කියලා නාවෙස් අරගෙන කටින් භයානක විෂ දුමක් පිටකලා. එතකොට කුමාරි දෑස් පියාගෙන තුනුරුවන්ට ජීවිතය පූජා කර නයාට මෙත්සිත් පැතිරුවා.

“හෑ…. මේකිත් එතකොට මහා බලසම්පන්නයි. මොකෝවත් උනේ නෑ නොවැ” කියා නාරජ්ජුරුවෝ තවත් දරදඬු වුනා. රන් කරඬුවක පිච්චමල් මාලාවක් පුදන්නැහේ මේ රන්වන් කුමාරිගේ දෙපතුලේ පටන් ම දරණවැලින් ඔතාගත්තා . එහෙම ඔතාගෙන කුමාරිගේ හිසට උඩින් පෙණය කරගෙන උන්නා.

හරිම ආශ්චරියයි කුමාරි කලබල වුනේ නෑ. තැතිගත්තේ නෑ. විලාප තිව්වේ නෑ. ධ්‍යානයකට සමවැදුනා වගේ සිත තැන්පත් කරගෙන අහන බණ ටික අකුරක් නෑර සවන්දීගෙන උන්නා.

එළිය වැටීගෙන එද්දී මේං බණ අහන්ට ආ හැමෝම දැක්කා මහානාගයෙක් කුමාරියකව වෙලාන ඉන්නවා. මිනිස්සු වටවුනා. “අනේ දුවේ…. ඔයාව මොකෝ මේ නාගරාජයෙක් වෙලාගෙන?”

“අනේ මාමණ්ඩියේ…. මේ නාගයා මට නරක යෝජනාවක් කොළා. මං ඒවාට කැමති නෑ කියලා කෙලින් ම කිව්වා. ඊට පස්සේ මට මහා විෂ දුමකින් පිම්බා. ඊට පස්සේ තමයි මාව මේ වෙලාගෙන කරදර කරන්නේ.

අනේ මං මේ කියන්නේ සත්‍යයක් ම යි. මං මනුස්ස ලෝකයේ උපන්දා සිට මේ අද වෙනකල් කුමරි බඹසර රැකගෙන ම යි ඉන්නේ. මේ සත්‍යයේ බලයෙන් නාගරජ්ජුරුවෝ වහා මේ දරණවැලෙන් මාව නිදහස් කරත්වා!

ඒ වගේම මං ඉතාම ආදර ගෞරවයෙන් බණ අසද්දී මේ නාගරජ්ජුරුවෝ මගේ සිත රාගයට පොළඹවා ගන්ට නොයේක් කරුණු කීවා. නමුත් මං මයෙ සිත කය වචනය යන තුන්දොර ම මෙයැයිගේ සරාගී කතාවට යොමු නොකොට, ආසා නොකොට ධර්මයට ම ආසා කළ බව සත්‍යයි. මේ සත්‍යානුභාවයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේම තමුන්නේ වචනයට නම්මාගත නොහැකි තැනේදී මේ නාරජ්ජුරුවෝ ක්‍රෝධයෙන් දිලිහී මා වෙත විෂ දුම් පිටකරද්දී මා තුළ මේ නාරජ්ජුරුවෝ ගැන කෝප සිතක් නූපන් බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේම මං බණ අසද්දී ධර්මය කෙරෙහි ආදර ගෞරවයෙන් යුක්තව ම බණ ඇසූ බව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!

ඒ වගේම මෙවන් විෂඝෝර භයානක නාගරාජයෙක් මගේ මුළු ශරීරය ම දරණවැලින් වෙලාගෙන හිස මත පෙණය කොට මාව භය කරමින් සිටියදීත් තුන්යම් රාත්‍රිය මුළුල්ලෙහි මං කිසිම භයක් නැතිව බණ පටන්ගත් තැන් පටන් අවසන් වෙනතුරු ම අකුරෙන් අකුර පදයෙන් පදය ඉවත නොහෙළා සිත එකඟ කරගෙන ඇසූබව සත්‍යයි. මේ සත්‍යානුභාව බලයෙන් නාරජ්ජුරුවෝ දරණවැලින් මාව නිදහස් කරත්වා!” යි කියලා මේ දැරිවි හඬ නගා කීවා

ඒ සත්‍යක්‍රියාව නිසා නාරජ්ජුරුවන්ට දරණ වෙලාගෙන ඉන්ට බැරුව ගියා. ඉක්මනින් ම වෙළුම් ලිහුවා. වෙළුම් ලිහලා තමන්ගේ ශරීරයේ පෙණගොබ සීයක් මවාගත්තා. ඒ පෙණගොබ මත කුමාරිව තැබුවා. නාමෙනෙවියන් පිරිවරාගෙන ඒ දැරිවිව පැන්වලින් නාවා උදකපූජා නමින් ගෞරව දැක්වුවා.

ඒ දේවපුත්‍ර නගරයේ හිටිය මිනිස්සු දහඅටකෝටියක් පමණ වටිනා මහා වස්තු සම්භාරයකින් මේ කුමාරිව පිදුවා. එතකොට කුමාරි මෙහෙමයි හිතුවේ. ‘මං මේ හැම එකකින් ම බේරුනේ මං ආරක්ෂා කරපු කුමරි බඹසර නිසා ම යි. මං මැරෙන තුරාව ම මේ බඹසර ජීවිතේ ම ගෙවන්ට ඕනෑ’ කියලා අධිෂ්ඨාන කරගත්තා . ඊට පස්සේ කලක් යද්දි කුමාරි අසනීපයකින් මරණයට පත්වුනා.

බලන්ට පින්බලේ ලස්සන ඒ දේවපුත්‍ර නගරයේ දේවපුත්‍ර රජ්ජුරුවන්නේ අගමෙහෙසියගේ කුසේ ආයෙමත් මේ කුමාරි උපන්නේ. ඈ උපන්න දවසේ සත්රුවන් වරුසා වැස්සා. කලින් ආත්මෙටත් වඩා ලස්සනයි. දෙව්ලොවින් බිමට බැස්සා වගේ. ඇගේ ලස්සන රන්වන් පාට නිසා ම ඈට නම වැටුනේ කංචන කුමාරි කියලයි.

ඒ ආත්මෙත් මේ කුමාරි පුංචි කාලේ පටන් ම කුමරි බඹසර රැකගත්තා. යොවුන් වියේදී රජ්ජුරුවන්ගෙන් අවසර ඇන්න ගිහි ජීවිතේ අත්හැරියා. භික්ෂුණීන් අතරට ගිහින් බුද්ධ ශාසනයේ පැවිදි වුනා. ටික කලකින් පටිසම්භිදාලාභී රහත් භික්ෂුණියක් බවට පත්වෙන්ට ලැබුනා. බුද්ධ සාසනේ එළිය කරලා පහන්සිලක් නිවෙනවා වගේ නිවී ගියා.

(සද්ධර්මාලංකාරය ඇසුරිනි)

————————————————————-
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.