බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය.
දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍රණීත සැපයකි. වටිනාකම පමණ කළ නොහෙන සැපයකි. පරණ වීමෙන් නරක් නො වන එපා නො වන සැපයකි. කවර කලෙකවත් නැති නොවන හැම කල්හි පවත්නා සැපයකි. දුකින් අමිශ්‍ර ශුද්ධ සුඛ පිණ්ඩයකි. පඤ්චේන්ද්‍රියයන්ට හා මන්දබුද්ධිකයින්ගේ මනින්ද්‍රියට ද අවිෂය බැවින් පරම සූක්ෂ්ම ධර්මයකි. නිරුද්ධ වන දුඃඛයන්ගේ වශයෙන් සලකන කල අති විශාල ධර්මයකි. ලෝකෝත්තර ධර්මයකි. මහානුභාව සම්පන්න ධර්මයකි. පිහිටි තැනක් නැතිව ඇති ධර්මයකි. එක ද සත්ත්වයකුත් එහි නැත ද සත්ත්වයින්ට පරම පිහිටක් වූ ධර්මයකි.
නිවනෙහි ස්කන්ධයන්ට අයත් දේවලින් එකකුත් නැත. නැති බැවින් නම් එය හිස් දෙයකි. ඒ හිස් බව නිවනෙහි අගුණයක් නොව උතුම් ගුණයෙකි. යටත් පිරිසෙයින් එහි විඤ්ඤාණස්කන්ධයවත් ඇති නම් එයින් නිවන දුක් සහිත වන්නේය. විඤ්ඤාණයත් දුඃඛයක් ම වන හෙයිනි.
නිවන ස්කන්ධයන්ගෙන් හිස් වුවත් සුඛයෙන් හිස් නො වේ. නිර්වාණ සුඛය තේරුම් ගැනීමට සැපවල ප්‍රභේදය තේරුම් ගත යුතු ය.
සැප දෙවර්ගය.
කාම සුඛය විමුක්ති සුඛය යි ලෝකයෙහි සැප දෙවර්ගයකි. එයින් කාමනීය වූ රූප – ශබ්ද – ගන්ධ – රස – ස්ප්‍රෂ්ටව්‍ය – ධර්ම සංඛ්‍යාත ආරම්මණයන් නිසා උපදනා සුඛය කාම සුඛ නම් වේ. තවත් ක්‍රමයකින් කියත හොත් කෑම් බීම් ඇඳුම් පැළඳුම් රන් රිදී මුතු මැණික් මිල මුදල් ආදි කාමනීය වස්තූන් හා අඹුදරු ආදි ප්‍රිය පුද්ගලයන් නිසා සිත්හි හට ගන්නා වූ ආශ්වාදය කාම සුඛ නම් වේ.
පැමිණ තිබෙන්නා වූ හෝ මතු පැමිණෙන්නට තිබෙන්නා වූ හෝ විපතකින් දුකකින් බේරීම වූ නිදහස විමුක්ති සුඛ නමි.
මේ සැප දෙකින් කාම සුඛය විඳින සැපයකි. එබැවින් එයට “වේදයිත සුඛය” යි ද කියති. විමුක්ති සුඛය නො විඳින සැපයකි. එබැවින් එයට ‘අවේදයිත සුඛය’ යි ද කියති. මේ දෙක සැප බව කවුරුනුත් පිළිගන්නා නමුත් විමුක්ති සුඛය ගැන කීමෙහි දී සැපය යන වචනය පාවිච්චි නො කර ඒ අර්ථය ම කියවෙන අන්‍ය වචන පාවිච්චි කරති. එබැවින් සාමාන්‍ය මනුෂ්‍යයාගේ සිත සැපය යන වචනය ඇසෙත් ම විමුක්ති සුඛයට නො ගොස් වේදයිත සුඛයට ම යොමු වෙයි. තවත් සැපයක් ඇති බව ඔහුට සිහි නො වෙයි. නිවනෙහි වේදයිත සුඛය නැත. ශුද්ධ විමුක්ති සුඛය ම නිවනය. විමුක්තිය සැපයක් සේ වැටහී නැති බැවින් නිවන සැපයකැයි කී කල්හි ඔහුගේ සිත සැලෙයි. එය ඔහුට නො වැටහෙයි. සමහර විට නිවන් සැපය ගැන ඇසූ කල්හි එයත් වේදයිත සුඛය මැයි වරදවා හෝ සිතයි. නිවන් සැපය තේරුම් ගත හැකි වීමට විමුක්තිය සැපයක් බව හොඳින් අවබෝධ කර ගත යුතු ය.
හිසෙහි රදයක් පැවැත්ම දුකෙකි. ඒ දුකින් පෙළෙන තැනැත්තා බෙහෙත් ගෙන එය නැති කර ගත් කල්හි හිසරදය සුව වුනාය කියා හෝ සනීප වුනාය කියා හෝ හොඳ වුනාය කියා හෝ කියයි. සුවය, සනීපය, හොඳය යන වචන තුනෙන් කියවෙන්නේ අර්ථ තුනක් නො ව එක් අර්ථයකි. ඒ අර්ථය නම් අනිකක් නො ව සැපයයි. ඒ සැපය නම් හිසරදය පිළිබඳ විමුක්තියයි. එහෙත් එය ප්‍රකාශ කිරීමට සැපය යන වචනයෙන් අන්‍ය වූ වචනයක් පාවිච්චි කරන බැවින් විමුක්තිය සැපයක් බව පිළිගනිමින් ම සැපයක් සේ නො සිතයි. මෙය වචන වල වෙනස්කම් නිසා ඇති වන අවුලකි. මේ කරුණ නුවණින් සලකා තේරුම් කරගත් කල්හි විමුක්තිය සැපයක් බව වැටහෙනු ඇත.
සැප දෙකින් කාම සැපය, හොඳ යයි පිළිගන්නා දෙයක් අරමුණු කොට පහළවන සිත සමග ඇති වී විදුලියක් සේ වහා නැති වී යන ක්ෂණික දෙයකි. ඇසිපිය වරක් හෙලන්නට ගතවන කාලය පමණවත් එය නො නැවතී, සැණෙකින් නැතිවන දෙයක් නිසා එහි එතරම් වටිනා කමක් නැත. ස්කන්ධයන්ට අයත් බැවින් එය ඖදාරික සුඛයක් ද වේ. විමුක්තිය සැණෙකින් අතුරුදහන් වන දෙයක් නොව කල් පවත්නා දෙයකි. හිස රුජා සුවය වූ විමුක්ති සුවය නැවත හිසරදයක් හට ගන්නා තුරු ම පවතී. නිර්වාණ සුඛ සංඛ්‍යාත විමුක්ති සුඛය වනාහි කවර කලෙකවත් නො නැසෙන්නේය. කල් පැවතීම ආදි නොයෙක් කරුණු නිසා විමුක්ති සුඛය කාම සුඛයට වඩා බොහෝ වටිනා සුවයකි. නැවත නැවත ලැබෙන කල එපා වන ස්වභාවයක් කාම සුඛයන්හි ඇතත් විමුක්ති සුඛයෙහි ඒ ස්වභාවය නැත. විමුක්ති සුඛය එපා වීම නම් දුක් ඕනෑ වීමය. දුක් ඕනෑ කරන කෙනෙක් නැති බැවින් විමුක්ති සුඛයේ එපා වීමක් නැත.
පෙර දඹදිව සාකේත නුවර සිටු බිරිඳකට හිස රුජාවක් සැදී සුව කරගත නො හැකිව සත්වසක් ගත විය. සත් වසකින් පසු ‘ජීවක’ නමැති වෛද්‍යාචාර්යවරයා එය සුව කළේය. දුකින් මිදුණා වූ සිටු බිරිඳ සතුටු වී තුටු පඬුරු වශයෙන් ජීවක තුමාට සාර දහසක් මිල දිණ. ඇගේ පුත්‍රයා ද ඔහුගේ භාර්යාව ද එසේ ම සාර දහස බැගින් තෑගි කළහ. මහ සිටාණෝ ද සතුටුව කහවනු සාර දහසක් හා දාසියක් ද, දාසයෙක් ද, අශ්ව රථයක් ද තෑගි කළහ. වෙද තුමා නිසා සිටු බිරිඳ ලත් රෝග විමුක්තිය නො වටනා දෙයක් නම්, හිස් දෙයක් නම්, ඔවුහු එපමණ ධනයක් නො දෙන්නාහුය. සොළොස් දහසක් කහවනු වෙදතුමාට දුන්නේ ඔවුන් ලත් විමුක්තිය ඔවුනට එපමණ වටිනා බැවිනි. මෙයින් හිත රුජාවකින් මිදීම ම සොළොස් දහසක් වටිනා බව කිය යුතු ය.
රජගහ නුවර විසූ සිටුවරයකුට ද නපුරු හිසරදයක් පැවතිණි. බොහෝ වෙදුන්ගෙන් ප්‍රතිකාර ලබා සුවය්ක නො ලැබ අන්තිමේ දී ජීවක තුමා කැඳවීය. එතුමා රෝගය පරීක්ෂා කර බලා “සිටාණෙනි, රෝගය සුව කළහොත් කුමක් දෙන්නාහුදැ”යි ඇසීය. “වෙද තුමාණෙනි! මේ රෝගය සුවකර දුනහොත් මා සතු සියලු ම ධනයත් දී මම ද ඔබ තුමාගේ දාසයෙක් වන්නෙමැයි” සිටාණෝ කීහ. ඒ සිටාණන් මෙසේ කීයේ එතුමාට ඒ රෝග සුවය මුළු සිටු සම්පතට ද වඩා වටිනා බැවිනි. මේ ලෝකයෙහි ඇති දුක්වන සැටියට කොතරම් බලවත් හිසරදයක් වුවත් එතරම් ම ලොකු දුකකැ යි කිය නො හැකිය. හිසරදයකට වඩා අතිශයින් මහත් වූ ද දරුණු වූ ද දුක් ඉතා බොහෝ ය. හිසරදයක සුවය වූ අල්ප විමුක්ති සුඛයක් පවා මෙසේ සිටුසම්පතකටත් වඩා අගනා කල එයට වඩා මහත් වූ දුකකින් මිදීමේ සුවය කොතෙක් නො වටනේද? කාමසුඛයන් අතර මෙපමණ විශාල වටිනාකම ඇති සැප නැත්තේ ය. ඇතමෙකු සමහර කාම සුඛයන් වෙනුවෙන් මහා පරිත්‍යාගයන් කරතත් එසේ කරනුයේ ඒවායේ එතරම් වටිනාකමක් ඇති නිසා නොව මුළාව නිසා ය.
____________________________________
මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.