කලක් ධර්ම ශ්‍රවණය කලත්, කිසි ප්‍රතිඵලයක් නොලද තරුණයෙක් හට බුදු හිමියන් දුන් ඔවදන.

බරණැස් නුවර තරුණයෙක් දිනපතා බුදුරදුන්ගෙන් බණ ඇසීමට පුරුදුව සිටියා.

එහෙත් කාලයක් තිස්සේ බණ ඇසුවත් ඔහුට සිදු වු සෙතක් නැහැ. එක් දිනක් ඔහු උදේම අනිත් අය බණ ඇසිමට පැමිණිමට පෙර පැමිණ බුදු හාමුදුරුවන් සමඟ කළ සාකච්ඡාවකුයි මේ,

“භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්ස
අප බොහෝ දෙනෙක් ඔබ වහන්සේගෙන් බණ ඇසීමට පැමිණේ. එයින් කීප දෙනෙක් ඉක්මනින් සෝවාන්, සකෘදාගාමී, අනාගාමි රහත් ආදී ඵල ලබයි. තවත් කිපදෙනෙක් ඉක්මනින් නොවුවත් ටික ටික හෝ සත්‍ය අවබෝධ කරගන්නා බව පෙනෙයි. එහෙත් මා ඇතුළු තව ටික දෙනෙක් ඔබවහන්සේගෙන් අවුරුදු තුන හතරක් තිස්සේ බණ ඇසුවත් තවමත් කිසිම දියුණුවක නොසිටියි”

“ඉතා හොදින් සරලව විස්තර කරන මාගේ දහම කාටත් පොදුයි. එක සමානයි. ඔබගේ ගැටළුව කුමක් ද?

”මම ඇතුළු තව කිහිප දෙනෙක් කිසිම දියුණුවක් නොලබා සිටින්නේ ඇයි? කරුණාව සහ බලය යොදා අපටත් මාර්ගඵලයක් ලබා නොදෙන්නේ ඇයි?”

බුදුරජාණන් වහන්සේ මඳක් සිනායි.

” පින්වත, ඔබ මෙහි බණ ඇසීමට පැමිණෙන්නේ කොහේ සිටද?”

“උත්තමයාණනි, සැවත් නුවර සිට පැමිණෙන්නෙමි”

” ඔබගේ පෙනුමෙන් නම් ඔබ මේ පළාතේ කෙනෙක් බව නොපෙනේ. ඔබගේ ගම කොහේද?

“මා උපන්නේ රජගහ නුවරයි. අවුරුදු කීපයකට පෙර සැවැත් නුවර පදිංචියට ආවෙමි. එහෙත් මාගේ නෑයින්, මිතුරන් සහ ව්‍යාපාර සමඟ ඇති සම්බන්ධතාවන් තාමත් රජගහ නුවර සමඟ පවතිනවා”

“එහෙනම් ඔබ එහි නිතර යන එනවා ඇති නේද?”

“එහෙමයි ස්වාමීන් වහන්ස මාස දෙක තුනකට වතාවක් එසේ යනවා”

“ඔබ නිතර එහි යනවා එනවා නම් රජගහ නුවරට යන ගමන් මඟ හොඳින් දන්නවා ඇති නේද?”

“ඉතා හොඳින් දන්නෙමි. ස්වාමීන් වහන්ස”

“මෙහි සිටින ඔබගේ අනෙකුත් මිතුරන්, ඔබ රජගහ නුවරට යන අන්දම හොඳින් දන්නා බව විශ්වාස කරනවා ද?”

“ස්වාමින් වහන්ස, ඔවුන් ඒ බව හොදින් විශ්වාස කරනවා ”

“යම් කිසි කෙනෙක් ඔබ වෙත පැමිණ රජගහ නුවරට යන ගමන් මඟ ඇසුවොත් ඔබ එය කියා දෙනවා නේද?”

“එහෙමයි ස්වාමිනි, එම තැනැත්තාට නිවැරදීව රජගහ නුවරට යන ගමන් මඟ ඉතා සරලව සහ පැහැදිලිව ම කියා දෙනවා”

“ඔබ එම මඟ හොඳින් කියා දුන්නත් ඔබගෙන් මාර්ගය අසා එහි යන සියල්ලන්ට ම රජගහ නුවරට යා හැකිද?”

“මා පෙන්වා දෙන මාර්ගය දිගේ නිවැරදිව යන අයට පමණක් රජගහ නුවරට යාමට හැකිවෙයි.”

“එහි යාමට ගොස් අතරමන් වූවෙක් ඔබ ගෙන් නැවතත් එහි යන මාර්ගය ඇසුවොත් ඔබ නැවත එය කියා දෙන්නේද?”

“උත්තමයාණනි, මට සැඟවිමට දෙයක් නැත. ඔවුන්ට නැවතත් මා එම මාර්ගය කියාදෙමි”

“පින්වත, යම්කිසි කෙනෙක් ඇසුවොත් ඔහුව ඔබගේ කරපිට නංවා ගොස් රජගහ නුවරට ගෙනියන්න කියා ඔබ එයත් කරනවාද?”

“අනේ ස්වාමීනී, මා එය කෙසේ කරන්නද? ඔහු ම එහි යා යුතුයි”

“තරුණය, මටත් උවමනා වූයේ ඔබට මේ දෙය තේරුම් කර දීමටයි. මා නිවන් මඟ දන්නා බව කවුරුත් හොදින් දනියි. මටත් සැඟවීමට කිසිත් නැති බැවින් මා වෙත බණ ඇසීමට පැමිණෙන සියලු දෙනාට ම එකසේ එම ගමන්මඟ කියා දෙමි.

එම මාර්ගය ඔස්සේ යම් කෙනෙක් අඩියක් ඉදිරියට තැබුවොත් හෙතෙම අඩියකින් යායුතු තැනට ළඟා වන්නේ. ගමන් මාර්ගයේ අඩක් ගිය කෙනෙකුට තව යාමට ඇත්තේ අඩක් පමණයි. මට ඔබව හෝ තවත් කෙනෙකුට කර පින්නාගෙන එහි යා නොහැකිය. ඔබ විසින්ම මෙම මාර්ගයේ පියවරෙන් පියවර ඉදිරියට යා යුතුවේ. සියලුම පියවර තැබූ විට
පමණක් ඔබටත් අවසාන ඉලක්කයට යාමට හැකි වනු නියතයි.

එහෙයින් තරුණය අදම පළමු පියවර තබන්න”

සටහන – සාගර දියගම, බුදු දහම පිටුවෙන්

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.