පිංවත, මේ අපි හමුවුණා නොවේ. මේ අපගේ ගෞරවනීය සමුගැනීමයි. රැකවරණයක් නැති ලෝකයක කුමකට නම් යළි හමු වෙන්න ද? ජරා, ව්‍යාධි, මරණයන්ටම යටත් වූ අපේ ජීවිත ගැන තවත් කුමන නම් බලාපොරොත්තුවක් තබන්න ද? පිංවත ඔය දෑස් අග නළියන ගෞරවයේ උණුසුම් කඳුළු බිංදු වලට යළි පණ දෙන්න එපා. ඒ ගෞරවයේ කඳුළු බිංදු වියළිලාම යන්න ඉඩ දෙන්න. ආයෙමත් දවසක ඔය දෑස් අග ගෞරවයේ කඳුළු පුරෝගෙන, ඔබේම අතීත සංස්කාරයන් දෙස ඔය විදිහට බලන්න එපා. අවිද්‍යාවේ කඳුළු ඔබ පිසදැමිය යුත්තේ ලේන්සුවකින් නොවේ. අවිද්‍යාවේ කඳුළු ඔබ පිසදැමිය යුත්තේ විද්‍යාවෙන්. ඇස කියන්නේ ආයතනයක්. කඳුළු කියන්නේ දෙතිස් කුණපයක්. ඵස්සය කියලා කියන්නේ බන්ධනයක්. අපගේ මේ ගෞරවනීය හමුවීම කියන්නේ සංස්කාරයක්. පිංවත, බන්ධනය කියන්නේ ඔබවත්, භික්ෂුවවත් නොවේ. බන්ධනය යැයි කියන්නේ ඔබ, භික්ෂුව කෙරෙහි ඇතිකොටගත් උපාදානයමයි. පිංවත, අවිද්‍යාව නිෂ්පාදනය කොටදෙන කඳුළු, ඔබ දුක පිණිස යළි ආයෝජනය කරන්න එපා. කඳුළට මුල් වූ උපාදානයෝ විනිවිද දකින්න. එවිට ඵස්සය යට සැඟවුණ තෘෂ්ණාව නිරාවරණය වේවි. පිංවත, ඔබේ ලෝකයෙන් මගේ ලෝකය හිස් කරන්න.
පරිසරයට අඳුර වැටෙන්න දැන් හොඳටෝම ළඟයි. කුටියේ දොර කවුළු සියල්ලම වසා තිබුණත්, ශීතල කුටියට කාන්දු වෙනවා. ශීතල වැඩිවෙනකොට ශරීරයේ සෙම කෝප වෙනවා වැඩියි. ශරීරයේ වායෝ ධාතුව, කෝපවුණ සෙම, තම හිසේ තබාගෙන සිත්සේ ශරීර අභ්‍යන්තරයේ දුවනවා. මේ දිවීමෙන් වා, පිත්, සෙම් යන තුනම කෝප වෙනවා. පිංවත, ශරීරයේ සතර මහා ධාතුව කෝප වුණාය කියලා, අපි කෝප වෙන්න නරකයි. අපි කෝප වුණොත් අපේ සංස්කාරයන් සියල්ලටම වඩා කෝප වේවි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කය ලෙඩ වුණදෙන්, සිත ලෙඩ කරගන්න එපාය කියලා. භික්ෂුවගේ ජීවිතය තවමත් අතීත කුසල් අකුසල් සමග සෙල්ලම් කරනවා. වරෙක දිනනවා, තවත් වරෙක පරදිනවා. මරණයක ඉඟියක්වත් අද දවසේ පෙනෙන්නට නැහැ. භික්ෂුවගේ මරණය කුසල් සංස්කාරයෝ සමග නෑගම් ගිහිල්ලා. නිවාඩු කාලය නිසා ඔය කැමති දවසක ආපුදෙන්. පිංවත් මහත්මයෙක් ප්‍රශ්නයක් ඇසුවා, ස්වාමීන් වහන්ස, අකල් මරණ කියලා දෙයක් තිබෙනවා ද කියලා. පිංවත, අකල් මරණ කියලා දෙයක් ධර්මයේ නැහැ.
ලොකු සහ කුඩා ඕනෑම මරණයක් සිද්ධ වෙන්නේ, අවිද්‍යා පච්චයා සංඛාරා, සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන හේතුඵල ධර්මයන් තුළින්මයි. අපේම අතීත සංස්කාරයන්ට අදාළව, මැරෙන්නට තිබෙන මොහොතේ, ඊට අදාළව දැනීම් සකස්කොට දෙනවා. මරණය අයිති අපේම අතීත මරණීය සංස්කාරයන්ට මිස, අකල් මරණයන්ට නම් නොවේ. මරණයක්, අකල් මරණයක් බවට පත්කරන්නේ අපේම සක්කාය දිට්ඨිය විසින්මයි. අවුරුදු හැත්තෑවක් ජීවත් වෙලා තමන්ගේ ඥාතියෙක් මැරුණාට පස්සේ, සමහර පිංවතුන්ලාට එයත් අකල් මරණයක්මයි. රාහුල මහෝත්තමයන් වහන්සේ තම ගෞරවනීය දෙමාපියන් ජීවතුන් අතර සිටියදීම පිරිනිවන්පෑම, බුදුරජාණන් වහන්සේ අකල් මරණයක් ලෙස දැක්කේ නැහැ. මෝනෙය්‍ය වත පිරූ නාලක මහෝත්තමයන් වහන්සේ තරුණ වයසේදීම පිරිනිවන්පෑම, බුදුරජාණන් වහන්සේ අකල් මරණයක් ලෙස දැක්කේ නැහැ. සංස්කාර පච්චයා විඤ්ඤාණං, මරණයේ, අපවත්වීමේ, පිරිනිවන්පෑමේ සැබෑම හේතුඵල ධර්මතාවයයි.
පිංවත, මේ දවස්වල ඔබ මැජික් සංදර්ශන දකිනවා වැඩියි නේද? විශේෂයෙන්ම දේශපාලන මැජික් සංදර්ශන. සමාජය තුළ මැජික් සංදර්ශන වැඩියි කියන්නේ විඤ්ඤාණය නමැති මැජික්කරුවාගේ සක්‍රීයභාවය වැඩිය කියන කාරණයයි. පිංවත, අවිද්‍යාව වැඩිවෙනකොට ඵස්සය කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙනවා. අපි කැමති දෙය අයිති කරගන්න, අපි අකමැති දෙය බැහැර කරන්න අවිද්‍යාව දක්වන්නේ හරිම කැමැත්තක්. මෙය සටහන් තබන භික්ෂුවටත් කැමති සහ අකමැති දේවල් තිබෙනවා. භික්ෂුව තමන් කැමති සහ අකමැති දේවල් දෙස බලන්නේ, කර්මය කර්මඵල විශ්වාසයෙන්මයි. එවිට අපේ කැමැත්ත සහ අකමැත්ත ධර්මයක්ම වෙනවා.
කවදාකවත් අපේ කැමැත්ත සහ අකමැත්ත අර්බුදයක් වෙන්නේ නැහැ. යම් පිංවතෙක් භික්ෂුවට චෝදනා කළොත්, භික්ෂුව සුවපත් වේවා යැයිම සිතනවා. ප්‍රතිපදාව තුළින්ම භික්ෂුව චෝදනාව ජය ගන්නවා. සම්මා දිට්ඨියේ අර්ථයන් අපේ ලෝකය අපිට නිරවුල් කොටදෙනවා. අවිද්‍යාව විසින් අවුල, විඳීම් වලින් ගිනි තබනවා. ඵස්සය තුළ බැසගෙන තිබෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණය අපේම වධකයා යැයි අපි නොදකින තාක්කල් සුදු සහ කළු සංස්කාර තීන්ත වලින් විඤ්ඤාණය නමැති වධකයා අපේ අනාගත සුදු සහ කළු ඉරණම ලියනවා. පිංවත, අනුන් ඔබ වෙත එල්ල කරන චෝදනා, විවේචන ඔබට පීඩාවක් වෙන්නේ, ඔබත්, ලෝකයක් නම් පමණක්මයි. පිංවත් ඔබ ඵස්සය අසලින් ලෝකය අක්‍රීය කරන්න. එවිට අනුනගේ චෝදනා සහ විවේචන පෙරළා අනුන්ගේ සංස්කාර දෙසට යන පාරාවළල්ලක්ම පමණයි. පිංවත, ගාම්භීර සද්ධර්මයේ සත්‍යයන් ඉදිරියේ ඔබ සිහිනුවණින් සිටින්න.
උතුම් සද්ධර්මයේ අර්ථයන් අපරාජිතයි. අවිද්‍යාවෙන් පරාජිත ලෝකය ඉදිරියේ, ජය සහ පරාජය යන දෙකම ඒහිපස්සිකයි.
ගෞරවනීය පිංවත, ඔබට දැනෙනවා ද, මේ සටහන කියවන මොහොතේ ජීවමාන ශාස්තෘන් වහන්සේ ඔබ ඉදිරියේ වැඩ සිටිනවා. ඒ සම්මා සම්බුද්ධ අසිරිය, ඒ සම්මා සම්බුද්ධ ඥානයන්, ගුණයන්, ඒ මහා කරුණා ගුණයන් ඔබ මනසින් දකිනවා. පිංවත, මෙවැනි ගාම්භීර සංස්කාරයනුත් අනාගතයේ දවසක අනිත්‍ය වෙලා යනවා. මෙවැනි උත්තරීතර දැක්මක් ඇති අපි, දේශපාලන මැජික්කරුවන් නිසාම, සම්මුති ලෝකය ඉදිරියේ බිංදුවට වැටී තිබෙනවා. පිංවත, විඤ්ඤාණය නමැති වධකයාගේ අතොරක් නැති වදයන් ඉදිරියේ ඔබ පලා යන්නෙක් වෙන්න එපා. ඔබ ඊට එරෙහිව යන්නත් එපා. ඔබ වදයට ඔරොත්තු දෙන්නෙක් වෙන්න. සද්ධර්මයේ හෙට දවස උදෙසා ඔබ අද ජීවත් වෙන්නෙක් විය යුතුයි. විඤ්ඤාණය නමැති මැජික්කරුවන්ගේ අතොරක් නැති වදයන් ඉදිරියේ ඔබ සද්ධර්මයේ හෙට දවස උදෙසා, ඔබේ අද දවස කැප කළා කියන්නේ, අද දවස ඔබ අර්ථවත්ව ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සිටියා නම් පමණක්මය. ලොවුතුරා බුදුරජාණන් වහන්සේ උතුම් සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොටගත් ඒ පූජනීය මොහොතේ, වසවර්ති මාරයා බුදුරජාණන් වහන්සේට තර්ජනය කළා, දැන් ඉතින් පිරිනිවන් පාන්නටය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මාරය, මා උත්තරීතර සම්මා සම්බුද්ධ ඥානය අවබෝධ කළේ පිරිනිවී යන්නට නොව, උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ ජීවත් කරවන්නය කියලා. පිංවත, විඤ්ඤාණය නමැති මැජික්කරුවන්ගේ අභියෝගයන් ඉදිරියේ පසු බසින්න එපා. උතුම් චතුරාර්ය සත්‍යය ජීවත් කරවන්න මධ්‍යම ප්‍රතිපදාව තුළම නොසැලී පෙරට එන්න. ඔබට කවුරු නැති වුණත්, ඔබට ඔබේම කුසල් සංස්කාර ඔබේ පූජනීය අරමුණ උදෙසා ඔබට ආරක්ෂාව දෙනවා. පිංවත, ඉක්මන් කරන්න, ලෝකය අවිද්‍යාවෙන් ගිනි ගන්නවා. සෑම තත්පරයක්ම කල්පයකට වඩා ඔබට වටිනවා. එක සිතුවිල්ලක් අපතේ ගියොත්, සම්මා සම්බුද්ධ ශාසනයම අපතේ ගියා වෙන්න පුළුවන්. පිංවත, පොළොව ඇද වගේ පෙනුණත්, බය නැතිව නටන්න. පිංවත් ඔබට පොළොවත්, නැටුමත් යන දෙකම නිරෝධය කිරීමේ ශක්තිය මේ නිමේෂයේදීත් තිබෙනවා. පිංවත් ඔබ තවමත් වාසානාවන්තයි. අනුවණ, අනුනගේ අවාසනාවට ඔබට පයින් ගහන්න දෙන්න එපා. පිංවත් ඔබට පොළොව ඇද වගේ පෙනෙනවා නම්, ඒ දැනීම විඤ්ඤාණය නමැති වධකයා වශයෙන්ම දකිමින්, තවමත් සද්ධර්මය ජීවමාන “නොඇද” පොළොවේ, උතුම් චතුරාර්ය සත්‍යය ජීවත් කරවන්න. ජීවත් කිරීම් අතරින් උතුම්ම ජීවත් කරවීම චතුරාර්ය සත්‍යය ජීවත් කිරීමයි. චතුරාර්ය සත්‍යය ජීවත් කළොත් පමණක්මයි, ජීවත්වන අපි, ජීවත්වන මළ කඳන් බවට පත්නොවෙන්නේ.
පිංවත, සිනාවෙලා ඉන්න. අපි නිත්‍ය යැයි සිතන ලෝකය කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා. අපි සද්ධර්මයේ හැසිරෙනවාය කියන්නේ, ඒ කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකය දෙස ධර්මයේ උපේක්ෂාවෙන් බලා සිටීමයි. පිංවත් ඔබ මෙය සටහන් තබන භික්ෂුව දෙස බලන්නේ ධර්මයේ උපේක්ෂාවෙන් ද? එසේත් නැතිනම් ඇලීමකින් හෝ ගැටීමකින් ද? පිංවත, අනුනගේ හොඳ හෝ නරක ඔබ ගන්න එපා. අනුනගේ හොඳ හෝ නරක, පිංවත් ඔබේ හොඳ සහ නරක යන දෙකේම නිරෝධය උදෙසා ධර්මයේ උපේක්ෂාවක් බවට පත්කොට ගන්න. පිංවත, ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ අවංකව නම්, ඔබව කොතනින් ලිස්සුවත් වැටෙන්නේ සද්ධර්මයේ උපේක්ෂාවටමයි.
අද උදෑසන කුඩා දරුවෙක් පාත්‍රයට පිණ්ඩපාතය පූජා කරද්දී, අල හොදි ටිකක් භික්ෂුවගේ සිවුරට වැටුණා. තමා අතින් සිදු වූ වරද දැක්ක පුංචි දරුවා බියෙන් වගේ භික්ෂුව දෙස බලා සිටියා. භික්ෂුව එම දරුවාට කිව්වා, පුංචි කාලේ මමත් ඔහොමයි කියලා. එවිට එම පුංචි මුවේ, පුංචි සිනහවක් මතුවුණා. තවත් කෙනෙකුට සිනහවක් දෙන්න අපිට පුළුවන්කම තිබිය දී, අනේ කරුණාකර ඒ සිතට කඳුළක් නම් දෙන්න එපා. හැබැයි ඉතින් ලෝකය තුළ මෙහෙම අර්ථයකුත් තිබෙනවා. භික්ෂුවගේ ගිහි ජීවිතයට, මගේම අකුසල් සංස්කාර නිසා කඳුළු නොදුන්නා නම්, ලෝකය ගැන කළනොකිරෙන්නත් ඉඩ තිබුණා ද? පිංවත මේ අවුල පිටිපස්සේ, ඵස්සය තුළ බැසගත්ත පටිච්චසමුප්පන්න විඤ්ඤාණය නමැති මැජික්කරුවාමයි සිටින්නේ. මොහු පෝෂණය වෙන්නේ අතීත සංස්කාරයන්ගෙන්. අවිද්‍යාවේ අඩු සහ වැඩිභාවයන් මත සංස්කාරයෝ සුළඟ වගේ වෙනස් වෙනවා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කර්මය විපාකදෙන හැටි සිතන්න එපාය කියලා. පිංවත, බුදුරජාණන් වහන්සේ අපිට එපා කියලා පනවපු දේවල් කරන්නට එපා.
අසත්පුරුෂ ආශ්‍රය, අසද්ධර්ම ශ්‍රවණය, අනුවණින් මෙනෙහි කිරීම බුදුරජාණන් වහන්සේ අපිට එපා කියපු දෙයක්. මිච්ඡා ආර්ය අෂ්ටාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ අපිට එපා කියපු දෙයක්. මිච්ඡා ප්‍රඥාව, මිච්ඡා ඥාන දර්ශන, මිච්ඡා විමුක්තිය බුදුරජාණන් වහන්සේ අපිට එපා කියපු දෙයක්. පිංවත, බුදුරජාණන් වහන්සේ එපා කියපු දේවල්, වැඩි දෙයක් අපි කරලා වර්තමානයේ අපිට, අපිවත් එපා වෙලා නේ ද? පිංවත, කරුණාකර කර්මය විපාකදෙන හැටි සිතන්න එපා. අවිද්‍යාවේ අවුල තවත් වැඩිවේවි.
අතිපූජණීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.