එළදෙන සහ කනුව.

වෙල්යායක් අසල කණුවක කඹයකින් බැඳි එළදෙනක් තණ කමින් සිටින්නීය. තමාට අයත් ගොදුරු බිමෙහි සීමාවන් හරිහැටි නොදත් ඇය, මුලදී විටින් විට ළඟ ඇති සරු ගොයමට ඇදෙන්නීය. එහෙත් ගෙල වටා ඇති කඹය ඇය බැඳී සිටින කණුව සිහිපත් කර දෙයි. අසිහියෙන් ඈතට අදින වාරයක් පාසා කණුවත් කඹයත් මෑතට අදින බැවින් අන්තිමේදි එළදෙන තමාට අයත් ගොදුරු බිම තේරුම් ගන්නීය. තේරුම් ගෙන නිසි සීමාව තුළම නිසොල්මනේ තණ කෑමෙන් පසු කණුව මුල ලැගගෙන ඇස් පියාගෙන කෑ හපය වමරා කමින් සන්සුන්ව හිඳින්නීය.

ඒ එළදෙන මෙන් යෝගාවචරයාද “සිහිය” නමැති කඹයෙන් කමටහන් අරමුණ නමැති කණුවෙහි බැඳී සිටියි. මුලදී ඔහු තමාට අයත් සීමාවන් හරිහැටි නොදනී. තමා යෝගාවචරයකු බවත් අමතක කර, අනිසි, අහිතකර, බාහිර අරමුණු දෙසට මුළාවෙන් සිත යොමුකරයි. එහෙත් ඒ අරමුණු ඈතට අදින වාරයක් පාසා සිහි කඹයත් කමටහන් කණුවත් මෑතට අදියි.

කෙසේ වෙතත් අන්තිමේදී යෝගාවචරයා තමාගේ ගොදුරුබිම හොඳින් තේරුම් ගෙන “කඹයත්” “කණුවත්” ගැන හැමවිටම දැනුවත්ව සිටීමට පුරුදු වෙයි. තමාට අයත් සිහිවටන් (සතිපට්ඨාන) ගොදුරු බිමෙහි හැසිර, වඩාගත් බවුන් අරමුණ තුළ නිසලව සන්සුන්ව නෙත් පියාගෙන දැහැන් ගත වෙයි.

____________________________________

අතිපූජ්‍ය කටුකුරුන්දේ ඤාණනන්ද හිමි.

____________________________________

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.