උපාදානය.

“තත්ථ කතමං තණ්හා පච්චයා උපාදානං? කාමූපාදානං, දිට්ඨූපාදානං, සීලබ්බතූපාදානං, අත්තවාදූපාදානං. ඉදං වුච්චති තණ්හා පච්චයා උපාදානං”

කාම උපාදානය, දිට්ඨි උපාදානය, සීලබ්බත උපාදානය, අත්තවාද උපාදානය යන සතර තෘෂ්ණාව හේතුවෙන් හට ගන්නා උපාදානය ලෙස දක්වා තිබේ.

ආදාන යන වචනයේ තේරුම ගැනීම යනු යි. යමක් ලෙහෙසියෙන් අත් නොහරින පරිද්දෙන්, තදින් ගැනීමට උපාදානය කියනු ලැබේ. මෙහි දී උපාදානය කියනුයේ චිත්ත සන්තානයක හට ගන්නා යම් ධර්මයක් විසින් අරමුණක් තදින් ගැනීමට ය. එනම්, අරමුණ එසේ තදින් ගන්නා චෛතසික ධර්මයන්ට ය. උපාදාන සතරක් ඇතත්, පරමාර්ථ වශයෙන් ගත් කළ එයට අයත් වන්නේ ලෝභය හා දිට්ඨිය යන චෛතසික දෙක ය. කාම උපාදානය සිදු වන්නේ ලෝභ චෛතසිකයෙනි. ඉතිරි උපාදානයන් සිදු වන්නේ දිට්ඨි චෛතසිකයෙනි.

කාම උපාදානය.

කාම උපාදාය යනු ප්‍රිය වස්තූන් හෝ පුද්ගලයින් කෙරෙහි තදින් ඇලෙන්නා වූ, දුරු කිරීමට පහසු නොවූ, නැවත නැවත ඇති වීමෙන්, කල් පැවතීමෙන් වැඩුනා වූ ලෝභය යි.

ඇටයකින් හට ගත් පැළයක් මුල් අවස්ථාවේ ඉතා දුබල ය. එය පහසුවෙන් නැසිය හැක. එහෙත් එම පැළයට අවශ්‍ය පෝෂණය හා අනෙකුත් ප්‍රත්‍යයන් ලද කල්හි එය වැඩී, විශාල ගසක් බවට පත් වේ. එවිට එය නැසීම තබා සෙලවීම පවා අපහසු ය. එමෙන් ම, යම්කිසි අරමුණක ප්‍රථම කොට උපදිනා තෘෂ්ණාව දුබල ය. දුරු කිරීම උත්සහ කළහොත් පහසුවෙන් දුරු කළ හැක. එහෙත් එය මුල දීම දුරු නොකොට, එම අරමුණෙහි නැවත නැවත ඉපදී, පරණ වූ විට, කුඩා පැළයක් විශාල ගසක් බවට පත් වූවා මෙන්, ලෙහෙසියෙන් නොනැසෙන, දුරළීමට අතිශයින් දුෂ්කර වූ බලවත් තෘෂ්ණාවක් බවට පත් වේ. කාම උපාදානය කියනුයේ එසේ බලවත් වූ තෘෂ්ණාවට ය.

උපාදානයට පැමිණි තෘෂ්ණාව දුරු කර වීම බුදුවරයෙකුට පවා දුෂ්කර ය. නන්ද කුමරුන්ගේ තෘෂ්ණාව හා ශාක්‍ය-කෝලිය කුමාර වරුන්ගේ තෘෂ්ණාව දුරු කරවීමට තථාගතයන් වහන්සේට බොහෝ වෙහෙසෙන්නට සිදු වූයේ එහෙයිනි. වැඩුණු තෘෂ්ණාව හා නොවැඩුණු තෘෂ්ණාව එකම චෛතසික ධර්මයක් වුව ද, එකිනෙකට ඉතා වෙනස් ය. යම්කිසි අරමුණක නැවත නැවත තෘෂ්ණාව ඉපදුන හොත් එය වැඩී බලවත් වීම ඒකාන්තයෙන් ම සිදු වන්නකි.

වේදනා පච්චයා තණ්හා යනුවෙන් අදහස් වන්නේ රූප ආදී විවිධ අරමුණු සම්බන්ධයෙන් උපදිනා වේදනාව ප්‍රත්‍යයෙන් හට ගත් නොවැඩුණු, දුබල තණ්හාව ය. තණ්හා පච්චයා උපාදානං යනුවෙන් අදහස් වන්නේ එම දුබල තණ්හාව හේතුවෙන් හට ගත් බලවත් වූ තණ්හාව ය. එය හට ගන්නේ දුබල තණ්හාව ඉපදුන හොත් පමණි. තණ්හාව නිසා උපාදානය වන බව වදාළා ඇත්තේ එබැවිනි.

අත්තවාද උපාදානය.

දැකීමට, දැනීමට, පිළිගැනීමට දිට්ඨිය කියනු ලැබේ. එය සම්මාදිට්ඨි, මිචඡාදිට්ඨි වශයෙන් දෙවැදෑරුම් වේ. යම්කිසි දෙයක ඇත්ත ස්වභාවය නිවැරදි ව දැකීම සම්මාදිට්ඨිය නම් වේ. යම්කිසි දෙයක ඇත්ත ස්වභාවය වැරදි ලෙස ගැනීම මිචඡාදිට්ඨිය නම් වේ. අකුසල ධර්මයන් විස්තර කිරීමේ දී සමහර අවස්ථාවන්හි දී මිචඡාදිට්ඨිය හැඳින් වීමට දිට්ඨිය යන වචනය පමණක් යොදා ගනු ලැබේ. දිට්ඨි උපාදානය ද එබඳු තැනකි.

වැරදි දැකීම නිසා පංචස්කන්ධය සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ආත්මයක් වශයෙන් ගැනීම අත්තවාද උපාදානය යි. වෙනත් ආකාරයෙන් කිව හොත්, මම කියා සැප දුක් විඳින, සිත කය දෙකට අධිපතිකම් පවත්වන දෙයක් (ආත්මයක්) ඇති සැටියට තදින් පිළිගැනීම ය. ලෝකයා විසින් ආත්මය කියනු ලබන්නේ එයට ය. එම දෘෂ්ටිය තම තමන්ගේ පංචස්කන්ධය පිළබඳ ව පමණක් නොව, අනුන්ගේ පංචස්කන්ධය ද පිළබඳ ව හට ගනී. ආත්මය මම, නුඹ කියා කොතෙක් උසස් කොට ගත්තත්, එය මිනිසුන්ගේ සිත් වල පවතින කල්පනා මාත්‍රයක් මිස, සත්‍ය වශයෙන් ඇති දෙයක් නොවේ. එය සත්‍යය වශයෙන් නැති දෙයක් බව වටහා ගැනීමට අපහසු වී ඇත්තේ ආත්මයක් ඇත යන හැඟීම උපාදානයක් වී තිබෙන හෙයිනි.

ආත්මය සත්‍ය වශයෙන් නොලැබෙන දෙයක් බව දත හැකි වනුයේ සත්ත්වයින්, පුදගලයින් සේ පෙනෙන නාම රූප ධර්ම මැනවින් බෙදා ඒවා ඇති වන සැටි, නැති වන සැටි බැලීමෙන් ය. ගඟක් ඇති සටියට ලෝකයා සළකති. ගඟ යනු කුමක් ද? ජලය ගඟ නම්, කළයේ වතුර ද ගඟ විය යුතු ය. ජලය ගලා යන බිම ගඟ නම්, ජලය නැති කල්හි ද එම බිම ගඟ විය යුත ය. එගොඩ ඉවුර, මෙගොඩ ඉවුර ගඟ යැයි කිව හොත් ජලය නැති බිමත් ගඟ විය යුතු ය. එබැවින් ගඟ ලෙස හඳුන් වන්නේ ගලා යන ජලයත්, බිමත්, ඉවුරු දෙකත් යන සියල්ලම එකට ගත් කල ලැබෙන දෙයට ය. ඒවා වෙන් වෙන් වශයෙන් ගත් කළ ගඟ කියා දෙයක් නැත. එබැවින් ගඟ කියන දෙය සැබවින් ම ඇත්තේ මිනිසුන්ගේ සිතෙහි ය. ගඟ මෙන්ම මම, නුඹ කියන දෙයත් සත්‍යය වශයෙන් ලැබෙන දෙයක් නොවේ. ආත්ම වශයෙන් සළකන නාමරූප ධර්ම සමූහය බෙදා බලන කල්හි, සත්ත්වයෙක් කියා සැළකීමට දෙයක් නැති වන්නේ ය. එය අතුරුදහන් වන්නේ ය. එම ධර්මයන්හි ඉපදීම බිඳීම පරීක්ෂා කර බැලීමේ දී මෙය වඩාත් පැහැදිලි වන්නේ ය.

බැලීම, ඇසීම ආදී ක්‍රියා සිදු කරන පුද්ගලයෙකු, කර්තෘ කෙනෙක් ඇත, එම කර්තෘ ආත්මය බව බොහෝ දෙනාගේ හැඟීම ය. ඒ හැඟීම ඇති වන්නේ බැලීම, ඇසීම ආදී ක්‍රියා සිදු වන ආකාරය නොදැනීම නිසා ය. බෙරයකට අතින් ගසන විට, එම ගැසීමට අනුව හඬක් නැගේ. එම අවස්ථාවෙහි, ගැසිය හැකි බව මිස, හඬ නංවන ශක්තියක් අතට නැත. පහර ඉසිලීමේ හැකියාවක් මිස හඬ නැගිය හැකි ශක්තියක් හෝ හඬ නැගීමේ අදහසක් බෙරයෙහි නැත. බෙරයත් අතත් ගැටීම හේතුවෙන් හඬ හට ගනී. එමෙන් ම ඇසෙහි රූප ඡායා ගැටුණ කල්හි, එය හේතුවෙන් ගැටුණු රූපයාගේ ආකාරය දැන ගන්නා විඤ්ඤාණයක් පහළ වේ. පෙනීම කියනුයේ ඒ විඤ්ඤාණය පහළ වීමට ය. බෙර හඬ එකෙනෙහි නැති වන්නාක් මෙන් දැකීම නම් වූ ඒ විඤ්ඤාණය එකෙනෙහි ම නිරුද්ධ වේ.

ඇසට බැලීමේ අදහසක් හෝ බැලිය හැකි ශක්තියක් නැත. දැකීම නැමති විඤ්ඤාණයට තනිව ඉපදිය හැකි ශක්තියක් නැත. ඇසෙහි රූප නොගැටුණ හොත් එය නූපදී. එය ඇසත් රූපයත් ගැටීම හේතුවෙන් ඉබේ ම සිදු වන ක්‍රියාවකි. මෙය නොදැනීම නිසා මම බලමි, මම දකිමි යන හැඟීම ඇති වේ. දක්නා විඤ්ඤාණය පහළ වනුයේ ද, ගැටීම සිදු වන සැටියට ය. උදාහරණයක් වශයෙන්, ආලෝකය මඳ වුව හොත් දුබල විඤ්ඤාණයක් උපදී. දුර පිහිටි වස්තුවක් ඇසෙහි ගැටීමෙන් ද උපදින්නේ දුබල විඤ්ඤාණයක් ය. එබැවින් දැකීම සිදු වන්නේ චක්ඛු ප්‍රසාදයෙහි ශක්තිය හා රූපය ඇසෙහි ගැටෙන ආකාරය අනුව ය. එය ප්‍රත්‍යයන් අනුව සිදු වන ක්‍රියාවකි. මෙය පාලනය කිරීමට, එයට අධිපතිකම් පැවැත් වීමට නොහැක. තමාට කැමති විට, කැමති ආකාරයට විඤ්ඤාණය ඉපද වීමට කිසිවෙකුට නොහැක. එබැවින් සත්‍ය වශයෙන් ම ආත්මය කියා දෙයක් නැති බව දත යුතු ය. ආත්මයක් ඇති සැටියට ගැනීම මිත්‍යා දෘෂ්ටියකි. එසේ දැඩි වූ ආත්ම දෘෂ්ටිය අත්තවාද උපාදානය යි.

මම, ආත්මය ආදී වශයෙන් දෘෂ්ටියක් ඇති වන්නේ පංචස්කන්ධය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසා ය. එබැවින් මෙම පටිච්චසමුප්පාද දේශනයෙහි තෘෂ්ණාව නිසා අත්තවාද උපාදානය වන බව වදාළ සේක. දෘෂ්ටීන් අතුරෙන් ප්‍රධාන කොට සැලකිය යුතු දෘෂ්ටිය මෙම අත්තවාද උපාදානය නම් වූ සත්කාය දෘෂ්ටිය යි. එය නැති කළ හොත් අනෙකුත් දෘෂ්ටි සියල්ල ම දුරු වන්නේ ය. හැම දෘෂ්ටියක් ම නැග එන්නේ මෙම ස්වකාය දෘෂ්ටියේ ශාඛාවක් වශයෙනි.

සීලබ්බත උපාදානය.

ඇතැම් අබෞද්ධයන්, අළුත් පව් කිරීම නවත්වා, මෙතෙක් කළ පව් දුක් විඳීමෙන් ගෙවා අවසන් කොට ශුද්ධියට පැමිණිය හැකි යැයි දෘෂටියක එල්බ සිටියහ. එය සඳහා සමහරුන් අනුගමනය කළ මග නම් තිරිසන් සතුන් සේ හැසිරීමේ ය. ගවයාගේ හැසිරීම් රටාවට, චාරිත්‍ර වලට ගෝශීල කියනු ලැබේ. එනම් සතර පයින් යාම, බිම හිඳීම, බිම නිදීම, බිම ඇති දෙයක් මුවින් කෑම යනාදිය යි. මෙම චාරිත්‍ර සමාදන් වී අනුගමනය කරන්න්ගේ ප්‍රතිපත්තියට ගෝව්‍රත කියනු ලැබේ. බල්ලාගේ චාරිත්‍රය කුක්කුරශීල නම් වේ. එය සමාදන් වූවන්ගේ ප්‍රතිපත්තියට කුක්කුරව්‍රත කියනු ලැබේ. බොහෝ දුක් ගෙන මෙම ව්‍රතයන් රැකීමෙන් වුව ද ඔවුන් බලාපොරොත්තු වන ශුද්ධිය හෝ දේවත්වය, බ්‍රහ්මත්වය කිසි කලෙක ලැබිය නොහැක. එයින් ලැබිය හැක්කේ තිරසින් යෝනියේ හෝ නිරයෙහි උත්පත්තියක් පමණක් බව මජ්ඣිම නිකායේ කුක්කුරවතිය සූත්‍රයෙහි දක්වා තිබේ.

මෙසේ ව්‍රත අනුගමනය කිරීමෙන් ශුද්ධියක් ලැබිය හැකිය යන වැරදි හැඟීම පරම සත්‍යයක් කොට සළකා, තිදින් ගන්නා වූ මිත්‍යාදෘෂ්ටියට සීලබ්බත උපාදානය කියනු ලැබේ. මෙම දෘෂ්ටිය ඇති වනුයේ පංචස්කන්ධයට ඇළුම් කොට, එය ආත්ම වශයෙන් ගෙන, එම ආත්මය සැපයෙන් යුක්ත කිරීමේ මිත්‍යාදෘෂ්ටික ක්‍රම අනුගමනය කරන්නන්ට ය. තෘෂ්ණාව නිසා සීලබ්බත උපාදාය වන බව වදාරා ඇත්තේ එබැවිනි.

දිට්ඨි උපාදානය.

ලෝකයේ බොහෝ දෘෂ්ටි ඇත. බ්‍රහ්මජාල සූත්‍රයෙහි දෘෂ්ටි 62ක් දක්වා තිබේ. අත්තවාද උපාදානයට හා සීලබ්බත උපාදානයට අයත්වන දෘෂ්ටීන් හැර ඉතිරි සියළු දෘෂ්ටීන් දිට්ඨි උපාදානයට අයත් වේ. මෙහිදී දිට්ඨි උපාදාන ලෙස සැලකෙන්නේ මෙම දෘෂ්ටීන් පරම සත්‍යය ලෙස දැඩි කොට පිළිගන්නා විට ය. එසේ දැඩි කොට ගැනීමක් රහිත ව පවතින වැරදි හැඟීම්, දෘෂ්ටීන් වුවද උපාදාන සංඛ්‍යාවට නොගැනේ.

දිට්ඨි උපාදානය දැක්වීමේ දී මිත්‍යාදෘෂ්ටි 10ක් සඳහන් කර තබේ. ඒවා නම්,

1) දීමෙන් ඵලයක් නැත. මහා දාන, මහා පූජාවන්ගෙන් ඵලයක් නැත. ප්‍රතිග්‍රාහකයා කැඳවා දෙන දානය, පැමිණියා වූ ආගන්තුකයින්ට දෙන දානය, ආවාහ විවාහ ආදියෙහි මංගලය පිණිස දෙන දානය යනාදියෙහි ඵලයක් නැත.
2) දස කුසලය, දස අකුසලය යන හොඳ නරක දෙකෙන් වන විපාකයක් නැත.
3) පරලොව සිට නැවත මෙලොව පැමිණීමක් නැත.
4) මෙලොව සිට පරලොව යෑමක් නැත.
5) මවට කරන හොඳ නරක දෙකෙහි විපාකයක් නැත.
6) පියාට කරන හොඳ නරක දෙකෙහි විපාකයක් නැත.
7) ඕපපාතික සත්ත්වයින් නැත. යම්කිසි ප්‍රතිපත්තියක ආනුභාවයෙන් සියල්ල ම දැන ප්‍රකාශ කරන ශ්‍රමණබ්‍රහ්මණයෙක් නැත.

මෙම දෘෂ්ටි සියල්ල ම ඇති වන්නේ පංචස්කන්ධයට ඇළුම් කොට, එය සැපවත් කිරීමේ මිත්‍යාදෘෂ්ටික ක්‍රම පිළිගනීමෙන් ය. එබැවින් තණ්හාව නිසා දිට්ඨූපාදානය ඇති වන බව තථාගතයින් වහන්සේ වදාළා ඇත.

උපාදාන සතර අතුරෙන් කාම උපාදානය හා අත්තවාද උපාදානය බෞද්ධ, අබෞද්ධ සයළු දෙනාට ම ඇති වන්නේ ය. දිට්ඨි උපාදානය හා සීලබ්බත උපාදානය ඇති වනුයේ අබෞද්ධයන්ට පමණකි.

අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල හිමි.

මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.