බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “යම් පින්වතෙක් කුසල් සහ අකුසල් සංස්කාරයන් වෙන් වශයෙන් දනී ද, මේ කුසල් සහ අකුසල් සංස්කාරයන්ගේ හටගැනීම වන අවිද්‍යාව දනී ද, මේ සංස්කාරයන්ගේ නිරෝධය දනී ද, මේ සංස්කාරයන් නිරෝධය කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය දනී ද, මේ දැක්ම එම පින්වතාගේ මාර්ග ඤාණයයි” කියල. මේ මාර්ග ඤාණය භවය උදෙසා නොව භව නිරෝධය උදෙසා ඔබව මෙහෙයවන මාර්ග ඤාණයයි කියල. මේ උතුම් මාර්ග ඤාණය අපෙන් දුරස්කරන්නේ අවිද්‍යාවේ අන්ධභාවයයි.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “සත්ත්වයා කිළිටි කරන නැවත පුනර්භවය ඇතිකරන දුක් උපදවන අවිද්‍යා යෝගයක් තිබෙනවාය” කියල. මේ අවිද්‍යා යෝගය නිසාමයි අපි ‘රාජයෝග,’ ‘පැවිදි යෝග,’ ‘මංගල යෝග’ සොයමින් ජ්‍යොතිෂය සරණ යන්නේ. හැබැයි ඉතින් රටක ජනාධිපති වෙන්න, අගමැති වෙන්න හැමෝට ම බැහැ. එවැනි තනතුරු දරන්න නම් රාජ යෝගයක් තිබෙන්නට ම ඕනේ. භික්ෂුව රාජ යෝගයක්ය කියල කියන්නෙ හඳහන බලලා සොයන දෙයක් නොවේ. ධර්මානුකූලව රාජ යෝගයක් කියන්නෙ රටක රජකම දැරීමට අවශ්‍ය පෙර පිනය. දෙවැනිව පටිච්චසමුප්පන්නව රජකම් කොට ඇති සාංසාරික පුහුණුවය. ඉහත රාජ යෝගයන් දෙක දුර්වල වූ තැන පින්වත් රජතුමාත්, රාජ්‍යයත් යන දෙක ම විනාශය කරා යන්න පුළුවන්.
රටක රජකම දැරීමට වගේම උතුම් පැවිදිභාවයක් ලැබීමටත් පැවිදි යෝගයක් තිබිය යුතුය. පැවිදි යෝගයක් කියල ධර්මානුකූලව හඳුන්වන්නේ යම් ගිහි පින්වතෙකුට උතුම් පැවිදිභාවය ලැබීමට අවශ්‍ය පෙර පිනය. දෙවැනිව සාංසාරිකව උතුම් පැවිදිභාවයක් තුළින් ලැබූ පුහුණුවය. පැවිදිභාවයට පත්වෙන පින්වතාට පෙර පිනත්, සාංසාරික පුහුණුව හෙවත් “තෘෂ්ණා පච්චය උපාදානං” ධර්මතාවත් දුර්වල නම් අපේ පැවිදි ජීවිතයත්, උතුම් ශාසනයේ ආත්මගරුත්වයත් යන දෙකම අනතුරට පත්වෙන්න පුළුවන්කම තිබෙනවා. අවිද්‍යා යෝගයේ සැබෑම හැඩරුව වෙන්නේ යම් පින්වතෙක් අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයන් එකතුවෙන් සකස්වෙන ඵස්සයේ ඉපදීමයි. “ආශ්වාදය සහ ආදීනවය තතු සේ නිවැරදිව නොදනී ද, ඔහු ඒ හේතුවෙන් ම ඵස්සයේ යම් අවිද්‍යාවක් තිබේ ද, ඒ අවිද්‍යාව ඔහු තුළ උපදිනවාය” කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඵස්සය තුළ බැසගෙන තිබෙන අවිද්‍යාව සත්ත්වයා නොදකින නිසා ම ඵස්සය හේතුවෙන් සකස් වෙන ඇලීම්, ගැටීම් සහ උපේක්ෂාවන්ට සත්ත්වයා බැඳී යනවා. එහි ඵලය වෙන්නේ කුසල්, අකුසල් සංස්කාරයන්ගේ වැඩීම පමණක් මය. “මේ වැඩෙන කුසල් සහ අකුසල් සංස්කාර අවිද්‍යාව මුල්කොටගෙන ම සත්ත්වයා කිළිටි කරන, සත්ත්වයා නැවත උපතකට යොමුකරන භවයෝගයක් ද තිබෙනවා”ය කියල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
කාමභවය, රූපී භවය සහ අරූපී භවය යන භවාත්‍රයේ ඉපදීම, භවයේ ආශ්වාදය, ආදීනවය සහ නිස්සරණය යම් පින්වතෙක් තතුසේ නොදනී ද ඔහු තුළ භව තෘෂ්ණාව ඇතිවෙනවා. භවයේ උපතකට හේතුවන උපාදානයේ අර්ථය සහ හැඩරුව නොහඳුනන නිසා ම අපි කාම උපාදාන, දිට්ඨි උපාදාන, අන්‍යශීලව්‍රත උපාදාන මගේ කොට ගන්නවා. තමා තුළ ඇතිවෙන්නාවූ උපාදානය හෙවත් බැඳියාම තුළ මම සිටිනවාය කියල දකිනවා. එම උපාදානය මගේ ම ආත්මය කොට දකිනවා. සම්මා දිට්ඨියේ දුර්වලභාවය හේතුවෙන් සකස්වෙන සම්මා සතියේ දුර්වලභාවය තමා තුළ සකස්වෙන උපාදානය හෙවත් බැඳියාම තෘෂ්ණාවේ ඵලයක් බව විවෘත කොට දකින්නේ නැහැ. පින්වත් ඔබ හොඳින් බුදුගුණයන් මෙනෙහි කරන කෙනෙක් නම් ඔබ මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි බැඳී යනවා. එවිට ඔබ අනිවාර්යයෙන් ම කාමභවයේ දිව්‍ය හෝ මනුෂ්‍ය උපතකට යනවා. පින්වත් ඔබට මරණාසන්න මොහොතේ බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙනවා. ඔබ ඒ බැඳියාම විනිවිද දකිනවා. තෘෂ්ණාව නිසා මයි මේ බැඳියාම ඇතිවුණේ. පින්වත් ඔබ බුදුරජාණන් වහන්සේගේ රූපකාය කායානුපස්සනාවෙන් දකිනවා. සිතේ සකස්වෙන සියලුම ධර්මතාවන් වේදනානුපස්සනාවෙන්, චිත්තානුපස්සනාවෙන්, ධම්මානුපස්සනාවෙන් දකිනවා. තෘෂ්ණාවට සතරසතිපට්ඨාන ධර්මයන්ගෙන් වැට බැඳුන තැන උපාදානය බල රහිත වෙනවා.
පින්වත් ඔබ අනාගතයේ ඔබ ලබන ස්වභාවික මරණයට පෙර මනසින් මියයන්න. හැබැයි ඉතින් ශීලයෙන් පෝෂණය වූ ඉන්ද්‍රිය සංවරය ඔබට තිබෙන්නට ඕනේ. ඉන්ද්‍රිය සංවරය දුර්වල වූ තැන ධර්මයේ නාමයෙන් අපි කරන්නේ මෝඩ වැඩ මය. පින්වත් ඔබ මනසින් මියයද්දි ඔබට ඔබ තුළින් හඳුනා ගන්න පුළුවන්, ඔබගේ බැඳියාම හෙවත් උපාදානයන් මොනවාද කියල. එවිට පින්වත් ඔබට පුළුවන් විවේකීව එම උපාදානයන් කෙරෙහි ධර්මානුකූලව තෘෂ්ණාව සියුම් කොට ගන්න. පින්වත් ඔබ කැමති දිව්‍ය, මනුෂ්‍ය, කාමභවයේ උපතකට නම් එම දිව්‍ය, මනුෂ්‍ය සැපයන් කෙරෙහි තෘෂ්ණාව සතරසතිපට්ඨාන ධර්මයන් තුළින් බැහැර කොට ගන්න. ඔබ කැමති ද්වේශයට, වෛරයට, පළිගැනීමට, දුශ්ශීලභාවයට නම් ඔබට පුළුවන් සතර අපාය නමැති කාමභවයේ අනතුර දැක ද්වේශය, දුශ්ශීලභාවය කෙරෙහි තෘෂ්ණාවන් සියුම් කොට ගන්න. ද්වේශයට හේතුවන මමත්වයේ දැඩිභාවය සියුම් කොට ගන්න.
මෙය සටහන් තබන භික්ෂුව නම් පෞද්ගලිකත්වය කයානුපස්සනාව නමැති බිම්බෝම්බයෙන් පුපුරුවා දමපු භික්ෂුවක්. පංචඋපාදානස්කන්ධ ලෝකය සංස්කාර හේතුවෙන් වෙනස් වෙමින් නැවත නැවත සකස් වෙමින්, වෙනස් වෙමින් ම යනවා. වස්සානය එනවා. වැස්ස වහිනවා. අපි වස් සමාදන් වෙනවා. ඒ වැස්සේ වේගයට වඩා වේගයෙන් සංස්කාරයන් රැස් වෙනවා. අපි පටිච්චසමුප්පන්නව භවයෙන් භවය පංචඋපාදානස්කන්ධ ලෝකය ම තිරිහන් කොට ගන්නවා. මේ සුන්දර වස්සානයේ වස් සමාදන්ව වැඩසිටින ගෞරවණීය ස්වාමීන් වහන්සේලාටත්, වස්සානය උපයෝගි කොටගෙන සුන්දර පිනෙන් බරවූ ආයුෂ, වර්ණය, සැපය, බලය තම ජීවිතවලට මුහුකොට ගන්නා ගිහි පින්වතුන්ලාටත් භික්ෂුව බොහෝම ගෞරවයෙන් දැනුම් දෙනව, “පින්වත් ඔබ මොනම හේතුවක් නිසාවත් අතීතය අමතක කරන්න එපාය” කියල. පින්වත් ඔබ අතීතය අමතක කළොත් වර්තමානයේදී ඔබ අනිවාර්යයෙන් ම රැවටීමට ලක් වෙනවා. මෙය සටහන් තබන භික්ෂුව කවදාකවත් අතීතය අමතක කරන්නේ නැහැ.
ලොව්තුරා බුදුරජාණන් වහන්සේ පින්වත් ඔබට අතීත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීමේ භාවනාව දේශනාකොට තිබෙන්නේ වර්තමාන සහ අනාගත පංචඋපාදානස්කන්ධයන්ගේ අනිත්‍යභාවය මතුකොට දැකීමට නම් අනිවාර්යයෙන් ම අතීත පංචඋපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකීම අත්‍යවශ්‍ය නිසා මය. මේ සුන්දර වස්සානය භික්ෂුව අර්ථවත් කොට ගන්නේ අතීත පංචඋපාදානස්කන්ධ භාවනාව සිහිපත් කොට ගනිමින්මය.
අතීත සංසාරයේ මම පටිච්චසමුප්පන්නව පැවිදි උපසම්පදාවන් ලබලා වස් කාලය, වස් ශීලය කොතෙක් නම් විහිළුවක් කොට ගන්නට ඇති ද..? භික්ෂූන් වන අපගේ සුපටිපන්න ගුණයන්ගේ, උජුපටිපන්න ගුණයන්ගේ පෝෂණය උදෙසා ම බුදුරජාණන් වහන්සේ පැනවූ වස් ශීලයන් අගෞරවයෙන්, අශ්‍රද්ධාවෙන් දුර්වල කොට ගෙන අපි කොතෙක් නම් අකුසල් කඳු රැස්කොට ගන්නට ඇති ද..? ඇසළ මාසයේ වැසි නැති ඉඩෝරයෙ වැසි නැති වස්සානයක් කුමකටද කියල මොන තරම් අධර්මයේ දෘෂ්ඨීන්ට යටවී, අකුසල් කඳු රැස්කොට ගන්නට ඇති ද..? මේ සියල්ල හේතුවෙන් මොන තරම් නම් සම්මා සම්බුද්ධ ශාසන අපි අහිමි කොට ගන්නට ඇති ද.? ඒ අතීත පංචඋපාදානස්කන්ධයේ අසුන්දර මතකයන්, වර්තමානයේ සුන්දර විදර්ශනාත්මක ධර්මයේ කැඩපතක් බවට භික්ෂුව පත්කොට ගන්නේ අතීත පංචඋපාදානස්කන්ධය නැවත නැවත මතුකොට දැකීමෙන් මය.
පටිච්චසමුප්පන්නව භික්ෂුව රැස්කොට ගත් සංස්කාර හේතුවෙන් ම වර්තමානයේ භික්ෂුවට තවත් සුන්දර වස්සානයක අයිතිය ලබාදීල තිබෙනවා. එම අයිතිය උපයෝගී කොට ගෙන අතීතය අමතක කොට වර්තමානයේ ආශ්වාදයට බැඳී ගියහොත් අපි අනාගත පංචඋපාදානස්කන්ධ ලෝකයේ සිරකරුවන් බවට මයි පත් වෙන්නේ. ඇත්ත ඇති සැටියෙන් දකින්නට නම් සම්මා සමාධිමත් සිතක් තිබෙන්නට ම ඕනේ. සම්මා සමාධිමත් සිතක් කියන්නෙ ආර්ය අෂ්ටාගිංක මාර්ගයේ මාර්ග අංග හතකින් පෝෂණය වූ සිතක්. මේ සුන්දර සිත සකස් කොට ගැනීමට උපකාරක ධර්මයන් සකස් කොට දෙන්නේ සම්මා සතියයි. සම්මා සතිය ඇතිකොට ගත් පින්වතා පංච නීවරණයන්ගේ සහ සප්තබොජ්ඣංගයන්ගේ අයහපත සහ යහපත ගැන තමා තුළින් ම ස්වයං විශ්වාසයක් ඇතිකොට ගත් පින්වතෙක්. සමාජය තුළ ජීවත්වන බහුතරයක් පින්වතුන්ලා කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ඡ කුක්කුච්ඡ, විචිකිච්ඡා යන පංචනීවරණ ධර්මයන්ට හරිම ප්‍රියය. පංචනීවරණ ධර්මයන් කැමැත්තෙන් ම මගේ කොටගෙන ජීවත් වෙනවා. පංච නීවරණයන් කෙරෙහි සක්කායදිට්ඨිය ඇතිකොට ගන්නවා. පංචනීවරණ ධර්මයෝ සක්කායදිට්ඨිය විසිනුත්, සක්කායදිට්ඨිය පංචනීවරණයන් විසිනුත් එකිනෙකාට සහෝදරත්වයෙන් පෝෂණය කොට ගන්නවා.
බොහෝ ම පින්වත් මවක් භික්ෂුවට ප්‍රකාශ කරනවා, “ස්වාමීන් වහන්ස, මගේ දරුවන්ගේ සහ ස්වාමිපුරුෂයාගෙන් තොර ලෝකයක් මට නැහැ”යි කියල. එම පින්වත් කාන්තාව තම පවුල නමැති ලෝකයේ රැජන වෙලයි ජීවත් වෙන්නේ. ඵස්සය හේතුවෙන් සකස් වෙන පංචඋපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව ඇයගේ රජ කිරුළ තව තවත් ශක්තිමත් කොට දෙනව. නිරෝධය කළ යුතු වූ ධර්මයක් රාජ්‍යයක් කොට ගැනීමේදී ඇයගේ මුවින් පිට වන සෑම වචනයක්ම තෘෂ්ණාව සංවර්ධනය කරන රාජාසන කතාවන් මය.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “සතර මහා ධාතුවෙන් සැදුණු මේ තුඹස ඒ කියන්නෙ පින්වත් ඔබගේ ජීවිතය රාත්‍රියට දුම් දමනවා, දහවලට මේ තුඹස ගිනි ගන්නවා”ය කියල. අපේ රටේ විශේෂයෙන්ම කාන්තා පක්ෂය රාත්‍රි නින්දට නිදි යහනට නඟින්නේ කුස්සියේ ලිප ගිනි නිවා දමා වුවත් තම පංචඋපාදානස්කන්ධ ලෝකයේ ඇවිලෙන ගිනි අඟුරු නම් නිවා දමාගෙන නොවේ. සම්මා සතිය දුර්වල සිතක පංචඋපාදානස්කන්ධ ගිනි රස්නය නම් නිවෙන්නේ නැහැ…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 15” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…