රූපනන්දාවගේ කථාව.

පැවදිව සිටිය ද නෛෂ්ක්‍රම්‍යාධ්‍යාශය නැති කාමය ම ගරු කරන කාමාධ්‍යාශය ඇති පුද්ගලයෝ පැවිද්දන් අතර ද ඇත්තාහ. තථාගතයන් වහන්සේ ඔවුන් හඳුනාගන්නාහ.

රූපනන්දා භික්ෂුණිය එබඳු තැනත්තියකි.
ඇය පැවිදිවූයේ ඥාතීන් පැවිදි වූ නිසා ය.ඕ “මාගේ වැඩිමහලු සහෝදරයා පැවිදි ව ලොව්තුරා බුදු විය.ඔහුගේ පුත් රහල් කුමරු පැවිදි විය .මාගේ සැමියා ද පැවිදි විය.මව ද පැවිදි විය.මෙතෙක් දෙනා පැවිදි වූ කල්හි මට ගෙයි රැඳී සිටීමෙන් පලක් නැතය” සිතා භිෂුණී ආශ්‍රමයකට ගොස් පැවිදි වූවා ය.

රූප ගරුක වූ ඕ”තථාගතයන් වහන්සේ රූපය
අනිත්‍යය, දුකය, අනාත්මය යි දහම් දෙසති” යි භික්ෂුණීන්ගෙන් අසා”තථාගතයන් වහන්සේ ඉදිරියට ගිය හොත් මෙතරම් ශෝභන වූ මාගේ රූපයෙහි දොස් දක්වන්නාහ’යි බුදුන් දක්නටද නො යන්නී ය.තථාගතයන් වහන්සේ වෙත දහම් ඇසීමට යන්නෝ පැහැදී නොයෙක් අයුරින් බුදුගුණ වර්ණනා කරති .රූපනන්දා භිෂුණිය භික්ෂුණීන් විසින් හා උපාසිකාවන් විසින් කියන බුදු ගුණ අසා” මොවුන් මාගේ සහෝදරයාගේ ගුණ බොහෝ කියන්නාහ.බුදුන් වහන්සේ රූපයේ දොස් කියතත් එක් දිනයකදී ම එතරම් රාශියක් නො කියනු ඇත.මම ද උන්වහන්සට නො දැනෙන ලෙස භික්ෂුණීන්ගේ මුවාවෙන් ගොස් එක් දිනක් උන්වහන්සේ දැක දහම් අසා එමි” යි සිතා”මම ද අද දහම් ඇසීමට එමි”යි භික්ෂුණීන්ට කීවා ය.

සත්ත්වයන්ගේ ශරීර පමණක් නොව සිත් ද පෙනෙන ආශය අධිමුක්ති පෙනෙන තථාගතයන් වහන්සේට නො දැනෙන්නට නො පෙනෙන්නට කිසිවකුට උන්වහන්සේ වෙත නො යා හැකි ය.රූපනන්දා සිතනු සමග තථාගතයන් වහන්සේ ඇය තමන්වහන්සේ වෙත පැමිණෙන බව දැන ගත් සේක. උන්වහන්සේ ඇයට කිනම් ධර්මයක් සුදුසු වේ දැයි සිතන්නහු කටුවකින් කටුවක් ඉවත් කරගන්නක් මෙන් රූපගරුක වූ ඇගේ රූපතන්හාව හා රූපමදය රූපයකින්ම දුරු කිරීම සුදුසු බව දැන වදාරා ඇය පැමිණෙන කල්හි ඇගේ රූපයට වඩා සිය ගුණයෙන් ශෝභන වූ රූපය ඇති සර්වාලංකාරයෙන් සැරසුණු තරුණ කතක රුවක් උන්වහන්සේට පවන් සලමින් ඉන්නා ආකාරයෙන් නිර්මාණය කර තැබූහ .ඒ රුව පෙනෙන්නේ තථාගතයන් වහන්සේට හා රූපනන්දා භික්ෂුණියට පමණෙකි.

රූපනන්දා තථාගතයන් වහන්සේ වෙත ගොස් වැඳ උන්වහන්සේ සමීපයේ වූ ඉතිරි රුව දැක,’මේ කත සමීපයේදී මගේ රුව හංසියක ඉදිරියේ කැවිඩි රුවක් වැනිය’යි තමාගේ රූපය තොමෝම පහත් කොට සිතුවා ය.ඇගේ රූප මදය බොහෝ දුරට සන්සිඳී ගියේ ය.ඇගේ සිත ඒ රූපයට ඇදී ගියේය.ඕ ඒ රූපයේ අවයව සියල්ල එකිනෙකට බලමින් ඒවායේ ලස්සන සිතුවාය.තථාගතයන් වහන්සේ රූපනන්දා භික්ෂුණියගේ සිත නිර්මිත රූපයට ඇදී ඇති බව දැක දහම් දෙසමින් ම ඒ රූපය මඳින් මඳ වෙනස් කළහ.

මුලින් සොළොස් අවුරුදු වයසේ සිටින්නියක බඳු ඒ රූපය විසි වයසෙහි සිටින රුවක් කළහ. ඉක්බිති දරුවකු ලැබූ ඉතිරියක් බවට ද,මැදිවියේ සිටින රුවක් බවට ද,කෙස් පැසුණු ඇඟ රැළි වැටුණු දත් සැලුණු-කුදු ගැසුණු -සැරමිටියක් ගත් ඉතිරි රුවක් බවට ද පත් කොට දැක්වූහ.ඒ වෙනස් වීම දැකීමෙන් ඇගේ රූපරාගය දුරු වී ගියේය.ඉක්බිති ඒ රූපය රෝගාතුර කොට දැක්වූහ.එකෙණෙහිම ඒ රුව බිම ඇද වැටී මහහඬින් කෙඳ්‍රිගාමින් මලමුත්‍ර ගොඩේ ඒ මේ අත පෙරළෙන්නට විය. රූපනන්දා රූපය කෙරෙහි අතිශයින් ම කලකිරිණ.ඉක්බිති තථාගතයන් වහන්සේ ඒ රුව මළසිරුරක් කොට දැක්වූහ.එකෙණෙහි ම එය ඉදිමී එහි නවදොරින් ලේ සැරව හා පණු කැදලි වැගිරෙන්නට විය.බලු කපුටු ආදීහු පැමිණ මළ සිරුර කන්නට වූහ.රූපානන්දා භික්ෂුණිය සියල්ල බලා සිට,

“මේ ස්ත්‍රිය මෙතැන්හි ම ජරපත් වූවා ය.රෝගාතුර වූවා ය.මරණයට පත්වූවා ය.මාගේ මේ ශරීරයටත් එසේ ජරා-ව්‍යාධ් -මරණ පැමිණෙන්නේ ය”යි ආත්මභාවයේ අනිත්‍යතාව දුටුවා ය.ඇයට භවත්‍රය ගිණිගත් ගෙවල් සේ පෙනිණ.කරේ එල්ලූ කුණපයක් සේ පෙනිණ.ඇයගේ සිත කර්මස්ථානාභිමුඛ විය.තථාගතයන් වහන්සේ ඇයට උපකාර වීම පිණිස:

“ආතුරං අසූච්ං පූතිං – පස්ස නන්දෙ සමුස්සයං,
උග්ඝරන්තං පග්ඝරන්තං – බාලානං අභිපත්තිතං,

යථා ඉදං තථා එතං – යතා එතං තථා ඉදං
ධාතුසො පුඤ්ඤතො පස්ස – මා ලොකං පුනරාගමි,
භවෙ ඡන්දං චිරාජෙත්වා – උපසන්තො චරිස්සසි.”

යන ගාථා වදාළ සේක.ඒ දේශනාව අනුව සිත යවා භික්ෂුණිය සෝවාන් ඵලයට පැමිණියා ය. ඉක්බිති තථාගතයන් වහන්සේ මතු මාර්ගත්‍රය සඳහා විදර්ශනාව පිණිස,

“අට්ඨානං නගරං කතං – මංසලොහිතලෙපනං
යත්ථ ජරා ච මච්චූ ච – මානො මක්ඛො ච ඔහිතො.”

යන ගාථාව වදාළ සේක.එය අසා රූපනන්දා භික්ෂුණිය ඉතිරි මඟපලවලට පිළිවෙළින් පැමිණ සව්කෙලෙසුන් නසා අර්හත් ඵලයට පැමිණියා ය. (ධම්මපදට්ඨ කථා)

රේරුකානේ චන්දවිමල ස්ථවිරයන් වහන්සේගේ සූවිසි මහ ගුණය.