තවත් සිංහල අලුත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලුත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලුත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලුත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලුත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලුත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිත වලට එකතු කොට ගැනීමෙන් පමණක් මයි. සිංහල අලුත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්ති වෙන පින්වත් ඔබ මොහොතක්වත් සිතුවාද සිංහලකම, බෞද්ධකම අලුත් කරගන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ජීවිත වලට එකතු කොට ගතයුතුයි කියලා. වර්තමාන සිංහල බෞද්ධ සමාජය සිංහලකම, බෞද්ධකම පෝෂණය කොට ගන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයට වටිනාකමක් දෙන්නේ නැහැ. කල්‍යාණමිත්‍ර ආශ්‍රයේ, සද්ධර්ම ශ්‍රවණයේ, නුවණින් මෙනෙහි කිරීමේ, ජලය සහ පොහොර දමලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දලු, කොළ, අතු, රිකිලි මතුකොටගන්නේ නැහැ. හෙට අනිද්දා සිංහල අලුත් අවුරුද්දක් ලැබුවත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයන් දුර්වල කොට ගනිමින් ලබන සිංහල අලුත් අවුරුද්දට ධර්මානුකූලව කියන්නට වෙන්නේ සිංහල පරණ අවුරුද්දක් කියලයි.
මේ ලිපිය සටහන් තබන වෙලාව දහවල් එකට විතර ඇති. පරිසරය දිළිසෙනවා. අව් කාශ්ඨකයේ තිබෙන දැඩිභාවයට අව් රශ්මියේ දැඩිභාවය නිසාම කැලයේ ගසක ලැග සිටින කොවුලෙක් කෑ ගසනවා. පිපාසයෙන් උගුර කට වේලිලා කෑ ගසන කොවුලාගේ අඳෝනාව ඇසෙද්දි අපි පුංචි කාලයේ බක්මහේ පරිසරයේ නැවුම් බවත් සමඟ සතුටින් නාද කළ කොවුලන්ගේ මිහිරි හඬ භික්ෂුවට සිහිපත් වෙනවා. භික්ෂුවගේ ගමේ ගිහි ගෙදර අල්ලපු වැටේ තිබෙන්නේ ගමේ පන්සල. පන්සල ඉඩමේ පිහිටි විශාල නුග ගසේ තමයි අසිරිමත් බක්මහේ කොවුලන්ගේ නවාතැන වෙන්නේ. රතු පාට ඉදුණු නුග ගෙඩි කමින් සතුටින් නාද කරපු ඒ කොවුලන්ගේ මිහිරි හඬ වර්තමානයේ භික්ෂුවට අනිත්‍ය වූ අතීත පංචඋපාදානස්කන්ධයක් පමණක් මයි. එදා බක්මහේ නුග ඵල කමින් සතුටින් නාද කරපු කොවුලන් අද කෑ ගසන්නේ පිපාසයෙන්, කුසගින්නෙන් උගුර කට වේළිලා.
සමාජය තුළ කොයිතරම් නම් වෙනසක් සිදුවෙලා තිබෙනවාද, කවුද මේ වෙනස සිදු කළේ, කවුද මේ වෙනසට වගකිව යුත්තේ. ආණ්ඩු පක්ෂය ද විපක්ෂය ද එසේත් නැතිනම් සිංහල අය ද හින්දු අය ද මුස්ලිම් අය ද මේ වෙනසට වගකිව යුත්තේ..? ඔය කවුරුවත් ම නොවේ. මේ වෙනසට ධර්මානුකූලව වගකිව යුත්තේ “අවිද්‍යා පච්චයා සංස්කාර” කියන ධර්මතාවයයි. මේ සිංහල බෞද්ධ සංස්කෘතිය විකෘතියක් බවට පත් කරන්න සැබෑ හේතුව වුණ ‘අවිද්‍යා පච්චයා සංස්කාර’ කියන ධර්මතාව පින්වත් ඔබ තුළින්ම සකස් වී ඔබට වහං වී ඔබ තුළින්ම ඔබට ඔච්චම් කරනවා. පින්වත් ඔබ තුළින්ම සකස් වන අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාව නුවණින් මතු කොට ගැනීමට ඇති අදක්ෂභාවය නිසාම සමාජගතවන සමාජ විකෘතියේම ගැටීම් සහ ඇලීම් ඇති කොට ගෙන අපි නැවත අවිද්‍යාව ශක්තිමත් කොට ගන්නවා.
භික්ෂුව ඊයේ සවස මාතර නගරය මැද්දෙන් ධර්ම දේශනාවකට වැඩියා. සවස් යාමයේ සාප්පු සවාරි යන පින්වතුන්ලා අලුත් ඇඳුම් මලු එල්ලාගෙන ගියත් ඒ කිසිම මුහුණක සතුටු සිනහවක් භික්ෂුව දැක්කෙ නැහැ. සල්ලි තිබුණත් සතුටක් නැති ජීවිත වගෙයි. මේ සාප්පු සවාරි යන නෝනා කෙනෙක් ගෙන්, මහත්මයෙක් ගෙන් ඇසුවොත් “මහත්තයෝ ඔබ සතුටින් ද ඉන්නේ” කියලා, ඔහු අනිවාර්යයෙන්ම කියාවි “මොන සතුටක් ද මහත්තයෝ ඔළුව ගිනි අරගෙනයි සිටින්නේ” කියලා. සල්ලි තිබුණත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අර්ථයක් නැති ජීවිත හිස ගිනිගත්ත ජීවිත මයි. සිංහල අලුත් අවුරුද්දට තම දෙමාපියන්ට ඇඳුම් ගන්න සාප්පු සවාරි ගිය මහත්මයෙක් භික්ෂුවට කියනවා ස්වාමින් වහන්ස, ඇඳුම් පැළඳුම් ගිනි ගණන්ය කියලා. හිස ගිනිගත්ත මනුෂ්‍යයන්ගෙන් කෙසේ නම් සිසිලක් බලාපොරොත්තු වෙන්නද..?
මේ සෑම දෙයක් පසුපසම වගකිවයුත්තෙක් සිටිනවා ඒ වගකිවයුත්තා තමයි ‘අවිද්‍යා පච්චයා සංස්කාර’ කියන ධර්මතාවය. බුදුරජාණන්ව හන්සේ දේශනා කරනවා කිඹුල්වත් නුවරින් හමා ගෙන එන සුළඟත් සුවදායකයි කියලා. බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයට පහල වෙන්නේ කාලය, ද්වීපය, දේශය, කුලය, මව කියන පස්මහ බැලුම් බලලා. බුදුරජාණන් වහන්සේ උපත ලැබූ කිඹුල්වත් නුවර කියන්නේ හේතුඵල ධර්මයක් මයි. බෝධි සත්ත්වයන්ගේ දස පාරමී කුසල් ශක්තියේ එක් ඵලයකුයි කිඹුල්වත් නුවර කියන්නේ. පිනෙන් උපන් පුණ්‍ය භූමියක් බුදුරජාණන්වහන්සේ කිඹුල්වත්පුරයෙන් හමා ගෙන එන සුළඟත් සුවදායකයි කියන්නේ. අතීත පිනෙන් උපන් මනුෂ්‍යයෝ, පිනෙන් උපන් පරිසරය, පින නිසාම සකස් වුණ නැවුම් දේශගුණය මේ සියල්ල පිසගෙන හමන සුළඟත් පිනේ විදර්ශනාත්මක සතුටක් මයි, පස්සද්ධියක් මයි, ජීවිතයට එකතු කොට දෙන්නේ.
ඔබ උපන් බිම එම බිමේ උපන් ඔබත් සමඟ මොන තරම් ධර්මානුකූල සම්බන්ධයක් තිබෙනවාද..? ධර්මාශෝක අධිරාජයාගේ දූ පුතුන් වෙච්ච මිහිඳු මහෝත්තමයන් වහන්සේට, සංඝමිත්තා උත්තමාවියට පින්වත් ඔබ දෙපා තබාගෙන සිටින පුණ්‍ය භූමියට වඩින්න, පිරිනිවී යන තෙක් මේ පුණ්‍ය භූමියේ වැඩසිටින්න දැනීම් සකස් වුණේ මේ පින් බිම මේ පින් බිමේ උපන් ඔබ මොන තරම් පුණ්‍යවන්ත නිසාද..? මෙය සටහන් තබන භික්ෂුව මොහොතක් ඇස් දෙක පියාගෙන නිසොල්මනේ සිටිනවා කාශ්ඨක අව් රශ්මියෙන් වියළී ගිය ශරීරයේ උෂ්ණාධික බව භික්ෂුවට හොඳින් දැනෙනවා. දැඩි අව් කාශ්ඨකය මැද්දෙ හමාගෙන එන වියළි සුළඟ, උෂ්ණාධික ශරීරයට පවන් සලනවා වගේ දැනෙනවා. මේ සියලු පාරිසරික ලක්ෂණයන් භික්ෂුවට හරිම සුවදායකයි. මේ පාරිසරික ලක්ෂණ සියල්ලම ‘අවිද්‍යා පච්චයා සංස්කාර’ කියන ධර්මතාවයේ උතුම් ඵලයක් මයි.
අපි ධර්මය, ධර්මය හැටියට දැකිය යුතුයි. ධර්මය, අධර්මය හැටියට දැක්කොත් අවිද්‍යාවත් අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයත් නැවත නැවත ශක්තිමත් වෙනවා. අව් කාශ්ඨකයෙන් උගුර කට වියළුණු කොවුලාගේ අඳෝනාව භික්ෂුවට නැවතත් ඇසෙනවා. ඒ කොවුලාගේ උගුර කට වියළුණු අඳෝනාව තුළින් භික්ෂුව දකින්නෙත් ‘අවිද්‍යා පච්චයා සංස්කාර’ කියන ධර්මතාව මයි. සත්ත්වයා අවිද්‍යාව හේතුවෙන් අකුසල් කරන්න, කරන්න එම අකුසල් විපාක දීමට සුදුසු කාලගුණික, දේශගුණික, දේශපාලනික පරිසරයක් සකස් වෙනවා. ඒ නිසාමයි, ලිපියේ මුලින්ම භික්ෂුව සටහන් තැබුවේ ලබන්නා වූ සිංහල අවුරුද්ද අලුත් අවුරුද්දක් බවට පත් කොට ගන්න අවශ්‍ය නම් කරුණාකර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තියෙන් ලබන්නා වූ සිංහල අවුරුද්ද අලුත් කර ගන්නය කියලා.
ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයට එකතුකොටගත් පින්වතා තෙරුවන්ට කීකරු පින්වතෙක් වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයෙන් බැහැරව යන්නේ නැහැ. මහා සංඝරත්නයේ ඇසුරින් ඈතට යන්නේ නැහැ. එම පින්වතා කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකිනවා. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ලෝකය දකින පින්වතා යහපත සහ අයහපත හොඳින් අඳුරනවා. ඇයි අපි හොඳම දෙය ලැබුවේ, ඇයි අපි විශිෂ්ටම දෙය ලැබුවේ..? සුගතිය, විදර්ශනාත්මක නිවන් මාර්ගය සහ ඵලයන් ලෝකයේ කවුරුවත්ම නොලැබූ මාර්ගයක් අපි ලබලා තිබෙනවා. සුන්දර නිවන් මාර්ගයක හිමිකරුවන් වෙලා තිබෙනවා.
සියලු සංස්කාරයෝ අනිත්‍ය බව ඇත්ත. මේ ඇත්ත නිසා මයි, බුදුරජාණන්වහන්සේ උතුම් භික්ෂු ප්‍රාතිමෝක්ෂ ශීලයට සිල් පද දෙසිය විසිහතක් ම ඇතුළත් කරන්නේ. අනිත්‍ය වී යන ශාසන අර්ථයන් වැඩිපුර දවසක් හෝ රැක ගන්න. සත්පුරුෂ ජීවිත, උත්තම ජීවිත, පූර්වාදර්ශී ජීවිත කවදාවත් තමන් ජීවිතාවබෝධයෙන් ලැබූ ධර්මයේ සැපයන්, අනුනට අහිමි කරන්නේ නැහැ. ධර්මානුකූල සැපයක් ලබන තම පරපුරේ අන්තිමයා වෙන්නේ නැහැ. ඔහු අවබෝධයෙන්ම දන්නවා සියලු සංස්කාරයෝ අනිත්‍යයි, අස්ථිරයි, කැඩී, බිඳී, විසිරී, අතුරුදන් වී යනවාය කියලා. ඔහු සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් තමන්ට සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකීමට උපකාරක ධර්මයක් සකස්කොට දුන් යහපත් දේ අනාගත ලෝකයට ආරක්ෂා කොට තිබෙනවා. අපි යමෙක් අනාගත ලෝකයට ආරක්ෂා කොට තබන්න නම් මුලින්ම ඒ දෙය තමා තුළින් ආරක්ෂා කොට ගන්න ඕනේ. පින්වත් ඔබ ලබන්නා වූ සිංහල අවුරුද්ද ලෞකික සැපයේ සහ ලෝකෝත්තර සැපයේ එකම ධර්මානුකූල මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ශක්තිමත් කොට ගන්න.
ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලා හැළෙන තෘෂ්ණාවේ සැඩ පහරට හසුව අසිහියෙන් කටයුතු කරන පින්වත් පාලක පින්වතුන්ලාගේ අසත්පුරුෂ ක්‍රියාවන් හේතුවෙන් මතුවන විදේශීය බලහත්කාරකම් වලින් හෙම්බත් වී සිටින සිංහල බෞද්ධ ජාතියට වර්තමානයේ සද්ධර්මයේ ආරක්ෂාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරක්ෂාව අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා. වර්තමානයේ මේ සිංහල බෞද්ධ සමාජය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් අනාරක්ෂිතවයි තිබෙන්නේ. අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවට අදාළව ප්‍රශ්න විග්‍රහ කර ගන්නේ නැහැ. ජාතික ප්‍රශ්නවලට හේතුව පුද්ගල සංඥාවන්ට භාරදෙනවා. ඒ නිසාම සමාජය තුළ වැඩෙන්නේ අකුසලයට අදාළ ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් මයි. ජාතික ප්‍රශ්නවලට වගකිවයුතු පක්ෂ, විපක්ෂ දේශපාලනයට මුවා වී අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාව අපි සැවොම මුළාවට පත්කරනවා. දුකට හේතුව අපි තුළම සකස් වන තෘෂ්ණාව කියලා අපි දකින්නේ නැහැ. අපි තුළම සකස් වන තෘෂ්ණාව නොහඳුනන අපි තෘෂ්ණාව සියුම්කරන ආර්ය අෂ්ටාංගික මාර්ගය ප්‍රයෝජනයට ගන්නේ නැහැ.
සියලු සංස්කාරයෝ අනිත්‍ය නිසාම සිහිබුද්ධියෙන් යුතුව අනාගත පරපුරට මේ සිංහල බෞද්ධකම ආරක්ෂා වෙන්න ඕනේ. අනාගත පරපුරට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උතුම් ගුණයන් ආරක්ෂා වෙන්න ඕනේ. අනාගත පරපුරට මේ ජාතික සම්පත් විජාතිකකරණයෙන් තොරව පෝෂණය වෙන්න ඕනේ. මේ ජනතාවගේ අකුසල් හේතුවෙන්ම සමාජගත වී ඇති අභියෝග යන් සියල්ල සිහිබුද්ධියෙන් තේරුම් ගන්න දේශපාලනයෙන් සටකපට නොවූ විනයගරුක අලුත් නායකත්වයක් රටට ලැබෙන්නට ඕනේ. මෙය සටහන් තබන භික්ෂුව හෙට අපවත්වෙන්න පුළුවන්. ඒත් මේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තව චිරාත් කාලයක් ජීවත්වෙන්න ඕනේ.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ප්‍රාර්ථනා කිරීමෙන් බලාපොරොත්තු තැබීමෙන් පමණක් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ”ය කියලා. පින්වත් ජනතාව යම් ප්‍රාර්ථනාවක් ඇතිකොට ගත හොත් එම ප්‍රාර්ථනාවන් සඵල කරගැනීමේ මාර්ගයේ ගමන් කළ යුතු වෙනවා. ජාතික සමගියෙන් පෝෂණය වූ සිංහල බෞද්ධ සංස්කෘතිය ආරක්ෂා කොට ගැනීමේ එකම ධර්මානුකූල මාර්ගය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. වර්තමාන සමාජයේ අකුසලය හේතුවෙන් ම සමාජගත වී ඇති ජාතික අනතුරු දැකලා මේ ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද හුදු විනෝදය, සතුට සඳහා නොව ජාතියට ආදරය කරන අවංක විනයගරුක නායකයෙක් මතු කොට ගැනීමට පින්වත් ඔබේ කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ සිතේ ශක්තිය වර්ධනය කොට ගන්න.
අවිද්‍යාව හේතුවෙන් අපි රැස් කොට ගන්නා අකුසල් සංස්කාරයන් නිසා මයි, මේ සියලු විනාශයන් සමාජගත වෙලා තිබෙන්නේ. අවිද්‍යාවේ තීව්‍රභාවය නිසා ම බලවත් ආකාරයෙන් සමාජය අකුසලය දෙසට ගමන් කරනවා. රටේ දේශපාලන බලධාරීන් ජනතාව කාමච්ඡන්දයන් දිශාවට ම, ඇලීම් සහ ගැටීම් දිශාවට ම යොමු කරමින් ජනතාවගේ අකුසලයේ ශක්තිය තව තවත් ශක්තිමත් කොට දෙනවා. භික්ෂුව නැවතත් සටහන් තබනවා, ඉහත සෑම අර්බුදයකට ම එකම හේතුව අවිද්‍යා පච්චයා සංස්කාර කියන ධර්මතාවයේ ධර්මානුකූල ඵලයයි. භික්ෂුව කාටවත් ඇඟිල්ල දිගු කරලා චෝදනා කරන්නේ නැහැ. ආත්මීය දැක්මෙන් ඔබ්බට ගිය පටිච්චසමුප්පාද හේතුඵල ධර්මයනුයි, භික්ෂුව සටහන් තබන්නේ.
පින්වත් ඔබට රටේ දේශපාලනය බඩගෝස්තරයක් වෙන්න පුළුවන්. ඒත් භික්ෂුවට දේශපාලනය ධර්මයක් මයි. පාලක පින්වතුන්ගේ සහ ජනතාවගේ අකුසල් වැඩි වෙන කොට රටක් පිරිහීමේ දිශාවට ම ගමන් කරනවා. රටක පාලක පින්වතුන් සහ ජනතාව කුසලයෙන් ශක්තිමත් වෙන කොට රට යහපත් දිශාවට ගමන් කරනවා.
මේ උදාවන සිංහල අලුත් අවුරුද්ද පින්වත් ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජීවිතය කොට ගෙන ජාතියේ ම කුසලයේ ශක්තිය යම් පමණකට හෝ ශක්තිමත් කොට ගන්න. මේ උතුම් දේශයට නැවත විනයගරුක නායකත්වයක් මතු කොට ගැනීමට ඉතිරි වී ඇති ධර්මානුකූල එකම ප්‍රවේශය එපමණයි. එම ප්‍රවේශය තුළ රටට විනයගරුක නායකත්වයක් මතු වුණත් එයත් අනිත්‍ය වූ සංස්කාරයක් පමණක්ම කියන කාරණය ධර්මානුකූලව දකින්න ඕනේ. එසේ නොවුණොත් එම විනයගරුක නායකයාත් විනය විරෝධී නායකයෙක් බවට වෙනස් වෙන්න පුළුවන්. සියලු සංස්කාරයෝ අනිත්‍ය වෙලා යනවා. කැඩිලා, බිඳිලා විසිරිලා යනවා.
භික්ෂුව ලියනවා, පින්වත් ඔබ කියවනවා අවසානයේ අපි දෙගොල්ලන්ම රැස් කොට ගන්නේ අනිත්‍ය වී යන සංස්කාරයක් මයි. සංස්කාරයන්ගෙන් තොරව ලෝකය දකින්න බැරිද..? ඒ තත්ත්වයට පත්වුණ උත්තරීතර මනුෂ්‍යයාටයි රහතන් වහන්සේ කියලා කියන්නේ. ඵස්සය අසලින් උන්වහන්සේ ලෝකය නිරෝධය කරනවා. රහතන් වහන්සේ වර්තමාන ඵස්සය අසලින් ලෝකය නිරෝධය කළත් අතීත අවිද්‍යා පච්චයා සංඛාරා ධර්මතාවන් හේතුවෙන් පටිච්චසමුප්පන්නව ලුහුබැඳ පැමිණෙන සංස්කාරයෝ ඇලීම්, ගැටීම්, උපේක්ෂාවන්ට යටත් නොවූ විපාකයක් සකස් කොට දෙනවා. අපි කවදා හරි උතුම් රහතන් වහන්සේ නමක් බවට පත් වුණොත් තෘෂ්ණාවෙන් තොර එකම එක කැමැත්තක් රහතන් වහන්සේට තිබෙනවා. එම තෘෂ්ණාවෙන් තොර කැමැත්ත රහතන් වහන්සේ අතීත සංස්කාරයන්ට ම අතහැරලයි තිබෙන්නේ. රහතන් වහන්සේ නමක් සහ තෘෂ්ණාවෙන් තොර එකම කැමැත්ත හැකි ඉක්මනින් අනුපධිශේෂ නිර්වාණ ධාතුවෙන් දරාගෙන සිටින අවසාන කය තුළින් ම නිවීයේවා කියන කැමැත්ත යැයි භික්ෂුව විශ්වාස කරනවා.
අතීත රහතන් වහන්සේලාගේ ගුණ සුවඳින් පුණ්‍යවන්ත වූ මේ උතුම් මාතෘ භූමියට හෙට අනිද්දා ලබන්නා වූ සිංහල අලුත් අවුරුද්ද සමස්ත ජාතියටම විනයගරුක නායකයකුගේ සම්ප්‍රාප්තිය උදෙසා උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මංගල්‍යයක් ම වේවා…!
තෙරුවන් සරණයි …!
උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 14” ග්‍රන්ථයෙනි.
උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…