ඉන්ද්‍රීය සංවරයෙන් නෙළුම් විල පිරික්සමු.

දෙසැම්බර් පාසල් නිවාඩුව පටන් අරගෙන. උදෑසනම පිණ්ඩපාතය පූජා කරගන්න, දෙමාපියන් සමග පැමිණෙන පාසල් වයසේ දරුවන්, මේ දිනවල ගොඩාක් වැඩියි. අපේ රටේ බොහෝම ගුණාත්මක දරු පරපුරක් සිටිනවා. දෙමාපියන් භික්ෂුවට දෙකට නැමිලා වන්දනා කරද්දී, පසඟ පිහිටුවලා වන්දනා කරන දරුවන්, භික්ෂුව, ඕනෑ තරම් දැකල තිබෙනවා. අපේ රටේ දරුවන් සතු මේ ගුණාත්මක භාවය හේතුඵල ධර්මයක්. පෙර ජීවිතයේදී මේ රටේම ඉපදිලා, ගුණදහම් ආරක්ෂා කොට ගෙන ජීවත් වෙලා, මරණාසන්න මොහොතේ, මේ උතුම් මවුබිම ම උපාදානය කොට ගෙන, පටිච්ච සමුප්පන්නව ඉපදුණ දරුවෝ භික්ෂුවට මුණගැසිලා තිබෙනවා, පළමුවැනි හමුවීමේදී ම භික්ෂුවට ගොඩක් ළෙන්ගතු භාවයක් දක්වන දරුවන්. මෙවැනි දරුවන් දකිද්දී භික්ෂුවට සිතෙන්නේ මේ දරුවා නම්, පෙර ජීවිතයේදී භික්ෂුවට දන් පැන් පූජා කරපු, ධර්මය ශ්‍රවණය කරපු කෙනෙක් කියලා මයි. සංස්කාර පච්චයා විඤ්ඤාණං කියන ධර්මතාව භව ගමනේ නැවත නැවත අපිව මුණගස්සනවා. මේ හේතුඵල ධර්මයන් දකින නිසා ම, භික්ෂුව දරුවන්ට ගොඩක් ළෙන්ගතුයි.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දරුවෙකුට මුලින් ම ලබාදිය යුත්තේ, මෛත්‍රියයි කියලා. දරුවන් අනුන්ගේ මෙත් සිතට හරිම කැමතියි. භික්ෂුව කවදාවත් දරුවෙක් ඉදිරියේ වැඩිහිටි පින්වතෙකුට අවවාද කරන්නේ නැහැ. පසුගිය දවසක සීයා කෙනෙක් සමග තම කුඩා මිණිපිරිය දානය බෙදන්නට පැමිණියා. මේ සීයා හරිම වේගවත්, ඒ වගේමයි කලබලකාරියි. සීයාට අවවාදයක් කරන්නට සිතුණත්, භික්ෂුව නිහඬව සිටියා. සීයාට වඩා භික්ෂුවට වැදගත් වෙන්නේ දරුවායි. සීයාට කරන අවවාදයේදී පින්වත් දරුවා නොතේරෙන කමට භික්ෂුව සමග ගැටුණොත්, එය එම දරුවාට බරපතළ අකුසලයක් වෙනවා. පුංචි සිත් හොඳ, නරක නොබලාම ඉක්මනට ප්‍රතික්‍රියා දක්වනවා. දරුවන් වැඩිහිටි සමාජයෙන් ඉල්ලන්නේ මෛත්‍රියයි. වැඩිහිටි අපි දරුවන්ට පෙරළා දිය යුත්තේත් මෛත්‍රිය මයි. දරුවන්ට මෛත්‍රිය දක්වනවාය කියලා කියන්නෙ, එම දරුවන් කැමති කරන දෙය ලබාදීල, කාමච්ඡන්දයකින් සතුටු කිරීම නම් නොවේ. දරුවාගේ අනාගත ගුණාත්මකභාවයට අදාළ, කෘතවේදී, කීකරු ධර්මතාව තුළ පෝෂණය කිරීමයි. දරුවාට මෙත් සිතින්, හරි වැරැද්ද හොඳ නරක කියල දීමයි.

පසුගිය දවසක දරුවෙක් භික්ෂුවට ලිපියක් ලබාදීල තිබුණා. එහි සටහන්ව තිබුණා, ස්වාමීන් වහන්ස, මම ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා, දෙමාපියන්ට, ගුරුවරුන්ට ගොඩාක් කීකරු දරුවෙක් බවට පත් වුණා. එය මගේ අධ්‍යාපනයටත් ලොකු පහසුවක් වෙලා තිබෙනවා. ස්වාමීන් වහන්ස, මගේ පාසලේ යාළුවන්ටත්, ධර්ම දේශනයක් කරන්න. අපේ පාසලට වඩින්නය කියලා. අපිරිසිදු ධර්මයන්, තවම ආක්‍රමණය නොකළ ළමා මනස හරිම කෘතවේදියි. අහිංසක ළමා ජීවිත වල ඇති සංවේදීභාවය තේරුම් ගන්න, වර්තමානයේ වැඩිහිටි පින්වතුන්ලාට විවේකයක් නැහැ. අවිවේකයෙන් පිරුණු වැඩිහිටි පින්වතුන්, ළමා ජීවිතත්, අවිවේකයෙන් ම පුරවනවා. ගෞරවණීය වැඩිහිටියන් ගේ වැරදි නිසාම, වරදක් නොකළ දරුවෝ, අනාගත සමාජය ඉදිරියේ වැරදිකරුවන් බවට පත් වෙනවා.

වැඩිහිටි පින්වතුන්ගේ අසිහිය නිසාම, වර්තමාන සමාජයේ බරපතළම අනතුරට පත්වෙමින් පවතින පිරිසයි, අපේ ළමා පරපුර. මහත්මයෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. “ස්වාමීන් වහන්ස, අපිව මෙහෙයවන්නේ කවුද” කියලා. “එකිනෙකට වෙනස් සංස්කෘතීන්, එකිනෙකට වෙනස් චර්යාවන්. එකිනෙකට වෙනස් හැකියාවන්, කවුද මේ වෙනස්කම මනුෂ්‍ය ජීවිත තුළ ඇති කරන්නේ” කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “අවිද්‍යාව හේතුවෙන් සකස් වෙන සංස්කාර, සංස්කාර හේතුවෙන් සකස්වන දැනීම් හෙවත් විඤ්ඤාණය, මනුෂ්‍ය ජීවිතවල විවිධත්වයට අදාළ ධර්මතාවන් සකස් කොට දෙනවා”ය කියලා. අපි පසුපස සිටින ක්‍රියාකරුවා අපිම පටිච්චසමුප්පන්නව රැස් කොට ගත් සංස්කාරයි. වර්තමාන අපේ ළමා පරපුර ගුණාත්මක භාවයෙන් යුක්ත වුණත්, එම අහිංසක දරුවන් පසුපස එම දරුවන්ට නොතේරෙන එහෙත් ධර්මය ඔබට මතු කොට පෙන්වන, අතීත කාමච්ඡන්දයන්ට අදාළ අකුසල් සංස්කාරයන් පටිච්චසමුප්පන්ව අනිවාර්යයෙන් ම සැඟවිලා තිබෙනවා. මෙම ධර්මානුකූල අනතුර දකින්න දරුවාට ශක්තියක් නැහැ. දරුවා මේ අනතුරෙන් මුදා දීමේ වගකීම තිබෙන්නේ වැඩිහිටියන් වන අපිටමයි. වැඩිහිටියන් ගේ අසිහිය නිසා දඬුවම් ලබන දරුවෝ, වර්තමානයේ ගණිකා නිවාස වල, සම්බාහන මධ්‍යස්ථාන වල, රාත්‍රි සමාජ ශාලා වල, අපි ජීවත්වන සමාජය තුළ, අනාරක්ෂිතව මොන තරම් ජීවිත වලින් වන්දි ගෙවනවාද..?

ධර්මය ඒහිපස්සිකයි, විවෘතව බබළනවා, සඟවන්න බැහැ. ඒ නිසා මයි, පින්වත් ළමා පරපුර, අපෙන් මෛත්‍රිය බලාපොරොත්තු වෙන්නේ. පින්වත් වැඩිහිටි ඔබලාගේ අසිහිය හේතුවෙන්, අපිව විනාශ කරන්න එපාය කියලා, දරුවා මෛත්‍රිය ඉල්ලද්දී, දරුවාට ද්වේශය දෙන්න එපා. දරුවා ආදරය ඉල්ලද්දී දරුවට කාමච්ඡන්දයන් දෙන්න එපා. වර්තමානයේ වැඩිහිටි පින්වතුන් අපිට ලැබිලා තිබෙන, මේ සුන්දර පින්වන්ත දරු පරපුර සදාචාරාත්මකව විනාශය කරා රැගෙන යන්නේ නම්, එය පින්වත් වැඩිහිටි ඔබලාට, ජාති ජාතිත් ගෙවා නිම කළ නොහැකි මහා අකුසල් කන්දක් ම වේවි. මෙය සටහන් තබන භික්ෂුවගේ දෙමාපියන්, ගුරුවරුන්, මාව විනාශ කළේ නැහැ. මේ සටහන කියවන පින්වත් ඔබගේ දෙමාපියන්, ගුරුවරුන්, ඔබලාව විනාශ කළේ නැහැ. ගුණාත්මකව ලෝකයට ඔසවා තැබුවා. අපි කෘතවේදී වෙන්න ඕනේ. අපේ ජීවිත තුළින් අපි යම් යහපත් දෙයක් ලැබුවා නම්, යම් ගුණාත්මක දෙයක් ලැබුවා නම්, එම උතුම් ගුණයන් ඊළඟ පරම්පරාවට ආරක්ෂා කොට දෙන්න. ආදර්ශයක් කොට දෙන්න. එයයි ගුණධර්මයන් ගෙන් පෝෂණය වුණ, මනුෂ්‍යත්වය යැයි කියන්නේ. අපි ලබපු යහපත්, ගුණාත්මක දේවල් අපි ම මරා දමලා, අපිත් මැරිලා ගියොත්, ඒ යන තැන නම්, ගුණ දහම් නොහඳුනන තිරිසන් ලෝකයක් ම වෙන්න පුළුවන්.

වැඩිහිටියන්ගේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, ශරීරයෙන්, මනසින් ගලා බසිනා තෘෂ්ණාවේ සැඩ පහරට හසුවී කාමච්ඡන්දයන් ගෙන් කරවටක් ගිලී ගිය සමාජයක නොදන්නා භාවයෙන් ම, අහිංසකභාවයෙන් ම අනතුර කරා ගමන් කරන පින්වත් දරු පරපුර, මේ විනාශයෙන් යම් පමණකට හෝ ගලවා ගැනීමේ ශක්තිය තිබෙන්නේ, පාසලේ විදුහල්පති තුමා, ගුරුතුමා, ගුරුතුමියටයි. ගුරු වෘත්තියට දේවත්වයෙන් අතීත සමාජය ගරු කළේ, ගුණාත්මක මනුෂ්‍ය සමාජයක් තුළින්, මනුෂ්‍යයා දෙවියකු බවට පත් කළ නිසාමය. වර්තමානයේ අපි, ජාතියේ අනාගත ගුණාත්මකභාවය උදෙසා, පාසල් ගුරුවරයා සතු වගකීම කෘතවේදීව දකින්න ඕනේ. පාසල් ගුරුවරයාට, ආත්ම ගරුත්වයෙන් යුතුව, තම වගකීම් ඉටුකිරීමේ නිදහස, සමාජය ලබා දෙන්න ඕන. පාසල් දරුවාගේ විනය ශක්තිමත්ව පවත්වාගෙන යන්න, පින්වත් ගුරුවරයාට දෙමාපියන්ගේ ඇඟිලි ගැසීම් වලින් තොරව නිදහස දෙන්න ඕනේ.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, “ඉපදීම උරුම කොටගත් අපි, ඉපදීමක් ම සොයනවා”ය කියලා. “වසයට යෑම, ජරාව උරුම කොටගත් අපි, ජරාවක් ම සොයනවා”ය කියලා. “ලෙඩවීම උරුම කර ගත් අපි ලෙඩවීමක් ම සොයනවා”ය කියලා. “මරණය උරුම කොට ගත් අපි මරණයට පත් වෙන දේවල් ම සොයනවා”ය කියලා. “දුකම උරුම කොට ගත් අපි දුකටම හේතු වෙන තෘෂ්ණාව ම ප්‍රගුණ කරනවාය” කියලා. ආර්ය නොවන, සැපයට හේතු නොවන, දුකට ම අතවනන අනාර්ය පර්යේෂකයන් බවට අපි පත් වෙලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ආර්ය වූද. සැපයට හේතු වන්නා වූද තෘෂ්ණාව සියුම් කරන්නා වුද ආර්ය පර්යේෂණයන් තිබෙනවා. පින්වත් ඔබ දුර්ලභ බුද්ධෝත්පාද කාලයක සුන්දර මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ, ජාති, ජරා, ව්‍යාධි, මරණ අනාගත භව ගමනට තව තව එකතු කොට ගැනීමට නොවේ. තමා දරන වෘත්තිය, තමා දරන වගකීම්, තමා දරන සමාජ තත්ත්වය, තමා දරන නායකත්වයන් උපයෝගී කොට ගෙන ධර්මානුකූලව ජාති, ජරා, ව්‍යාධි, මරණ වලින් මිදීම දෙසට ගමන් කිරීමයි.

බුදුරජාණන් වහන්සේට කීකරු භාවය ඇතිකොට ගත් ආර්ය පර්යේෂකයා, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයන්ට හේතුවන ධර්මතාවන් ජීවිතයෙන් රැස් කරන්නේ නැහැ. සේවා අයිතිවාසිකම්, වැටුප, වෘත්තියවේදියකුට අත්‍යවශ්‍ය ධර්මතාවක්. නමුත් ඔහු මේ සියල්ලට ම ඉදිරියෙන් සංසාර බිය, සංසාර ගැඹුර, සංසාර දුක ගැන දැක්ම සීරුවෙන් තබනවා. ඔහු අනාර්ය වූ, ලාමක වූ, දුකටම හේතු වන්නා වූ ලාමක ධර්මතාවන්ට මුල්තැන දෙන්නේ නැහැ. ආර්ය වූ පර්යේෂණයේ යෙදෙන පින්වතා. මේ ලෝක ධාතුවේ වෘත්තීයවේදියෙක් ලබන ඉහළම වැටුප වන පංචශීලයෙන් ශක්තිමත් පින්වතෙක්. පංචශීලය නමැති වැටුප් පැකට්ටුවේ සමාජය ඉදිරියේ ඔබ ලබන ජනප්‍රිය භාවය තිබෙනවා. බියෙන් තොර භාවය තිබෙනවා. සිහිය හොඳින් පිහිටා තිබෙනවා. මීළඟ ජීවිතය සුගතියම උරුම කොට දෙනවා. බලන්නකෝ පංචශීලය නමැති පඩි පැකට්ටුවේ තිබෙන වටිනාකම. පින්වත් ඔබ පසුගිය මාසයේ, රැකියාව කරලා අතට ගත්ත වැටුප් පැකට් එකේ, ඔය ගුණාත්මක දේවල් මොකක්වත් තිබුණද කියලා මොහොතක් සිතලා බලන්න. සිල්පද බිඳීම්, ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් හැර වෙන මොනවද පින්වත් ඔබලාගේ පඩි පැකට්ටුවෙන් ඔබට ඇති වුණේ. ආර්ය පර්යේෂකයා, පංචශීලයේ පරිපූර්ණභාවය නිසාම, ඉන්ද්‍රිය සංවරභාවය ඇති කොට ගත් කෙනෙක්.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වැව් ජලයේ සමහර නෙළුම් පොහොට්ටු තිබෙනවා. එම නෙළුම් පොහොට්ටු තවම ජලයෙන් මතුපිටට ඇවිත් නැහැ. තවත් සමහර නෙළුම් පොහොට්ටු ජලයෙන් මතුපිටට ඇවිත් තිබෙනවා. නමුත් තවම පිපී නැහැ. තවත් සුන්දර නෙළුම් තිබෙනවා. ඒවා පොළොව මතුපිටට ඇවිත් හොඳින් පෙති විහිදා පිපිලා තිබෙනවා. එකිනෙක මල්, එකිනෙකට වෙනස් වර්ධනයක් තුළ තිබෙනවාය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සම්මා දිට්ඨියේ අර්ථයන් ගෙන් පෝෂණය වූ පංචශීලයේ ශක්තියෙන්, ඉන්ද්‍රිය සංවරය ඇති කොට ගත් පින්වතා, අසිහියෙන් බැහැර වූ සිහියෙන් දකිනවා. නෙළුම් විලේ නෙළුම් මල්වල වර්ධනය එකිනෙකට වෙනස් වන්නා සේ අප ඉදිරියේ තිබෙන, මනුෂ්‍ය සමාජයේත්, ගුණාත්මක භාවයන්, හැදියාවන්, දක්ෂතාවන් එකිනෙකට වෙනස්ය කියන කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුෂ්‍යයාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ වැඩුණු, නොවැඩුණු භාවය හඳුනාගැනීමට මනුෂ්‍ය සමාජය අදක්ෂ නිසාම අපි බරපතළ ඇලීම් ගැටීම් දිශාවන්ට ගමන් කරනවාය කියල. පංති කාමරයේ ඉගෙන ගන්නා දරුවන් හතළිස්දෙනා ගෙන් අපිට එකම ගුණාත්මකභාවය බලාපොරොත්තු වෙන්න බැහැ. පාසලේ සේවය කරන පින්වත් ගුරු මණ්ඩලයෙන් එකම ගුණාත්මකභාවයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. පාසල් දරුවන්ගේ දෙමාපියන්ගෙන් එකම ගුණාත්මකභාවයක් අපිට බලාපොරොත්තු වෙන්න බැහැ. වැව් ජලයේ එක නෙළුම් පොහොට්ටුවක් ජලයෙන් ඉහළට මතු නොවි තිබියදී තවත් නෙළුමක් ජලයෙන් මතුපිට සුන්දරව පිපී තිබුණා. එය නෙළුම් මලේ වරදක් නොවේ, නෙළුමේ ස්වාභාවික වර්ධනයයි.

‘සංස්කාර පච්චයා විඤ්ඤාණං’ කියන ධර්මතාව තුළ, අපේ ක්‍රියාකාරකම් සකස් වෙන්නේ පටිච්චසමුප්පන්න පුරුදු, පුහුණු හේතුවෙන් සකස් වෙන අපේ ඉන්ද්‍රිය ධර්මයන් ගේ දියුණු නොදියුණු භාවය මතයි. භික්ෂුව ඉදිරියට පින්වතුන් දහදෙනෙක් පැමිණියොත්, එම පින්වතුන් දහදෙනා එකිනෙකට වෙනස් හැසිරීම් දක්වන්නේ. මනුෂ්‍ය ජීවිතවල අපි දකින මේ විවිධත්වය, සුන්දර ධර්මානුකූල හේතුඵල ධර්මයක් අපට කියලා දෙනවා. අනුන්ගේ ධර්මානුකූල වෙනස්වීම් ඉදිරියේ පින්වත් ඔබේ සිත, ඇලීම්, ගැටීම් දෙසට වෙනස් නොවේ. ධර්මයේ උපේක්ෂාව කියන අර්ථයට ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. එවිට පින්වත් ඔබ කවදාකවත් ඇසෙන් රූපයක් දැකලා, එම රූපය ගැන මනසින් සිතලා, ඇලීම් ගැටීම් ඇති කොට ගන්නේ නැහැ. කනෙන් ශබ්දයක් අහලා, එම ශබ්දය ගැන සිතලා, ඇලීම් ගැටීම් ඇති කොට ගන්නේ නැහැ. ඉහත අර්ථය මයි බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය සංවරශීලය කියලා කියන්නේ, ඉන්ද්‍රිය සංවර ශීලය දුර්වල පින්වතා තුළ කවදාවත් චිත්ත විශුද්ධියක්, ඇතිවෙන්නේ නැහැ. පංචනීවරණයන් තුළ බැස ගන්නා වූ, ඇලීම්, ගැටීම් දෙක තුළ දෝලනය වන ජීවිතයක උරුමයයි, ඔහුට ලැබෙන්නේ…!

තෙරුවන් සරණයි …!

උපුටා ගැනීම – පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත “අතහැරීම 14” ග්‍රන්ථයෙනි.

උතුම් ධර්ම දානය පිණිස Share කරන්න…